සංකීර්ණ කරුණු සරල බසින්

සයිබර් අපරාධ, සයිබර් ආරක්ෂාව - Cybersecurity part II
පරිගණක තාක්ෂණය

සයිබර් අපරාධ, සයිබර් ආරක්ෂාව - Cybersecurity part II

තොරතුරු ආරක්ෂණය දිගු කලක් තිස්සේ පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස පවතී. 'තොරතුරු ආරක්ෂාව (information security)' යන යෙදුම(වචනය ) මෑතකදී වඩාත් පොදු යෙදුම(වචනය) "සයිබර් ආරක්ෂණය (cybersecurity)" ලෙස යොදා ගැනේ.

පරිගණක පිලිබඳ දැනුමක් කිසිසේත්ම නොමැති පරිශීලකයින් සඳහා Level 1 පිටුව බලන්න

සයිබර් (Cyber) - යන වචනය යොදා ගෙන ඇත්තේ, එය "සයිබර්නෙටික්ස්" විද්‍යාවේ කොටසක් වන නිසාය.

සයිබර්නෙටික්ස් (Cybernetics) විද්‍යාව යනු කුමක්ද?

ඉතාමත් කෙටියෙන් - සතුන් සහ යන්ත්‍ර තුළ පාලනය සහ සන්නිවේදනය පිළිබඳ අධ්‍යයනය, ලෙස අර්ථ දැක්වියහැකිය. සයිබර්නෙටික්ස් (Cybernetics) යන වචනය පැමිණෙන්නේ ග්‍රීක වචනයක් වන "කිබර්නේටෙස්" (Greek κυβερνήτης = kybernētēs පාලකයා, නියමුවා යන අර්ථය ලබාදේ).

සයිබර්නෙටික්ස් යනු පද්ධතියක් (ජෛව හෝ කෘතිම) පාලනය සහ සන්නිවේදනය කරන ආකාරය සහ ඒවා එකිනෙකා සමඟ සහ තම පරිසරය (environment) සමඟ ශක්තිය, පදාර්ථ සහ තොරතුරු හුවමාරු කර ගන්නා ආකාරය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. ඒ සඳහා ගණිතමය ප්‍රවේශයක් භාවිතා කරන අතර ගණිතමය ආකෘති නිර්මාණ මගින් තොරතුරු ගලායාම සහ පද්ධතිය විසින් එය පාලනය කිරීමට භාවිතා කරන ආකාරය පිළිබඳ අධ්‍යයනය සයිබර්නෙටික්ස් ලෙස හැඳින්වේ.

උදාහරණයක් ලෙස : සයිබර්ග් (Cyborg) යනු එය කෘතිම හා ස්වාභාවික පද්ධති දෙකම ඇති ජීවියෙකි (සිනමාවේ: ටර්මිනේටර් - Terminator, අනාගතයෙන් පැමිණි සයිබර්ග්).

සයිබර් ප්‍රහාර සහ දත්ත පැහැරගැනීම් (සයිබර් අපරාධ ) වලින් ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීමට (සයිබර් ආරක්ෂාව) ඔබ ගත යුතු පියවරයන්:

  • 1. ෆයර්වෝලයක් (firewall) (හෝ දෙකක්) භාවිතා කරන්න:

    ෆයර්වෝලයක් ඔබේ පරිගණකය සහ අන්තර්ජාලය අතර බාධකයක් ලෙස ක්‍රියා කරන අතර බාහිරින් අනවසර ප්‍රවේශ උත්සාහයන් අවහිර කරයි. ෆයර්වෝලයක් යනු පූර්ව නිශ්චිත ආරක්ෂක නීති (rules) මත පදනම්ව පැමිණෙන සහ පිටතට යන ජාල ගමනාගමනය (network trafic) නිරීක්ෂණය කරන, පෙරන සහ පාලනය කරන උපකරණයකි. විශ්වාසදායක අභ්‍යන්තර සහ විශ්වාස නොකළ බාහිර ජාල අතර බාධකයක් ලෙස ක්‍රියා කරමින්, එය දත්ත පැකට් පරීක්ෂා කිරීමෙන්, ඒවා අවහිර කිරීමට හෝ ඉඩ දීමට නීති (rules) මත පදනම්ව ක්‍රියා කරයි. ෆයර්වෝල උපාංගයක් ලෙස මිලදී ගැනීමට ඇති අතර, එය රවුටර (router) තුල, ප්‍රති-වයිරස මෘදුකාංග (antivirus) තුල සහ වෙනම මෘදුකාංගක් ලෙසද වෙළඳපොලේ දක්නට ලැබේ. අති නවීන ෆයර්වෝල Next-Generation Firewall (NGFW) ලෙස හැදින්වේ.

