පාන් පිටි ලෝකය වෙනස් කළ ආකාරය.
ආහාර පාන

පාන් පිටි ලෝකය වෙනස් කළ ආකාරය.

පුරාන ප්‍රාථමික මිනිසුන් ප්‍රධාන වශයෙන් මස් අනුභව කරන්නන් බව සාම්ප්‍රදායිකව විශ්වාස කලද, මෑත කාලීන අධ්‍යයනයන් වලින් පෙනීයන්නේ මස් වලට අමතරව බොහෝ දේ ආහාරයට ගත් බවයි.

උතුරු ඊශ්‍රායලයේ "ජෝර්දාන්" ගංගා ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් පෙනී යන්නේ වසර 780,000 කට පෙර මානව මුතුන් මිත්තන් (පැලියොලිතික්) ශාක ආහාර සක්‍රීයව පරිභෝජනය කළ බවයි. ගල් යුගයේ බාසල්ට් ගල් මෙවලම් (Paleolithic tools) මත පිෂ්ඨය ඇති ධාන්‍ය සොයාගෙන ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ ඇකෝන් කජු වර්ග, ධාන්‍ය වර්ග, රනිල කුලයට අයත් බෝග සහ ජල ලිලී (ඕලු, නෙලුම්, මානෙල්) මල් සහ ජල චෙස්නට් වැනි ජලජ ශාක ඇතුළු විවිධ ශාක ආහාර සැකසීම සහ පරිභෝජනය කිරීමයි.

ලිවර්පූල් විශ්ව විද්‍යාලයේ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ පැලියොලිතික් දඩයම්කරුවන් ශාක එකතු කිරීම පමණක් නොව, එම ශාක වලින් ආහාරයට ගත හැකි ද්‍රව්‍යය වෙන්කර ගැනීම සඳහා සංකීර්ණ ශිල්පීය ක්‍රම ද භාවිතා කළ බවයි. ඉරාකයේ ෂානිදාර් ගුහාවලින් හමු වූ පිළිස්සුණු ආහාර අවශේෂවලින් පෙනී යන්නේ මිනිසුන් වසර 70,000 කට පෙර රනිල කුලයට අයත් බෝග වලින් නොයෙකුත් ආහාර සකස් කළ බවත්, පොඟවා ගැනීම සහ විවිධ මිශ්‍රන තුල තැබීම මගින් ඒවායේ තිත්ත ඉවත් කළ බවත්ය. මෙම සංකීර්ණ සූපශාස්ත්‍ර පිළිවෙත් (වසර 70,000 කට පෙර), කෘෂිකර්මාන්තයේ ආරම්භයත් සමඟ පමණක් ඇති වූ බවට ඇති අදහසට අභියෝග කරයි.

පෙරූ (Peru) රටේ හි තිබී හමු වූ දඩයම්කරුවන්ගේ නටබුන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ වසර 9,500 කට පමණ පෙර ප්‍රදේශවාසීන්ගේ ආහාර වේලෙහි 80% ක් ශාක ආහාර සහ 20% ක් පමණක් මස් අඩංගු වූ බවයි. අස්ථි කාබන් සමස්ථානික විශ්ලේෂණයෙන් සහ දත්වල ගෙවී ගිය සලකුණු පිළිබඳ අධ්‍යයනයන් තුළින් පෙනී යන්නේ ප්‍රධාන ආහාර ලෙස අල සහ අනෙකුත් ශාක ප්‍රභවයන් ආහාරයට ගත් බවයි. දඩයම්කරුවන් විසින් මස් පමණක් ආහාරයට ගත් බවට ඇති ඒකාකෘතික මතය නැවත සිතා බැලීමට මෙම සොයාගැනීම නැවතත් යෝජනා කරයි.

පාන් සෑදීම ආරම්භ වූ ආකාරය.

