ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී, ගාල්ලට නාවික සැතපුම් 46ක් පමන දුරින් "අයිරිස් ඩෙනා (IRIS Dena)" නම් ඉරාන ෆ්‍රිගේට් (frigate) නෞකාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් විසින් ටෝපිඩෝ (Torpedo) ප්‍රාහාරයක් එල්ලකර විනාශ කරන ලදි. දෙවන ලෝකයුද්ධයෙන් පසු ඇමෙරිකානු නාවික හමුදාව ටෝර්පිඩෝ එකකින් පහරදුන් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ඇත්ත වශයෙන්ම නෞකාවේ නම "අයිරිස් ඩේනා" හෝ "අයිරිස් ඩෙනා" නොවේ. එහි නම "අයිරිස් ඩීනා" නම් වේ. අයිරිස් නම් කෙටි යෙදුම IRIS >> Islamic Republic of Iran Ship , ලෙසත් ඩීනා (Dena) යනු ඉරානයේ තම රට ආරක්ෂා කරන විශාල කඳු වැටියකි. එමනිසා "අයිරිස් ඩීනා" ලෙස නෞකාව නම් කර ඇත. නමුත් මා හට මෙහි අයිරිස් ඩේනා ලෙස වැරදි ලෙස භාවිතා කිරීමට සිදුවී ඇත.
නැවියන් 130 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් මෙම නෞකාව ඉන්දීය නාවික හමුදාවේ යුධ අභයාසයකට සහභාගි වී එය අවසන් කර, ඉරානය බලා ගමන් කිරීමට සිටි නමුත්, ඉරානය බලා ගමන් කිරීමේ අවදානම අවබෝධකරගත් ඉරාන නාවික හමුදා අණදෙන මධ්‍යස්ථානය, අයිරිස් ඩෙනා නෞකාව ශ්‍රීලංකාවේ වරායකට අවතීර්ණ වීමට තීරණය කළහ. ඒ සදහා ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලා සිටි අතර ශ්‍රීලංකාවේ වරායකට අවතීරන වීමට අවසර ඉල්ලා සිටි ඔවුන් එම ස්ථානයේ රැදී සිටියහ. ඒ අතරතුර අනතුරු ඇඟවීමක් ලෙස, ප්‍රථමයෙන් වෙනත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ටෝපිඩෝ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ වීඩියෝ දර්ශන වල දිස්වේ. එය බොහෝ විට සබ්මැරීනය විසින් එල්ලකරන ලද "ටොම්හෝක්" කෲස් මිසෛල ප්‍රාහාරයක් විය හැකිය. පසුව එල්ලකල ටෝපිඩෝ ප්‍රහාරය නිසා ෆ්‍රිගේට් "අයිරිස් ඩේනා" නෞකාව ගිලී ගියහ. නැවියන් 87 දෙනෙකු මිය ගිය අතර දිවි ගලවා ගැනීමේ ජීවිතාරක්ෂක කබා පැළඳගත් ඉරාන නාවිකයින් 32 දෙනෙකු ශ්‍රීලංකාවේ නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන එන ලදි.
ෆ්‍රිගේට් (frigate) නෞකාවක කාර්ය භාරය වන්නේ පහර දීම සඳහා ඉදිරියට යාම නොව, වෙනත් විශාල නෞකාවක් හෝ මුහුදු සීමාවක් ආරක්ෂා කිරීමයි (ආරක්ෂකයෙකි). ෆ්‍රිගේට් (frigate) නෞකා පහරදීමට ඉදිරියට යන, මුහුදු යාත්‍රා නාශක නෞකාවකට (destroyer) වඩා ප්‍රමාණයෙන් කුඩා සහ වේගයෙන් වැඩි උපාමාරු දැමිය හැකි යාත්‍රාවකි. එපමනක් නොව මෙය සබ්මැරීන සොයා පහරදීම සඳහා සෝනාර් පද්ධති, හෙලිකොප්ටරයක් සහ ටෝර්පිඩෝ වලින් සමන්විතය. මෙම නෞකාව අවි ආයුධ වලින් සන්නද්ධ නමුත් ඉන්දියාව විසින් පවත්වනු ලබන නාවික යුද අභ්‍යාසයකට සහභාගීවීම නිසා ප්‍රොටෝකෝලයට (නීති රීති රාමුව) අනුව නෞකාව නිරායුධව සිටි අතර, යුධ අභ්‍යාසය අවසන් කර ඉරානය වෙත ගමන් කර සිටි අතරමැද මෙම ප්‍රාහාරයට මුහුණ දීමට සිදුවිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාව, සියලුම ඉරාන නෞකා ගමන් කරන හෝ නැංගුරම් දමා ඇති ස්ථාන හොදින් දනී. ලොව බලවත් රාජ්‍යයන් (ඇමෙරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව ආදී වශයෙන් .. ) තම සබ්මැරීන බලඇණි නිරන්තරයෙන් ජාත්‍යාන්තර මුහුදේ සෑම තැනකම දත්ත රැස්කිරීම සහ මුර සංචාරයේ යෙදී සිටී. ඇමෙරිකාව හා රුසියාව තම රාජ්‍යය න්‍යෂ්ටික ප්‍රාහාරයකට ලක්වුවහොත් න්‍යෂ්ටික ප්‍රති-ප්‍රාහාර එල්ලකිරීම සඳහා ගැඹුරු සාගරයේ නිරන්තරයෙන් මුර සංචාරයේ යෙදී සිටී. එම මුර සංචාර ඉතාමත් රහසිගතව සිදුවන අතරතුර ඔවුන් ඉලක්ක හදුනා ගැනීම, රහසිගතව සැඟවී සිටීම හෝ රහසිගතව ගමන් කිරීම සිදු කරයි. එවිට හදිසි යුද අවස්ථාවකදී සතුරාට පහර දීම රහසිගත ලෙස සිදු කරනු ලැබේ.