    ෆයර්වෝලයේ අනවශ්‍ය ඇතුල්වීමේ (inbound) සහ පිටවීමේ (outbound) දොරටු (ports) වසා දමන්න. නිවසේ හෝ කාර්යාලයේ පරිගණක ජාලයේ (local network) වෙබ්-අඩවි පමණක් බලන්නේ නම්: වෙබ්-අඩවි සඳහා http: Port 80 සහ වෙබ්-අඩවි සඳහා ආරක්ෂිත https: Port 443 පමණක් විවෘතව තබන්න.

    නිවසේ හෝ කාර්යාලයේ, ජාලයේ (local network) පරිගණක, ඊමේල් සේවාදායක මෘදුකාංග ( email client software like MsOutlook) භාවිතා කරන්නේ නම්:
    ඊමේල් යැවීම, කියවීම සහ මැකීම සඳහා IMAP server: Port 143, or port 993 for SSL/TLS encrypted IMAP
    හෝ
    ඊමේල් ලබාගැනීම සඳහා POP server: Port 110, or port 995 for SSL/TLS encrypted POP ඊමේල් යැවීම සඳහා SMTP server: Port 25, or port 465 for SSL/TLS encrypted SMTP අවශ්‍යය දොරටු (ports) පමණක් විවෘතව තබන්න.

  • 2. අථත්‍යකරණය භාවිතා කරන්න (Use virtualization).

    අථත්‍යකරණය යනු භෞතික පරිගණක දෘඩාංග වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට ඉඩ සලසන ක්‍රියාවලියක් වන අතර එය වලාකුළු පරිගණකකරණයේ (cloud computing) පදනම වේ. අථත්‍යකරණය මඟින් මෘදුකාංගයක් භාවිතා කරමින් පරිගණකයක දෘඩාංග සංරචක (hardware) පරිගණක කිහීපයකට බෙදීමට ( abstraction layer over computer hardware) හැකියාව ලැබෙන අතර ඒවා අතථ්‍ය යන්ත්‍ර (Virtual Machines - VMs) ලෙස පරිගණක නියෝජනය කිරීම සිදුකරයි. එනම් එක භෞතික පරිගණකයක නියෝජක පරිගණක කිහීපයක් ක්‍රියාකිරීමයි. උදාහරණයක් ලෙස පහත දක්වා ඇති භෞතික පරිගණකය ඔබ සතුව ඇත.

    Processor: 3Ghz, 10 core; RAM memory: 16 Gb; HDD/SSD: 500 Gb; 

    එහි සම්පත් ප්‍රයෝජනයට ගෙන මෙම භෞතික (මව) පරිගණකය තුල නියෝජක පරිගණක හතරක් (4) නිර්මාණය කල හැක.

    එවිට : Processor: 3Ghz, 2 core; RAM memory: 3Gb; HDD/SSD: 50 Gb; බැගින් වූ නියෝජක පරිගණක 4කි. 
    මව් පරිගණකය තුල: Processor: 3Ghz, 2 core; RAM memory: 4 Gb; HDD/SSD: 300 Gb; ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සඳහා ඉතිරි වේ.

    එමෙන්ම මෙම නියෝජක පරිගණක තුල විවිධ මෙහෙයුම් පද්ධති (Operating systems - windows, linux, unix etc.) ස්ථාපනය කර මෘදුකාංගයක් ලෙස එකවර ක්‍රියාකල හැක. ඒ සඳහා නිදහස් මෘදුකාංගයක් (නොමිලේ) වන VirtualBox , Hyper-V, VMware, KVM(Linux) වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.

    අතථ්‍ය යන්ත්‍ර (VMs) ආරක්ෂාව සඳහා යොදාගන්නේ කෙසේද?

    මෙම නියෝජක පරිගණක තුල සැකසහිත අනතුරුදායක ක්‍රියාවන් කලහැක. එනම් අනතුරුදායක වෙබ්සයිට් විවෘත කිරීමට, අනතුරුදායක ඊමේල් ඇමුණුම විවෘත කිරීමට, ආසාදනය වී ඇති ගොනු විවෘත කොට දත්ත ලබාගැනීමට හා අනිෂ්ට මෘදුකාංග හෝ වෛරස් විශ්ලේෂණය කිරීමට යොදාගතහැක. එමෙන්ම නියෝජක පරිගණක භෞතික පරිගණකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති නිසා, භෞතික මව් පරිගණකයට කිසිදු තර්ජනයක් නැත.