නේචර් (Nature) සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වන්නේ තිරිඟු පාන් පුරාණ සමාජවල පදනම බවට පත් වූ ආකාරයයි. ජාන විශ්ලේෂණයෙන් පෙන්වා දී ඇත්තේ පාන් සෑදීමට භාවිතා කරන මෘදු තිරිඟු, වල් ශාක තුනක ස්වාභාවික තෙමුහුන්කරණයක ප්‍රතිඵලයක් බවයි. මෙයින් Aegilops tauschii ශාකය, මෘදු තිරිඟු ශාකයට D ජෙනෝමය (ජාන කට්ටලය) ලබා දෙමින් එම ශාකය විශේෂ කාර්යභාරයක් ඉටු කළේය. දකුණු කැස්පියන් වෙරළ තීරයේ, වසර 8000-11000 දහසකට පමණ පෙර සිදු වූ මෙම අහඹු ස්වාභාවික තෙමුහුන්කරණය, තිරිඟු වල ඉහළ ග්ලූටන් (පිටි ගුලියෙහි ප්‍රත්‍යාස්ථ බව ඇති කරන ප්‍රෝටීනයකි) අන්තර්ගතයක් සහිත තිරිඟු ශාකයක් බිහිවීමට හේතු වූ අතර එය පාන් පිළිස්සීමේ ව්‍යාප්තියට දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෘදු තිරිඟු වගාව විවිධ දේශගුණික කලාප හරහා ඉක්මනින් ව්‍යාප්ත වූ අතර මෙම තිරිඟු දේශීය විශේෂ සමඟ පහසුවෙන් දෙමුහුන් වී, විවිධ දේශගුණික තත්වයන්ට අනුවර්තනය විය.

පැරණිතම පාන් සහ බියර්.

වර්තමාන තුර්කියේ පිහිටා ඇති ලොව පැරණිතම නගරවලින් එකක් වන කැටල්හොයුක් (Catal Huyuk / Çatalhöyük) නම් නගරයේ, පුරාවිද්‍යාඥයින් විසින් වසර 8,600ක් පමණ පැරණි පාන් වල නටබුන් සොයාගෙන ඇත. උඳුනක් වැනි ව්‍යුහයෙන් තිරිඟු, බාර්ලි සහ කඩල ඇට අඩංගු "මමියක්" ලෙස ආරක්ෂා වී තිබූ පිටි ගුලියක් හමු විය. විශ්ලේෂණයන් මගින් "පැසවීමක/පිටි පිපීම"(එන්සයිම ප්‍රතික්‍රියාවක්) සලකුණු පෙන්නුම් කළ අතර, එතරම් ඈත කාලවලදී පවා දියුණු සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් තිබූ බවට සාක්ෂි පෙන්නුම් කරන ලදි.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා සහ රෝමයේ ලා සැපියන්සා විශ්ව විද්‍යාලවල පර්යේෂකයින් සොයාගෙන ඇත්තේ නූතන ෆෝකේෂියා පාන් (focaccia) වලට සමාන පාන් වර්ගයක් නව ශිලා යුගයේ පැවති බවයි. ක්‍රි.පූ. 6400 සිට 5900 දක්වා දිවෙන ඉහළ මෙසපොතේමියාවේ (වර්තමාන සිරියාව සහ තුර්කිය) ස්ථානවලින් ලබාගත් සෙරමික් බේකිං තැටි විශ්ලේෂණය කිරීමෙන් පෙනී ගියේ ඒවා සත්ව මේදය සහ එළවළු කුළුබඩු එකතු කර තිරිඟු සහ බාර්ලි වලින් සාදන ලද පිටි ගුලිය පිළිස්සීමට භාවිතා කළ බවයි. පොම්පෙයිහි බිතු සිතුවමක වසර 2,000 කට පෙර ෆොකාසියා පාන් නිරූපණය කර තිබී ඇත. එම තැටි පාන් ගෙඩිය මතුපිට යම් පිරවුමක් තිබුණ බැවින්, ඒ නිසා චිත්‍රය වහාම පීසා (Pizza) වල මූලාකෘතියක් ලෙස නම් කරන ලදි.