මෙම විනාශ වූ "අයිරිස් ඩේනා" ෆ්‍රිගේට් නෞකාව, ගාඩර් (Ghader) නැව් නාශක මිසයිල 4 කින් සන්නද්ධ වන අතර මෙම මිසෛල මගින් කි.මී. 330 km ක් දක්වා වූ දුරක ඇති නෞකා වලට පහර දී විනාශ කල හැකිය. එමෙන්ම විශ්කම්භය මිලිමීටර් 76 ක ප්‍රධාන කාල තුවක්කුවක් ( Fajr-27), විශ්කම්භය මිලිමීටර් 40 mm ක සහ මිලිමීටර් 30 mm ක ගුවන් යානා නාශක ස්වයංක්‍රීය තුවක්කු (Fath-40 and Fath-30) වලින් සන්නද්ධ වනවා මෙන්ම, සබ්මැරීනවලට පහරදීම සඳහා, මිලිමීටර් 324 mm ක විශ්කම්භයක් (Torpedo Launch Tube) ඇති ත්‍රිත්ව ටෝපිඩෝ දියත් කරන්නන් (Torpedo launchers) 2 කින් ද සමන්වීත වේ.
ටොර්පිඩෝ(Torpedo) යනු ජලයේ මතුපිට නොව ජලය තුල ගමන් කරන මිසයිලයක් වැනි ඉතා කුඩා යාත්‍රාවකි. එමෙන්ම, එය ජලයේ මතුපිට සිට ගැඹුර මිටර 0.5 m සිට මීටර 1000 m ක් දක්වා වූ පරාසය තුල කිලෝමීටර 40-50 km ක් පමන දුර පැයට කිලෝමීටර 100 km/h ක් උපරිම වේගයකින් ගමන් කල හැකි ප්‍රහාරක ටොර්පිඩෝ, පුපුරන ද්‍රවය කිලෝග්‍රෑම් 40 kg සිට 1000 kg දක්වා ප්‍රමාණයක් අඩංගු විය හැකි ස්වයංක්‍රීය කරන ලද යාත්‍රා විශේෂයක් වේ. සාමාන්‍යයයෙන් කුඩා ටොර්පිඩෝවක් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 8 ක් පමන වන අතර බර ප්‍රාහාරක ටොර්පිඩෝ එකක මිල ඩොලර් මිලියන 5ක් පමන වේ. ටොර්පිඩෝවක් මගින් ජලයේ, වේගය පැයට කිලොමීටර 80 km/h අඩුවෙන් ගමන් කරන ඕනෑම යාත්‍රාවකට පහරදිය හැකිය. එමෙන්ම, ටොර්පිඩෝවක් දියත් කිරීම සබ්මැරීන මගින්, නෞකා මගින්, ගුවන් යානා හෝ හෙලිකොප්ටර් යානා මෙන්ම ගොඩබිම සිටද සිදු කල හැකිය.