  • 3. ලිනක්ස් උබුන්ටු ආරම්භ කළ හැකි USB ෆ්ලෑෂ් ධාවකයක් (Linux Ubuntu bootable USB flash drive - installation media) තාවකාලික මෙහෙයුම් පද්ධතියක් (OS Ubuntu) ලෙස භාවිතා කිරීම. ලිනක්ස් උබුන්ටු ස්ථාපනය කිරීම අවශ්‍යය නොවේ, එය තාවකාලික මෙහෙයුම් පද්ධතියක් (OS Ubuntu) ලෙස භාවිතා කලහැක. මෙහෙයුම් පද්ධතිය, වසා දැමීම සහ නැවත ආරම්භ කිරීමේදී සියලු දත්ත මැකී යයි. එනම් අනතුරුදායක වෙබ්සයිට් විවෘත කිරීමට, අනතුරුදායක ඊමේල් ඇමුණුම විවෘත කිරීමට, ආසාදනය වී ඇති ගොනු විවෘත කොට දත්ත ලබාගැනීමට භවිතා කල හැක.

    අන්තර්ජාලයයේ කිසිම කෙනෙකුට සැඟවිය නොහැක. එනම්, හැකර් වරුන්ට පවා සැගවී සිටිය නොහැක. නමුත්, ඔවුන් විවිධාකාර සූක්‍ෂම උපක්‍රම භාවිතා කරමින් විවෘත අන්තර්ජාලයයේ (Internet) සහ රහසිගත අඳුරු අන්තර්ජාලයේ (Darkweb) සැගවී සිටිති. එම නිසා අප ද, නොයෙකුත් ක්‍රම භාවිතා කරමින් සයිබර් ආරක්‍ෂාව සලසා ගත යුතුය. ඒ සඳහා තවත් මෙවලම් දෙකක් ඇත. ඉන් එකක් වන්නේ "ව්හූනික්ස් (WhoNix)" මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමයි. තවත් මෙහෙයුම් පද්ධතියක් වන්නේ "ටේල්ස් (Tails)" වන අතර මෙම මෙහෙයුම් පද්ධතියේ පුරෝගාමිකයින් වන "ලිනක්ස් (Linux) -> ඩේබියන් (Debian)" මෙහෙයුම් පද්දතිය උපයොගී කරගනිමින් නිර්මාණය කර ඇති නොමිලේ භාවිතා කිරීමට අවසර ඇති මෙහෙයුම් පද්ධතියකි. එම මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කරවීමට එය පරිගණකයට ස්ථාපනය කිරීම අවශ්‍යය නැත. එය ෆ්ලෑශ් ධාවකයක් (flash drive / පෙන්ඩ්‍රයිව්) උපයොගී කර ගනිමින් "යූඑස්බී (USB)" දත්ත දොරටුවට සම්භන්ද කිරීමෙන් ධාවනය කල හැකිය. පරිඝණකය ආරම්භ (on Boot) වන විට එය ෆ්ලෑශ් ධාවකයේ ඇති මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි විට (select usb disk on boot), එය ක්‍රියා කිරීමට පටන් ගනී. මෙහීදී ඔබට සම්පූර්ණ ආරක්‍ෂාව ඇති අතර මෙම මෙහෙයුම් පද්ධතියන් කිසිම දෙයක් මතකයේ තබා නොගනී.

  • 4. ඔබගේ දත්ත සංකේතනය කරන්න (Encrypt your DATA)

    සංකේතන ක්‍රම කිහීපයක් පහත දක්වා ඇත. එමගින් ඔබේ දත්ත සංකේතනය කරන්න. ඒ සඳහා "පයිතන්" (PAYTHON) පරිඝණක ක්‍රමලේඛන භාෂාව භාවිතා කරන්න, එමගින් පහසුවෙන් සංකේතනය කල හැක. විකල්පයක් ලෙස ඔබට BitLocker, VeraCrypt, PGPTool, TrueCrypt වැනි සංකේතන මෘදුකාංගයක් භාවිතා කරන්න. යතුරු සියල්ල ඉතා සුරක්ෂිතව තබා ගන්න. යතුරු (cryptographic keys) නැති වුවහොත් කිසිදාක දත්ත විකේතනය (Decrypt) කළ නොහැක.