කෘෂිකර්මාන්තයේ තවත් මූලාරම්භක මධ්‍යස්ථානයක් වූයේ චීනයයි. එනම් චීනයේ ගෘහාශ්‍රිතව වගා කරන ලද වී වගාවන්ය. නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ, පුරාවිද්‍යාඥයින් විසින් වසර 10,000ක් පමණ පැරණි පුරාණ භාජනවල වී (සහල්) වලින් සාදන ලද බියර් වල අංශු සොයාගෙන ඇත. සෙරමික් භාජන විශ්ලේෂණය කිරීමේදී පැසුණු (එන්සයිම ප්‍රතික්‍රියාවක්) වී (සහල්) සහ අනෙකුත් ධාන්‍ය අවශේෂ පවතින බව අනාවරණය විය. - බියර් සෑදීම සිදුකරන්නේ ධාන්‍ය (පිෂ්ටය) සහ සීනි (මෝල්ට්) අඩංගු ද්‍රව්‍ය එන්සයිම ප්‍රතික්‍රියාවකට ලක් කිරීමෙනි.

ආහාර මිනිසා වෙනස් කළ ආකාරය

කෘෂිකර්මාන්තයට සංක්‍රමණය වීමත් සමඟ මිනිස් ආහාර රටාව සැලකිය යුතු ලෙස වෙනස් විය. දඩයම්කරුවන්ගේ විවිධ වූ ආහාර වේල, ගෘහාශ්‍රිත ශාක හා සතුන් මත පදනම් වූ සීමිත ආහාර කට්ටලයකට මග පෑදීය. නූතන ලෝකයේ ජනගහනයෙන් බහුතරයක් ප්‍රධාන වශයෙන් සහල්, තිරිඟු සහ ඉරිඟු අනුභව කරති. ආහාර වේලෙහි මෙම වෙනස හේතුවෙන් ප්ලයිස්ටොසීන (අයිස් යුගය - වසර මිලියන 2.6 සිට වසර 11,700 කට පෙර නූතන මිනිසුන්ගේ පරිණාමය - හෝමෝ සේපියන්ස්) යුගයේ අග භාගයේ මිලියන 10 ක් වූ ජනගහනය අද බිලියන 8 කට වඩා වැඩි විය. කෙසේ වෙතත්, එවැනි ආහාර වේලක් ආහාර ආශ්‍රිත රෝග පැතිරීමට සහ සමස්ත සෞඛ්‍යය දුර්වල වීමට ද දායක විය. උදාසීන ජීවන රටාව ජනගහනය වැඩිවීමට සහ විශාල ජනාවාස ඇතිවීමට දායක විය. කෙසේ වෙතත්, මෙය ගැටුම් හා ප්‍රචණ්ඩත්වය වැඩි කිරීමට හේතු වී තිබේ. බටහිර සහ මධ්‍යම යුරෝපයේ මුල් ගොවි ප්‍රජාවන්හි මිනිස් අවශේෂ පිළිබඳ අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ මිනිසුන්ගෙන් 10% ක් පමණ තුවාල හේතුවෙන් මිය ගිය බවයි.

මීට අමතරව, නූතන තුර්කියේ කැටල්හොයුක් (Çatalhöyük) නම් නගරයේ සොයාගෙන ඇති පුරාණ ජනාවාසවල පදිංචිකරුවන්ගේ දත් එනමලයේ ස්ට්‍රොන්ටියම් සහ ඔක්සිජන් සමස්ථානික විශ්ලේෂණය කිරීමෙන් ස්වදේශික නොවන පුද්ගලයින්ගේ පැවැත්ම අනාවරණය වී තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ විවිධ ජනගහන කණ්ඩායම්වල සංක්‍රමණයන් සහ මිශ්‍ර වීම, සංස්කෘතික හුවමාරුවට හේතුවීම පමණක් නොව, සමාජ ආතතීන් සහ ගැටුම්වලට ද හේතු වී ඇති බවයි.