සියලුම ටෝර්පිඩෝ වල අඩංගු ප්‍රධාන උපකරණ කිහිපයක් ඇත. ලබා දී ඇති මාර්ගය අනුගමනය කර ගමන් කිරීම හා පාලනය කරන පද්ධතිය (Guidance and Control System), බල උත්පාදනය හා ප්‍රචාලන පද්ධතිය (Power and Propulsion System), විශේෂිත අභ්‍යන්තර යාන්ත්‍රණ පද්ධතිය සහ ඉලක්කය විනාශ කිරීමේ (Warhead) පද්ධතියයි. ටොර්පිඩෝව ගමන් කිරීමට බලය උත්පාදනය කරගන්නා ක්‍රම රාශියක් තිබේ. ටොර්පිඩෝවලින් පහරදීම ආරම්භ වූයේ දෙවන ලෝකයුද්ධය සමයේය. එතැන් සිට මේ දක්වා නිපදවන ලද ටොර්පෙඩෝ විවිධ තාක්ෂණ උපයොගී කර ගනී. එක් ක්‍රමයක් වන්නේ සම්පීඩනය කරන ලද වාතය මගින් ටොර්පිඩෝවේ පසුපස අග කෙලවරේ (පෙඳය) ප්රොපෙලර් (ප්‍රචාලකය) කරකවා එය ඉදිරියට තල්ලු කිරීමයි. සමහර ටොර්පිඩෝ වල වේගය වැඩිකිරීම සඳහා එය ඉදිරිපස දියබුබුලු (වාතය බුබුළු) සාදයි. එවිට ජලයත් සමග ඇතිවන ඝර්ෂණය (ජලයේ ප්‍රතිරෝදය) අඩු වීම නිසා වේගයෙන් ගමන් කරයි. එහි වාසි මෙන්ම අවාසිද ඇති නිසා ඒවා යොදාගැනීම සීමා කර ඇත.
නවීන ටොර්පිඩෝ, ප්‍රචාලන බලය ලබාගැනීම සඳහා විදුලිය උපයොගී කර ගනී. එනම් එය තුල ස්ථාපිත බැටරි මගින් විදුලිය ලබාදෙන අතර විද්‍යුත් මෝටරයක් මගින් ටොර්පිඩෝවේ ප්රොපෙලර් (ප්‍රචාලකය) එක කරකැවීම මගින් ඉදිරියට තල්ලු කරයි. එපමනක් නොව සමහර ටොර්පිඩෝ වල ප්රොපෙලර් (ප්‍රචාලකය) කරකැවීම සඳහා රසායනික ද්‍රවය භාවිතා කරයි. උදාහරනයක් ලෙස සල්ෆර් හෙක්ස-ෆ්ලෝරයිඩ් නම් රසායනික වායුව ඝන ලිතියම් කොටසකට එල්ලකල විට අධික තාප ශක්තියක් ඇති වන අතර එමගින් ජලවාශ්ප නිපදවා, එම වාශ්ප බලය උපයොගී කරගෙන ප්රොපෙලර් (ප්‍රචාලකය) කරකැවීම සිදුකර ටොර්පිඩෝව ඉදිරියට තල්ලු වේ. එමෙන්ම සමහර ටොර්පිඩෝ (MK-46/MK-48/MK-54) ඉන්ධන දහනය වන එන්ජින් භාවිතා කරනුලැබේ. උදාහරනයක් ලෙස ඔට්ටෝ ඉන්ධනය (Otto Fuel II / ප්‍රොපිලීන් ග්ලයිකෝල් ඩයිනිට්‍රේට් (ප්‍රධාන සංරචකය), 2-නයිට්‍රොඩිෆෙනයිලමයින් සහ ඩයිබියුටයිල් සෙබකේට් / propylene glycol dinitrate (the major component), 2-nitrodiphenylamine, and dibutyl sebacate.) ලෙස හැදින් වේ.
ටොර්පිඩෝවේ මාර්ගය අනුගමනය කර ගමන් කිරීම හා පාලන පද්ධතියේ කාර්ය වන්නේ ඉලක්කය කරා ගමන් කිරීම, එනම් එය ලුහුබැඳ ගොස් විනාශ කර දැමීමයි. ටොර්පිඩෝව මෙහෙයවීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් තඹ වයර් හෝ නවීන ටොර්පෙඩෝ "ආලෝක තන්තු (ඔප්ටිකල් ෆයිබර්)" මගිනි. ඒවා මගින් ටොර්පිඩෝවේ ප්‍රධාන පරිගණකයට දත්ත යවනවා මෙන්ම එය මගින් දත්ත තහවුරු කර ක්‍රියාවට නංවයි. සාමාන්‍යයෙන් ටොර්පිඩෝවට ඉලක්කය ඇති ස්ථානය ඛණ්ඩාංක ලෙස ඉලක්කයේ ගැඹුර, දිශාව, සහ දුර ලබාදේ. දිශාව මැග්නිටෝ මීටර මගින්, ගැඹුර ජල පීඩනය මගින් සහ දුර සොනාරය මගින් සොයාගනී. නමුත් සොනාරය ක්‍රියාත්මක වන දුර සීමා සහිතය එම නිසා සබ්මැරීනය මගින් වයර ආධාරයෙන් ඉලක්කය නිවැරදි කිරීම හෝ නියමුවා විසින් පාලනය කල යුතුව ඇත. එපමනක් නොව කලින් සකසන ලද මාර්ගයක් අනුගමනය කර පහරදීමද සිදුකල් හැකිය. GPS තාක්ෂණය ජලය තුල ක්‍රියාත්මක කල නොහැක, එයට හේතුව ඉහත සඳහන් කල පරිදි රේඩියෝ තරංග ජලය හරහා ගමන් නොකරන නිසාය.