    සංකේතනය යනු මිනිසාට කියවිය හැකි සරල දත්ත පෙළක් (plaintext උදාහරණයක් ලෙස ලිපියක්) තේරුම්ගත නොහැකි දත්ත පෙළක් බවට පරිවර්තනය කිරීමයි, එය කේතාංක පෙළ (ciphertext) ලෙස හැඳින්වේ.

    මූලික වශයෙන්, මෙයින් අදහස් කරන්නේ කියවිය හැකි දත්ත ලබාගෙන එය අහඹු ලෙස විශේෂ ගණිත ක්‍රමයකට අනුව වෙනත් සංකේත ආධාරයෙන් වෙනස් කිරීමයි. මේ සඳහා සංකේතනයට (Encryption) සහ විකේතනයට (Decryption) එකඟ වන ගණිතමය අගයන් සමූහයක් වන ගුප්ත ලේඛන යතුරක් (මුරපදයක් - cryptographic key/password) භාවිතා කරයි. එසේ කරන ලද සංකේතනයෙන් පසු ලැබෙන කේතාංක පෙළ (ciphertext එක හෙවත් Encrypted letter) සැඟවීමට අවශ්‍යය නැත. එය කිසි කෙනෙකුට කියවිය නොහැක. දිග සංකීර්ණ ගුප්ත ලේඛන යතුරක් (cryptographic key) ආධාරයෙන් කරන ලද සංකේතනය බිඳ දැමිය හැක්කේ ක්වන්ටම් පරිගණකයට පමණි. සාමාන්‍යය පරිඝනකයකට ඒ සඳහා වසර ගණනාවක් ගතවේ. එම නිසා එය ඉතාමත් ආරක්ශාකාරී වේ. එම කේතාංක පෙළ(Encrypted letter) නැවත කියවිය හැකි සරල ලිපියක් බවට පත්කිරීමට, එය සංකේතනයට භාවිතා කල ගුප්ත ලේඛන යතුර (මුරපදය - cryptographic key/password) නැවත භාවිතා කරමින් එය විකේතනය කල යුතු වේ.

    ගුප්ත ලේඛන යතුර (මුරපදය - cryptographic key/password) ආරක්ශාකාරී ලෙස පොතක ලියා තැබීම හෝ මතකයේ තබා ගැනීම අත්‍යාවශය වේ. එය නැති වුවහොත් එම කේතාංක පෙළ(Encrypted letter) නැවත ලිපියක් බවට පත්කිරීමට කිසි සේත්ම නොහැක.

    ගුප්ත ලේඛන යතුර වඩාත් සංකීර්ණ වන තරමට සංකේතනය වඩාත් ආරක්ෂිත වේ - මන්ද තෙවන පාර්ශවයන් බෲට් බල ප්‍රහාර (Brute force attacks) හරහා එය විකේතනය (decrypt) කිරීමට ඇති ඉඩකඩ අඩුය (එනම් නිවැරදි සංයෝජනය අනුමාන කරන තෙක් අහඹු සංඛ්‍යා උත්සාහ කරමින් විකේතනය කිරීම).

    වඩාත් පොදු සංකේතාංකන ක්‍රම දෙක වන්නේ සමමිතික (Symmetric encryption) සහ අසමමිතික (Asymmetric encryption) සංකේතනයයි.

    එනම්, සංකේතනය සහ විකේතනය සඳහා එකම යතුර භාවිතා කරන්නේද නැද්ද යන්න අනුව එය තීරණය වේ.