යුරෝපීයයන්ගේ මුතුන් මිත්තන්

ආසන්න වශයෙන් වසර 8,000-9,000 කට පෙර, මැද පෙරදිග සිට යුරෝපයට ගොවීන්ගේ අතිරික්තය සංක්‍රමණය විය. එයට හේතුව වූයේ දඩයම් කරුවල් විසින් වදහිංසා කොට මරා දැමීම හා නින්දාවට පත්කිරීම නිසාය. එමෙන්ම, වසර 5,000 කට පමණ පෙර, යුරෝපා මහාද්වීපය ස්ටෙප් කඳුකරයේ සිට පැමිණි එඬේරුන් විසින් අත්පත් කර ගන්නා ලදී. ජාන විශ්ලේෂණ අධ්‍යයනයන්ට අනුව, නූතන යුරෝපීයයන් බොහෝ දුරට මෙම සංක්‍රමණ දෙකේ නියෝජිතයන්ගෙන් පැවත එන්නන් වේ.

ඔස්ට්‍රියාවේ වියානා විශ්ව විද්‍යාලයේ, ජාන විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වසර 8,000 කට පමණ පෙර ජීවත් වූ මධ්‍යම යුරෝපයේ ගොවීන් සමානාත්මතාවයෙන් හා සමාජ ස්ථරීකරණයක් නොමැති ජීවන රටාවක් ගත කළ බවයි. රේඛීය රටා ඇති මැටි භාණ්ඩ නිෂ්පාදනය කළ පුද්ගලයින් 250කට වැඩි පිරිසකගේ DNA විශ්ලේෂණයේදී පවුල් හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ අසමානතාවයන් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවීය. මෙයින් පෙනී යන්නේ මුල් කෘෂිකාර්මික සමාජ කැපී පෙනෙන ලෙස සමජාතීය සහ සාධාරණ ජීවන පිලිවෙතක් අනුව ජීවත් වූ බවයි.

සංක්‍රමණය සැමවිටම සාමකාමී නොවීය. ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ DNA විශ්ලේෂණයෙන් හෙළි වී ඇත්තේ වසර 5,900 කට පමණ පෙර ස්කැන්ඩිනේවියාව සම්පූර්ණයෙන්ම පාහේ ජනගහන වෙනසක් අත්විඳ ඇති බවයි. පළමු ගොවීන්ගේ පැමිණීමත් සමඟ පරම්පරා කිහිපයක් ඇතුළත දේශීය දඩයම්කරුවන් අතුරුදහන් විය. මෙය සාමකාමී සහජීවනය පිළිබඳ පෙර මතය ප්‍රතික්ෂේප කරන අතර ගොවීන් විසින් ගෙන එන ලද ගැටුම් හෝ නව රෝග පැතිරීම පෙන්නුම් කරයි. මෙම මුල් ස්කැන්ඩිනේවියානු ගොවීන් ඔවුන්ගේ ධාන්‍ය වර්ග අතර බේක් කළ පාන් වලට වඩා කැඳ සහ ස්ටූ වලට වැඩි කැමැත්තක් දැක්වූ බව සැලකිය යුතු කරුණකි. මෙය වසර 5,500ක් පැරණි ඩෙන්මාර්ක දූපතක් වන ෆුනෙන් හි පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින් අනාවරණය විය.

ස්ටූ (Stew) - මස් සහ එළවළු එකට දමා සාදන ලද හොදි සහිත ආහාරයක්.
ලුන්ඩ් විශ්ව විද්‍යාලය - ස්වීඩනයේ මහජන පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වන අතර උතුරු යුරෝපයේ පැරණිතම විශ්ව විද්‍යාල වලින් එකකි.