එසේනම්, මාර්ගය අනුගමනය කරමින් ගමන් කරන්නේ කෙසේද? ඒ සඳහා ටොර්පිඩෝව අවස්ථිති සංචාලන පද්ධතිය ක් අඩංගු වේ. ලොවට GPS තාක්ෂණය හදුන්වාදීමට පෙර මෙම ක්‍රමය මගින් ගුවන්යානා තම මාර්ගය නිවැරදි කිරීමට උපයෝගී කර ගත්හ. එය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රික ක්‍රමයක් (නවීන ඉලෙක්ට්‍රෝනික ක්‍රම ඇත) වන නිසා බාහිර සාධක මත රදා නොපවතී. එය ගයිරස්කෝපයේ (gyroscope) මූලධර්මය භාවිතා කරමින්, එනම් අවකාශයේ නොවෙනස්ව පවතින, දන්නා එක ලක්ෂ්‍යයක සිට, වස්තුවට ඇති වූ බලපෑම මෙම උපකරණයට සටහන් කල හැක, එමෙන්ම, සටහන් කල රටාවක් අනුගමනය කල හැක.
සරල උදාහරනයක් ලෙස එය මෙසේ පැහැදිලි කල හැක.
දන්නා ස්ථානයක සිට වාහනයක, මගියෙකු ලෙස හසුන් ගත් ඔබ ඇස්දෙක වසා ඔබ දන්නා තවත් ස්ථානයකට එම වාහනයේ යනවිට, ඉතා කල්පනාකාරීව සිටින ඔබට යන මාරගය වැටහෙනු ඇත. එසේ සිදුවන්නේ අපගේ අභ්‍යන්තර කනේ (වෙස්ටිබුලර් පද්ධතියේ ඇති ද්‍රව නල තුන) ඇති ජීව විද්‍යාත්මක විභ්‍රමේක්ෂයක් (biological gyroscope) ලෙස ක්‍රියා කරන නිසයි.
ටොර්පිඩෝව ගමන් කරන ගැඹුර පාලනය කරනු ලබන්නේ විශේෂිත අභ්‍යන්තර යාන්ත්‍රණ පද්ධතියක් මගිනි. ටොර්පිඩෝවේ ප්‍රමාණයට වඩා බරින් අධික නිසා එය ජලයේ කිමිදෙන අතර, ගුවන් යානයක එලෙවේටර්ස් (Elevators) මෙන් ටොර්පිඩෝවේද ඇති කුඩා පියා පත් (directional rudders) කොටස මගින් ඉහල, පහල, සහ වමට, දකුණට හැරවීම සිදුවේ. ප්රොපෙලර් (පංකාව) මගින් සිදුවන්නේ එය ඉදිරියට තල්ලුකිරීම පමනි.
සබ්මැරීනයක් ඉදිරියට ගමන් කරන්නේ ද පසුපස ඇති ප්රොපෙලර් (පංකාව) කරකැවීම මගිනි. එම පංකාව කරකවීමට අවශ්‍යය බලය ඩීසල් එන්ජින්, ඩීසල්-විදුලි බලය සහ න්‍යෂ්ටික බලය මගින් බලය ලබාගනී. එය ජලයට කිමිදෙන්නේ එය තුලට ජලය පුරවාගැනීමෙනි. එනම්, එහි උඩුකුරු තෙරපුමට සමාන බරක් ඇති ජල ධාරිතාවක් එය තුලට ගත් පසු ජලයේ කිමිදෙන අතර සබ්මැරීනයේ ඇති පියාපත් (directional rudders) මගින් ඉහල පහල සහ වම, දකුණට හැරවීම සිදුකරයි.