    • 4.1. සමමිතික සංකේතාංකන යතුරු - මෙය පුද්ගලික සංකේතන යතුර ලෙසද හැඳින්වේ (private key encryption). එයට හේතුව, සංකේතනය කිරීමට සහ විකේතනය කිරීමට එකම යතුර භාවිතා කරන අතර, එය තනි පරිශීලකයින්ට සහ සංවෘත පද්ධති සඳහා වඩාත් සුදුසු වේ. මෙම ක්‍රමය අසමමිතික ක්‍රමයට වඩා වේගවත්ය. නමුත් සමහර අවස්ථා වල දුරස්ථ පුද්ගලයෙකු වෙත තොරතුරු යැවීමට අවශ්‍යය වූ විට, යතුර ග්‍රාහකයා වෙත යැවිය යුතුය. මෙය හැකර්වරයෙකු වැනි තෙවන පාර්ශවයක් විසින් කේතාංක පෙළ (Encrypted letter) සහ යතුර (private key) ග්‍රහණය කරගතහොත් මෙම ක්‍රමය ඒ සඳහා ඵලදායී නොවේ.
    • 4.2. අසමමිතික සංකේතාංකන යතුරු - මෙම ක්‍රමය ගණිතමය වශයෙන් එකට සම්බන්ධ කර ඇති වෙනස් යතුරු දෙකක් භාවිතා කරයි. පොදු ප්‍රසිද්ධ යතුර (public key) සහ පෞද්ගලික යතුර (private key) - මෙම යතුරු විශේෂ ක්‍රමය කට ජනනය කර ඇති අතර අත්‍යවශ්‍යයෙන්ම එකිනෙකා සමඟ යුගලනය කර ඇත. නමුත් යතුරු එකිනෙකට සමාන නොවේ. එබැවින් අසමමිතික යන යෙදුම (වචනය), මේ සඳහා භාවිතා කෙරේ. පුද්ගලික යතුර හිමිකරු එය රහසිගතව තබා ගන්නා අතර, පොදු ප්‍රසිද්ධ යතුර බලයලත් අය අතර බෙදා දෙනු ලැබේ. එමෙන්ම මහජනතාවට ද ලබා දිය හැකිය. මෙම ක්‍රමය මගින්, ප්‍රසිද්ධ යතුර (public key) භාවිතා කොට කරන සංකේතනයෙන් පසු ලැබෙන සංකේතාංක පෙළ (encrypted letter), විකේතනය (decrypt - නැවත කියවිය හැකි සරල ලිපියක් බවට පත්කිරීම) කල හැක්කේ පෞද්ගලික යතුර (private key) ආධාරයෙන් පමණි. එම නිසා දුරස්ත පුද්ගලයින් දෙදෙනෙකු තම ප්‍රසිද්ධ යතුර (public key) අන්තර්ජාලය ඔස්සේ හුවමරු කරගැනීම මගින් ඉතාමත් ආරක්ෂිතව දත්ත හුවමරු කර ගත හැක. එයට හේතුව, මෙය හැකර්වරයෙකු වැනි තෙවන පාර්ශවයක් විසින් කේතාංක පෙළ (Encrypted letter) සහ ප්‍රසිද්ධ යතුර (public key) ග්‍රහණය කල ගත්තා ද, එය පෞද්ගලික යතුර (private key) නොමැතිව, විකේතනය (decrypt) කල නොහැකි නිසාය.

      දත්ත කේතාංක පෙළ (ciphertext) බවට පත් කිරීම සඳහා සංකේතාංකන ඇල්ගොරිතම (algorithms - උපදෙස් තර්ක රටා) භාවිතා කරයි.

      1. 3DES encryption (Triple Data Encryption Standard)

        3DES යනු ත්‍රිත්ව දත්ත සංකේතන ප්‍රමිතියයි. මෙය සමමිතික යතුරු ඇල්ගොරිතමයක් වන අතර, "ත්‍රිත්ව" යන වචනය භාවිතා කර ඇත්තේ කේතන ක්‍රියාවලියේදී මුල් DES ඇල්ගොරිතමය හරහා දත්ත තුන් වරක් සම්ප්‍රේෂණය වන බැවිනි. ත්‍රිත්ව DES සංකේතන ක්‍රමය ක්‍රමයක් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට සලසුම් කර ඇති නමුත්, මූල්‍ය සේවා සහ අනෙකුත් කර්මාන්ත සඳහා විශ්වාසදායක දෘඩාංග සංකේතන විසඳුමක් බවට පත් කිරීමට තවමත් සමත් වේ.

        යතුරේ දිග: 168 bits / ආරක්ෂාව: මධ්‍යම.
      2. AES encryption (Advanced Encryption Standard)

        AES යනු උසස් සංකේතාංකන ප්‍රමිතියක් වන අතර, මෙහි මුල් DES ඇල්ගොරිතමය සංවර්ධනය කර යාවත්කාලීන කරන ලදී. AES ඇල්ගොරිතමයේ වඩාත්ම භාවිතා කරන්නන් ලෙස Signal app, WhatsApp (end-to-end encryption) වැනි පණිවිඩ සේවා සහ ගොනු සම්පීඩනය කරන WinZip වැනි මෘදුකාංගය දැක්විය හැකිය.