දඩයම් කල මිනිසා කෘෂිකර්මාන්තයට සහ පශු සම්පත් (සතුන්) අභිජනනයට මාරුවීමත් සමග මිනිසාගේ ජාන එයට අනුවර්තනය විය (පරිණාමය විය). පළමු ගොවීන් යුරෝපයට ජානමය උරුමය ගෙන ආවේ සෞඛ්‍යයට සහ බාහිර පෙනුමට බලපෑම් ඇති කරමින් වන අතර අද දක්වාම යුරෝපීයන් සමඟ පවතින ජානමය උරුමයකි. ජාන විද්‍යාවට අනුව යුරෝපීය දඩයම්කරුවන් අඳුරු සමක් ඇති අය වූ අතර සුදු සමක් ඇති අය මැද පෙරදිග සිට පැමිණි සංක්‍රමණික ගොවීන්ගේ ජාන උරුමයකි. එමෙන්ම, ගොවීන් යුරෝපයට එළවළු මේද සහ සීනි ජීරනයට (දිරවීමට) සහ අවශෝෂණයට සම්බන්ධ ජාන ප්‍රභේද කිහිපයක් ගෙන ආ අතර, "බඩවැල්" තුල ප්‍රතිශක්තිය වැඩි දියුණු කළ නමුත්, මෙය බඩවැල් රෝග සහ අතුරු ආබාධ සඳහා වැඩි ප්‍රවණතාවක් ද ඇති කළේය.

මෙම කාලපරිච්ඡේදය තුල ජෙනෝමයේ (ජාන කට්ටලයේ) සිදු වූ වඩාත්ම වැදගත් වෙනස්කම වන්නේ කිරි ජීර්ණය කිරීමේ හැකියාවයි. බොහෝ ක්ෂීරපායින්ට වැඩිහිටි අවදියෙදී මෙය කළ නොහැකි නමුත්, මිනිසා විසින් පශු සම්පත් (සත්ව ගොවිපල) ගොවිතැනේ දියුණුවත් සමඟ, බොහෝ මිනිසුන් පරිණාමයේ ස්වභාවික වරණය හරහා මෙම හැකියාව ලබාගෙන ඇත. කිරි වලට ඇල්මක් ඇති කරන ජාන යුරෝපයට ගෙන ආවේ වසර 5,000 කට පමණ පෙර ස්ටෙප් කඳුකරයේ සිට පැමිණි එඬේරුන් විසින් බව විශ්වාස කෙරිණි. නමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙම ජාන ප්‍රභේද වසර 1,000 කට පෙර, විශේෂයෙන් ගිනිකොනදිග යුරෝපයේ සහ කොකේසස්හි ගොවීන් අතර පෙනෙන්නට පටන් ගත් බවයි. කොකේසස් කලාපය නැගෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව පුරා පැතිරී ඇති කලාපයකි. එය කළු මුහුද සහ කැස්පියන් මුහුද අතර පිහිටා ඇති අතර, ප්‍රධාන වශයෙන් ආර්මේනියාව, අසර්බයිජානය, ජෝර්ජියාව සහ දකුණු රුසියාවේ කොටස් වලින් සමන්විත වේ.

එසේම, එම ඇනටෝලියානු ගොවීන්ගෙන්, යුරෝපීයයන්ට ශක්තිමත් ප්‍රතිශක්තියක් සහ බෝවන රෝග වලට ප්‍රතිරෝධය සඳහා වගකිව යුතු බොහෝ ජාන උරුම විය. මෙම සන්දර්භය තුළ, එක් ජානයක් බඩවැල් ආසාදන අවදානම අඩු කිරීම සඳහා වගකිව යුතු නමුත් පැපොල රෝගයේ අවදානම වැඩි කරයි. වසර 8,000 කට පමණ පෙර, මුත්‍රා ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා වූ ජානයක් මෙන්ම, පණු රෝග (හෙල්මින්ත්) ආසාදනය වීමේ වැඩි අවදානමක් ද ඇතිකරන ජාන මහාද්වීපය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්හ. වසර 8,000 කට පමණ පෙර පැතිර ගිය තවත් කුතුහලයක් ඇතිකරන ජානයක් වන්නේ ඇදුම රෝගයෙන් (ස්වයං ප්‍රතිශක්තිකරණ ක්‍රියාවෙන් ඇතිවන් බලපෑමකි.) ආරක්ෂා වන නමුත් කෘමීන් දෂ්ට කළ විට දැඩි කැසීම (ඇලර්ජික්) ඇති කරයි. එයින් පැහැදිලි වන්නේ, පරිණාමයට දෙකෙන්, එකක්, "තෝරා ගැනීමට" එනම් රෝග දෙකකින් අඩු අවදානමක් ඇති රෝගය නොසලකාහැර ඇත.