ඉලක්කය විනාශ කිරීමේ (Warhead) පද්ධතිය මගින් ඉලක්කය විනාශකිරීම සඳහා පුපුරන ද්‍රවය අඩංගු වේ. ටොර්පිඩෝවේ වර්ගය සහ ප්‍රමාණය අනුව පුපුරන ද්‍රවය ප්‍රමාණය රදා පවතී. පිපිරීම සිදුවන්නේ ටොර්පිඩෝවේ ඝට්ටන සංවේදක සක්‍රීය වූ විට, එනම් ඉලක්කය වූ යාත්‍රාව සහ ටොර්පිඩෝව ගැටුන විට හෝ සමීපතා සංවේදකය සක්‍රීය වූ විට ය. එනම් ටොර්පිඩෝව යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන විට එය පුපුරා යයි.
අයිරිස් ඩේනා (IRIS Dena) නැවට පහරදුන් ටොපිඩෝව හෙවත් ජලයේ ගමන් කරන මිසයිලය, MK-48 වර්ගයට අයත්වන අඩි 19ක් දිග අඟල් 21 ක් විශ්කම්භයකින් හා බරින් කිලෝග්‍රෑම් 1587kg කින් යුත්, කුඩා සබ්මැරීනයක් වැනි දිය යටින් ගමන් කරන මිසයිල වර්ගයකි. MK-48 ටොපිඩෝව පැයට කි. මී. 50-100km/h ක වේගයකින් ගමන් කරන මෙය පුපුරන ද්‍රවය කිලෝග්රෑම් 294 kg ක් අඩංගු වේ. ටොපිඩෝව ට ගමන් කල හැකි උපරිම දුර, එනම් ඉලක්කයට පහර දිය හැකි දුර කිලෝමීටර 46–50 km ක් වන අතරම උපරිම ගැඹුර මීටර් 800 m ක් පමන වේ. ටොපිඩෝවේ බලවත් සොනාරය සීබේස් (CBASS) නමින් හැදින්වේ. එය ක්‍රම කීපයකට ක්‍රියාත්මක කිරීම මගින් උපායශීලීව ඉලක්කය විනාශ කිරීමට වගබලාගනී. නුදුරින් පිහිටි ඉලක්ක වලට පහරදීමේදී, ටොපිඩෝව ඉලක්කය වෙත නිදහස් කර අමතක කර දැමිය හැකිය (autonomous fire-and-forget operation). එය ස්වයංක්‍රීයව ඉලක්කය සොයා යයි. නමුත් දුරස්ථ යාත්‍රා වලට පහරදීමේදී ටොපිඩෝවේ ඇති වයර් සම්භන්ද මගින් පාලනය සිදු කර ඉලක්කය විනාශ කිරීමේ වැඩි නිරවද්‍යතාවයක් පෙන්වයි. සබ්මැරීනයෙන් නිකුත්කල ටොර්පිඩෝව ඉදිරියට ගමන්කරන විට එය තුල බොබිනයක ඔතා ඇති ද්විත්ව කේබලය දිග හැරෙමින් කිලෝමීටර කිහිපයක් ගමන්කරන අතර කේබලය අවසන් වූ විට එය ස්වයංක්‍රීයව එයට ලබාදී ඇති ඉලක්කය ලුහුබැඳීම සිදු කරයි. ඉලක්කය වන යාත්‍රාව විසින් ටෝර්පිඩෝවට එරෙහිව ගන්නා සියලුම උපාය මාර්ගවලට එරෙහිව ක්‍රියාකර අවසානයේ ඉලක්කය විනාශ කිරීමට ටෝර්පිඩෝවේ පරිඝණකය මගින් ස්වයංක්‍රීයකරනය කර ඇත. ඉලක්කය වන යාත්‍රාව විසින් ටෝර්පිඩෝවට එරෙහිව ගන්නා උපාය මාර්ගයන් පහත විස්තර කර ඇත.