        යතුරේ දිග: 128, 192 and 256 bits / ආරක්ෂාව: ඉහළය.
      3. RSA encryption

        RSA යනු ඕනෑම කෙනෙකුට පුළුල් ලෙස ලබා ගත හැකි පළමු අසමමිතික සංකේතන ඇල්ගොරිතමයයි (algorithms). එහි යතුරු (ගුප්ත ලේඛන යතුර) දිග නිසා RSA ජනප්‍රිය වන අතර එම නිසා ආරක්ෂිත දත්ත සම්ප්‍රේෂණය සඳහා බහුලව භාවිතා වේ. මෙම ඇල්ගොරිතමය මුලින්ම විස්තර කළ ගණිතඥයින්ගේ වාසගම් වල මුල අකුරු වන වන RSA යනු Rivest, Shamir සහ Adleman වේ. යතුරු යුගලයක් භාවිතා කිරීම නිසා RSA අසමමිතික ඇල්ගොරිතමයක් ලෙස සැලකේ.

        යතුරේ දිග: 1024, 2048, 4096 bits / ආරක්ෂාව: ඉහළය.
      4. Twofish encryption

        දෘඪාංග සහ මෘදුකාංග යන දෙකෙහිම භාවිතා වන Twofish, එම වර්ගයේ වේගවත්ම එකක් ලෙස සැලකේ. Twofish (patent) බලපත්‍රය ලබාගෙන නොමැති අතර, එය භාවිතා කිරීමට කැමති ඕනෑම කෙනෙකුට එය නොමිලේ ලබා ගත හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට එය PhotoEncrypt, GPG, සහ ජනප්‍රිය විවෘත මෘදුකාංගයක් වන TrueCrypt වැනි සංකේතාංකන මෘදුකාංගය මෙම සංකේතන ක්‍රමය යොදාගෙන ඇත.

      5. යතුරේ දිග: 128, 192 or 256 bits / ආරක්ෂාව: ඉහළය.

      සංකේතාංකන ඇල්ගොරිතම (algorithms) වලින් කිහිපයකි.

සයිබර් ආරක්ෂාව - සමාලෝචනය

තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් මානව සාධක (human factor) ගවේෂණය නොකිරීම සහ අවතක්සේරු කිරීම නිසා, සයිබර් ප්‍රහාර , දත්ත සොරකම් කිරීම සහ කප්පම් ගැනීමේ මෘදුකාංග ප්‍රහාර වැඩි වීම, පරිශීලකයා විසින් සක්‍රීය කරන ලද දෝෂවල ප්‍රතිඵලයකි,. ඇත්ත වශයෙන්ම, සියලුම සයිබර් සිදුවීම් වලින් 95% ක්ම පරිශීලකයා විසින් සක්‍රීය කර ඇත. පර්යේෂණවලින් පෙනී යන්නේ පවතින තොරතුරු ආරක්ෂක සැලසුම් අවදානම් කළමනාකරණය හෝ විගණනය කිරීමේදී මානව සාධකය (පරිශීලකයා) සැලකිල්ලට නොගන්නා බවයි. එමෙන්ම, ආයතනික විධායකයින්, කළමනාකරුවන් සහ සයිබර් ආරක්ෂක වෘත්තිකයින් සයිබර් ආරක්ෂක විසදුම් මත සහ සයිබර් ප්‍රහාර වළක්වා ගැනීම සඳහා තාක්ෂණය මත පුළුල් ලෙස විශ්වාසය තබයි. වර්ථමානයේ, මානව සාධකයේ (human factor) බලපෑම ඉතා ඉහල වන නිසා, සංකීර්ණ සයිබර් ආරක්ෂණ මෙහෙයුම් කළමනාකරණය අභියෝගාත්මක වන අතර එය බොහෝ තොරතුරු ආරක්ෂක වෘත්තිකයන්ගේ විශේෂඥතාව ඉක්මවා යයි.

එහෙත්, තොරතුරු ආරක්ෂාව සඳහා මානව සාධකයේ බලපෑම අවම කිරීම සඳහා ඵලදායී උපාය මාර්ග සහ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මානව සාධක විශේෂඥයින් (human factors specialists), සංජානන විද්‍යාඥයින් (cognitive scientists), සහ හැසිරීම් විශ්ලේෂකයින්ගේ (behavioral analysts) විශේෂඥතාව ලබා ගැනීමට තොරතුරු ආරක්ෂක වෘත්තිකයන් මැලි වෙති.

තවකෙනෙකුට Share කරන්න:
පරිගණක තාක්ෂණය : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්