මේ සියලු බලගතු ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව මානවයා වසර දහස් ගණනක් බේරාගෙන ඇත, නමුත් අද එවැනි අති ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට එරෙහිව සටන් කිරීමට බොහොමයක් ක්ෂුද්‍රජීවීන් අසමත්ය. නමුත්, එය තමන්ගේම ශරීරයට එරෙහිව හැරෙමින්, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතිවීමේ සම්භාවිතාව බොහෝ වාරයක් වැඩි කරයි.

ඉන්දු-යුරෝපීය භාෂාවල ආරම්භය පිළිබඳ උපකල්පන දෙකක් තිබේ: එනම් , "පැමිණි එඬේරුන්" සහ "කෘෂිකාර්මික ගොවීන්" විසින් ගෙන ආ භාෂාවන්ය. පලමු උපකල්පනය විශ්වාස කරන්නේ පැරණිතම ඉන්දු-යුරෝපීය භාෂාව කතා කළේ වසර 5,000 කට පෙර යුරෝපයට පැමිණි එඬේරුන් වැසියන් බවයි. දෙවැන්න නම් භාෂා පවුල මුල්ම ඇනටෝලියානු ගොවීන් අතර කලින් තිබූ බැවින්, මෑත කාලීන අධ්‍යයන දෙකක් නිගමනය කර ඇත්තේ දෙවනි උපකල්පනයට පක්ෂව තවත් සාක්ෂි ඇති බවයි.

මෙසපොතේමියාවේ සහ පුරාණ ඊජිප්තුවේ පළමු රාජ්‍යයන් කෘෂිකාර්මික සමාජවල සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය: භූමිය වගා කිරීම සහ වාරිමාර්ග සඳහා විශාල පිරිසකගේ උත්සාහයන් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විය. යුරෝපයේ, නව ශිලා යුගයේදී ස්ටෝන්හෙන්ජ්, මෝල්ටාවේ සහ අනෙකුත් ස්ථානවල විශාල ඉදිකිරීම් (ව්‍යුහයන්) නිර්මාණය විය. නිදසුනක් වශයෙන්, වසර 6,000කට පමණ පෙර ඉදිකරන ලද, දකුණු ස්පාඤ්ඤයේ එතරම් ප්‍රසිද්ධ නැති මෙන්ගා ඩොල්මන් (The Menga dolmen) පවා, එහි පුරාණ ඉදිකිරීම්කරුවන්ගේ අසාමාන්‍ය ඉංජිනේරු කුසලතා පිළිබඳ සාක්ෂියකි. යෝධ ගල් කුට්ටි ප්‍රවාහනය කර ස්ථාපනය කිරීම සඳහා භෞතික විද්‍යාව, ජ්‍යාමිතිය සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අවබෝධයක් අවශ්‍ය සංකීර්ණ ක්‍රම භාවිතා කර ඇති බව ඊජිප්තුවේ පිරමීඩ ආශ්‍රිත පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

 

ඒ සියල්ල ආරම්භ වූයේ පුරාණ මිනිසුන්ගේ බීජවල තිත්ත ගතිය ඉවත් කිරීමට, ඒවා එතරම් තද නොවන පරිදි ඇඹරීමට ඇති ආශාව සහ වල් තිරිඟු වල කුඩා විකෘතියක් නිසා පිටි වඩාත් ඇලෙන සුළු වූ අතර පාන් සුදු පැහැති විය. ඔබ යම් ආහාරයක් පිටි වලින් සාදන විට, පීසා (Pizza), පාන් හෝ බනිස් ගෙඩියක් මිලදී ගන්නා විට මෙම දැවැන්ත ඉතිහාසය මතක තබා ගන්න.

Share:
ආහාර පාන : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්