එමෙන්ම ටොර්පිඩෝවද ඉලක්කය විනාශ කිරීමට නොයෙක් උපක්‍රම යොදාගනී. තම සොනාරය එක දිගටම ක්‍රියා කලහොත් සතුරා විසින් ප්‍රතිප්‍රහාර එල්ලකරනු ලැබේ. එම නිසා ටොර්පිඩෝවේ සොනාරය ක්‍රම කිහිපයකට ක්‍රියාකරන අතර එක් ක්‍රමයක් වන්නේ "පැසිව් හෝමින්ග්" ක්‍රමයයි. සොනාරය කිසිම ශබ්ද තරංගයක් නිකුත් නොකර, එහි සංවේදක මහින් ඉලක්කය වන යාත්‍රාවේ ශබ්ද අනන්‍යතාවය සොයා ඒ වෙත ගමන් කරයි. යම් අයුරින් ඉලක්කය සොයාගත නොහැකි වුවහොත් නැවත සොනාරය සක්‍රීය වී, "ඇක්ටිව් හෝමින්ග් (Active homing)" හෙවත් සොනාරය විසින් අධිශබ්ද තරංගයක් නිකුත් කර (acoustic pulses "pings") එහි පරාවර්ථනය වන තරංගය විශ්ලේෂණය කිරීම තුලින් ඉලක්කය හදුනා ගෙන එය වෙත ගමන් කරයි. නමුත් ටොර්පිඩෝවේ වයර් සම්භන්දතාවය විසන්ධි නොවී ඇත්නම්, සබ්මැරීනය තුල සිටින ටොර්පිඩෝ පාලකයා (ඔපරේටර්) මගින් එය නැවත ඉලක්කය වෙත යොමුකරනු ලැබේ. සබ්මැරීනය තුල ඇති ඉලෙක්ට්‍රෝනික උපකරණ මගින් ඉලක්කය වන යාත්‍රාව සහ ටොර්පිඩෝව දිස්වන ප්‍රහාරක පද්ධතිය හරහා ටොර්පිඩෝ පාලකයා විසින් නිවැරදිව යොමුකිරීම සිදුකරයි.
හෙලිකොප්ටර් යානා මගින් හෝ ගුවන් යානා මගින් සබ්මැරීනයක් සොයා පහරදෙන අයුරු: ප්‍රථමයෙන් ඉලක්කය වන සබ්මැරීනය සොයාගතයුතුය. ඒ සඳහා, සැකසහිත මුහුදු තීරයේ (ප්‍රදේශයේ) ගුවන්යානයක් පහතින් ගමන් කරමින් පාවෙන බෝයාවක සවිකරන ලද සොනාර (Sonobuoys), නිකුත්කර එම සොනාර මුහුදේ අතුරනු ලැබේ. සොනාරය ජලය තුලට මීටර කිහිපයක් කිමිදෙන අතර බෝයාව මතුපිට පාවේ. බොයාවේ ඇති සන්නිවේදන උපකරන මගින් සොනාරයේ දත්ත ගුවන් යානය වෙත හෝ චන්ද්‍රිකා වෙත යවනු ලැබේ. යුධ අවස්ථාවකදී සතුරු සබ්මැරීනයක් හදුනා ගතහොත්, ගුවන් යානය පහතින් ගමන් කරමින් පැරිෂුටයක් ආධාරයෙන් ඉලක්කය වෙත ටොර්පිඩෝවක් නිකුත් කරනු ලැබේ. එය ජලයට පතිත වූ වහාම සක්‍රීය වී ඉලක්කය වෙත ගොස් එය විනාශ කර දමයි.
හෙලිකොප්ටර් යානා මගින් සබ්මැරීන සොයා මෙහෙයුම් සිදු කරන විට, ප්‍රථමයෙන් යානාවේ සිට සොනාර් සංවේදකයක් ජලය තුළට කේබලයක් ආධාරයෙන් පහත් කරන අතර සතුරු සබ්මැරීනයක් සොයා ගැනීමට හැකි වූ විට හෙලිකොප්ටරයේ සිට පැරෂුටයක් (parachute) මගින් ටොර්පිඩෝව ජලයට දියත් කරනු ලැබේ. ටොර්පිඩෝව ජලයට පතිත වූ විගසම එය සක්‍රීය වී තම පද්ධතියට ලබාදී ඇති දත්ත අනුව ඉලක්කය සොයා ලුහුබැඳ එය විනාශ කර දමයි.
සබ්මැරීනයක් ටොර්පිඩෝවකින් පහරදෙන අයුරු: ප්‍රථමයෙන් සබ්මැරීනය විසින් ඉලක්කය හදුනා ගත යුතුය. ඒ සඳහා සබ්මැරීනය සොනාර (sonar) භාවිතා කරයි. සොනාරය උපයෝගී කරගනිමින් සබ්මැරීනය ඉදිරියේ වූ කලාපය ස්කෑන් කරනු ලැබේ. එපමණක් නොව සබ්මැරීනය අවට අවකාශයේ ශබ්දය විශේෂ උපකරන ආධාරයෙන් ලබාගෙන සවන්දෙනු ලබන අතරම යම් වෙනත් කුමන හෝ යාත්‍රාවක් කි.මී. 100 ක පරාසයක ඇත්නම් ඒවා හදුනා ගනු ලැබේ. එසේ හදුනා ගන්නේ සෑම යාත්‍රාවකටම ඊට ආවේනික හඬක් ඇත. එම ශබ්දය ජලය හරහා හොදින් සන්නයනය වේ. සබ්මැරීන තැනීමේ තාක්ෂණයේ ප්‍රධාන රහසිගත කොටසක් වන්නේ, සබ්මැරීනය ඉදිරියට තල්ලු කරන ප්‍රචාලක පද්ධතියේ ඇති තල වල නිර්මාණ ශිල්පයයි. සබ්මැරීනයක ශබ්දය ඇති වන්නේ මෙම තල මගිනි. අවම ශබ්දයක් ඇති විට එයට, සතුරු යාත්‍රා වලින් සැඟවී රහසිගතව ගමන්කර හැකිය. ඉතාමත් පලපුරුදු සම්බැරීන නැවියන් හට ඇසෙන ශබ්දය අනුව යාත්‍රාවේ වර්ගය, යාත්‍රාව යන දිසාව පවා කිව හැකිය.
ගුවන් යානයක රෙඩාරයක් මෙන්, සබ්මැරීනය සොනාර භාවිතා කරයි. ජලයේ රේඩියෝ තරංග ක්‍රියා නොකරන නිසා රේඩාර් භාවිතා කල නොහැක. එම නිසා සබ්මැරීනය අධි සංඛ්‍යාත ශබ්ද තරංග භාවිතා කරයි. එම ශබ්ද තරංග රේඩාරයක් මෙන් භාවිතා කරන උපකරණය සොනාරය ලෙස හැදින් වේ.
සබ්මැරීනය සොනාර මගින් ඉලක්කය හඳුනා ගත් පසු, ස්වයංක්‍රීයව එමදත්ත ටොපිඩෝවට ලබා දීමෙන් පසුව, සබ්මැරීනයේ ප්‍රහාරක කණ්ඩායම විසින් ටොපිඩෝව දියත් කරනු ලැබේ. සබ්මැරීනයේ සිට ටොපිඩෝව ජලයට නිකුත්වන්නේ අදික පීඩනයට ලක්කරන ලද වාතය මගිනි. ටොපිඩෝව නිකුත් වූ පසු, එයට සවිමත් වයර සම්භන්ද කර ඇති අතර එමගින් එය ඉලක්කය කරා ගෙනයාම සිදුකරයි. ටොපිඩෝව ද සොනාරයකින් සන්නද්ධ නමුත් එය ක්‍රියා කරන්නේ කෙටි පරාසයක් තුල පමණි. එම නිසා ඉතා දුරස්ත ඉලක්ක වලට පහරදීමට, ප්‍රථමයෙන් වයර මගින් ටොපිඩෝව පාලනය කරන අතර වයරයේ දිග අවසන් වූ පසු එය විසන්දි වී ස්වයංක්‍රීයව ටොපිඩෝව තම සොනාරය මගින් ඉලක්කය හඳුනා ගෙන ඉලක්කය ලුහුබැදීම සිදුකර අවසානයේ ඉලක්කය විනාශ කරයි. යම් අයුරින් ඉලක්කය මගහැරුන හොත් එය නැවත හැරී ඉලක්කය ලුහු බැඳීම සිදුකරයි. ඒ අතර තුර ඉලක්කය වූ යාත්‍රාව එයින් බේරීමට නොයෙක් උපක්‍රම (countermeasures) භාවිතා කරයි.
අනෙකුත් ටෝර්පිඩෝ මෙන් මාර්ක්-48 (MK-48/Maerk-48) නිර්මාණය කර ඇත්තේ ද නෞකාවක බඳ යට මතුපිට පුපුරා යනවිට ඇතිවන වාත රික්තකය සමඟ විශාල දිය බුබුල මගින් යාත්‍රාවේ බද ඉහලටත්, බැවින් යාත්‍රාව දෙකඩ වී පසුව එය ක්‍ෂණිකව පහලට යන විට, යාත්‍රාවේ දෙකෙලවර ජලයේ ඇති නමුත් බඳේ මැද කොටස දිය බුබුල ඇතිවීම නිසා හිසවකාශයක පවතින නිසා ඉක්මනින් ගිලී යාම සිදුවේ.
ටෝර්පිඩෝවකින් බේරීමට ප්‍රධාන පියවරයන් ඛාණ්ඩ තුනකට බෙදිය හැකිය.
ඇමෙරිකානු සබ්මැරීන අනෙකුත් බලවත් රටවල මෙන් නිරන්තරයෙන් ජාත්‍යාන්තර සාගරයේ, මීටර 20 m ත් මීටර 2500 m ත් අතර ගැඹුරකින් මුර සංචාරයේ යෙදී සිටී. ඩියාගෝ ගාර්ෂියා (Diego Garcia) දූපතේ ප්‍රභල ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් පවතින අතර මෙය ටැක්ටිකල් (උපායශීලීව හෙලන කුඩා න්‍යෂ්ටික බෝම්බ) න්‍යෂ්ටික බෝම්බ රැගෙන යන බී-2 (B-2 Spirit) වරගයට අයත් රේඩාර් වලට හසු නොවන බෝම්බ හෙලීමේ මෙම ගුවන් යානා වල ප්‍රධාන කදවුරු වලින් එකක් වේ. මෙම කඳවුරේ ටැක්ටිකල් න්‍යෂ්ටික බෝම්බ හා වෙනත් සමූල විනාශයක් සිදුකරන අවි පවතින අතර එය ආරක්ෂා කිරීමට අවම වශයෙන් නිරන්තරයෙන්ම සබ්මැරීන 2ක් වත් ආරක්ෂාවට යොදා ඇත. ඇමෙරිකාව ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට විරුද්ධව ඇති වූ යුද්ධය හේතුවෙන් "ඒබ්‍රහම් ලින්කන්" ගුවන් යානා වාහක හා ප්‍රාහාරක නාවික බලඇණිය (USS Abraham Lincoln [CVN-72] Carrier Strike Group) ඉන්දියන් සාගරයේ අරාබි මුහුදු කලාපය අසල මෙහෙයුම් සිදු කරන නිසා "අයිරිස් ඩේනා" නෞකාවට එය හරහා යාමට කිසිසේත්ම නොහැකි නිසා ශ්‍රීලංකාවේ මුහුදුතීරයේ සිටීමට තීරණය කල අතර එය, "ඩියාගෝ ගාර්ෂියා" දූපතේ කඳවුරට සහ ගුවන් යානා වාහක හා ප්‍රාහාරක නාවික බලඇණියට ඇති අවදානම නිසා පහරදී විනාශ කලහ.
කලින් සදහන් කල පරිදි "ඩියාගෝ ගාර්ෂියා" දූපතට ආසන්නයේ මුර සංචාරයේ යෙදී තිබූ සබ්මැරීනය විසින් ප්‍රථමයෙන් ටොම්හෝක් කෲස් මිසයිල ප්‍රහාරයක්, අයිරිස් ඩේනා නෞකාවට එල්ල කලා විය හැකිය. ටොර්පිඩෝවකින් පහරදිය හැක්කේ ආසන්නයේ ඇති (40-50 km කි.මී.) ඉලක්කයකට පමණි. ටොම්හෝක් කෲස් මිසයිලය මගින් යත්‍රාව මුලුමනින්ම විනාශ නොවූ නිසා, සබ්මැරීනය ඉලක්කයට සමීප වූ විට, සබ්මැරීනය සිටින ගැඹුර අඩු කර එනම් ජලය මතුපිට සිට මීටර 5-15 m ක් ගැඹුරින් සබ්මැරීනයේ ප්‍රහාරක පෙරිස්කෝපය (Periscope) උපයොගී කර ගනිමින් ටොර්පිඩෝ පාලකයා විසින් වයර ආධාරයෙන් පාලනය කිරීම මගින්, පෙරිස්කෝපයෙන් බලා ටොර්පිඩෝව "අයිරිස් ඩේනා" නෞකාවට යොමුකර ඇති බව පෙනෙන්නට ඇත. සමහර විට ඉරාන අයිරිස් ඩේනා නෞකාවේ එන්ජිම සහ අනෙකුත් උපකරණ අක්‍රීය කර තිබූ නිසා හෝ යාත්‍රාව සක්‍රීය තත්වයේ තිබුනානම්, ටොර්පිඩෝවකින් ආරක්ෂා වීමට (බේරීමට) අනුගමනය කරන උපාය මාර්ග අනුගමනය කිරීම නිසා ටොර්පිඩෝ පාලකයා විසින්, වයර ආධාරයෙන් පාලනය කර පහර දීමට තීරනය කලා විය හැකිය. කෙසේ වෙතත්, MK-48 වර්ගයේ ටොර්පිඩෝවකින් එය විනාශ කල බව ඇමෙරිකානු ආරක්‍ෂක අංශ නිවේදනය කලහ.