සංකීර්ණ කරුණු සරල බසින්

ඉන්දියන් සාගරයේ මුහුදු ආහාර වලින් ප්‍රවේශම් (විකිරණ) විය යුතුද?
සෞඛ්ය ආරක්ෂණය

ඉන්දියන් සාගරයේ මුහුදු ආහාර වලින් ප්‍රවේශම් (විකිරණ) විය යුතුද?

ඇමෙරිකා එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණය මගින් ප්‍රාන්ත ගණනාවක වරායන් තුල, එනම් ලොස් ඇන්ජලීස්, හූස්ටන්, මියාමි සහ ජෝර්ජියාවේ සැවානා යන වරායන් වෙත පැමිණි නැව්ගත බහාලුම්වල ඉතා විකිරණශීලී සීසියම්-137 න්‍යෂ්ටික අපද්‍රවය වලින් දූෂණය වී ඇති බව සොයාගන්නා ලදි. අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත ඉන්දුනීසියානු ආනයන සමාගමක් වන බී.එම්.එස් ෆුඩ්ස් (P.T. Bahari Makmur Sejati - BMS Foods) සමාගම විසින් අමෙරිකා එක්සත් ජනපදයට, ඉන්දුනීසියාවේ සිට ආනයනය කරන ලද ශීත කළ ඉස්සන් න්‍යෂ්ටික අපද්‍රවය වලින් දූෂණය වී ඇති බව සාම්පල පරීක්ෂා කිරීමෙන් පෙන්නුම් කර ඇති බවත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඇමෙරිකානු එෆ්.ඩී.ඒ (U.S. Food and Drug Administration - FDA) මගින් අනාවරණය කරන ලදි. එම සමාගමේ වෝල්මාර්ට් (Walmart) හි අලෙවි කල ශීත කළ ඉස්සන් සහ අනෙකුත් මුහුදු ආහාර නිෂ්පාදනවල විකිරණශීලී ද්‍රව්‍යය අඩංගු බව පරීක්‍ෂා කිරීමෙන් පසු, මුහුදු ආහාර ගැනීමෙන් වළකින ලෙස එෆ්ඪ්ඒ (FDA) පාරිභෝගිකයින්ට අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය අනතුරේද?

ඉන්දියන් සාගරයේ මුහුදු ආහාර වල විකිරණශීලී සේසියම් 137 (Cesium-137) අඩංගු විය හැක. හේතුව ජපානයේ ෆොකුශිමා නියෂ්ටික බලාගාරය පිපිරී යාමත් සමගම දින 6කින් පසුව එහි තිබූ ජලය සාගරයට මුදාහරින ලදි. එහි වැඩි ප්‍රමාණයක් ඉතා විකිරණශීලී සේසියම් -137 (Cesium-137) විකිරණශීලී පරමාණු වන අතර එය වසර ගනනාවක් තුල විකිරණ පිටකරයි, සේසියම් -137 න්‍යෂ්ටික ක්ෂය වීමේ අර්ධ ආයු කාලය වසර 30කි. එනම් එම රේඩියෝනියුක්ලයිඩ වලින් හරි අඩක් (50%) නිශ්ක්‍රීය වීමට වසර 30ක් ගතවේ. ඉතිරි 50% න්, තවත් 50% ක් (මුල් අගයෙන් 25%) විකිරණශීලීතාවය ක්ෂය වීමට තවත් වසර 30ක් ගතවේ. ඒ ආකාරයෙන් වසර ගණනාවක් පරිසරයේ පවතී. එම දූෂිත න්‍යෂ්ටික අපද්‍රවය ජපානය ආශ්‍රිත මුහුදේ පමනක් නොපවතින අතර මුලු ලොව පුරා සාගර සහ මුහුදු වලට පැතිර යයි.

මුහුදට නිකුත්කල එම ජලය ලොව පුරා සාගර වල පැතිරෙමින් පවතින අතර සාගර ධාරාවන් (ocean stream), විකිරණශීලී අංශු සුළඟින් සහ මුහුදු මත්ස්‍යයින් සහ අනෙකුත් ජීවීන්ගේ සංක්‍රමනය මගින් වේගයෙන් පැතිර යාම සිදු වේ. එමෙන්ම ජපානයෙන් ගෙන්වන ලද භාවිතා කල වාහන අමතර කොටස් ද විකිරණශීලී විය හැක. මෙම සාගර වල ජීවත්වන සියලුම සතුන් හා ශාක තුලට මේවා අවශෝෂනය වන අතර, ඒවා අපගේ ආහාරය ලෙස ගත්විට එම විකිරණශීලී රේඩියෝනියුක්ලයිඩ් (පරමාණු) ශරීරයට ඇතුලු වේ. එපමනක් නොව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සහ මුහුදු ලුනු නිශ්පාදනය ද අවදානම් තත්වයක පවතී. එනම් මුහුදු ලුනු මගින් එම අපද්‍රවය අපගේ ආහාර වේලට එකතු වනවා පමනක් නොව කාලයක් තුල ශරීරයේ එකතුවීම නිසා රටේ අනාගත පරපුරේ මෙන්ම වත්මන් පුරවැසියන්ගේ ශරීර සෞඛ්‍යය ඉතාමත් අවදානම් තත්වයක පවතී. ඉන්දියන් සාගරය දූෂණය වී නොමැති බවට ශාක්ශි නොමැති අතර ශ්‍රීලංකාව අවට මුහුද සහ මුහුදු ආහාර වල සුරක්ෂිතතාවය තහවුරු කිරීම, රටේ ආර්ථික හේතූන් මත නිසිපරිදි කටයුතු කරනවාද යන්න සැක සහිතය. නමුත් ඉන්දුනීසියාව අවට මුහුද න්‍යෂ්ටික අපද්‍රවය වලින් දූෂිත වී ඇතිබව පැහැදිලිව ඔප්පුවී ඇත.

විකිරණශීලී සේසියම් 137 (Cesium-137) වැනි රේඩියෝනියුක්ලයිඩ ශරීර ගත වූ විට පිළිකා සහ අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග සීඝ්‍රයෙන් ඉහල යනු ඇත. මුහුදු ආහාර සහ රේඩියෝනියුක්ලයිඩ සහිත ලුනු සැම විටම නොයේක් ආහාරමගින් ලැබීම තුලින් ශරීරගතවන රේඩියෝනියුක්ලයිඩ මාත්‍රාව ඉහල යයි.

2011 දී ජපානයේ බූමිකම්පනයක් හේතුවෙන් සුනාමියක් ඇති වූ අතර එයින් බරපතල අනතුරක් සිදු වූ ෆුකුෂිමා-1 (Fukushima - 1) න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජල කාන්දුවක් සිදුවිය. බලාගාරයේ ක්‍රියාකරු වන ටෝකියෝ විදුලිබල ආයතනයක් වන ටෙප්කෝ (TEPCO) පවසන අන්දමට, අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවති ද්‍රව පිරිසිදු කිරීමේ ඒකකයකින් විවෘත කර තිබූ කපාට හරහා දූශිත ජලය කාන්දු වූ බවයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය (Nuclear Reactor) තුල ඉන්ධන දියවීම වළක්වාලීම සදහා (සිසිල් කිරීමට) යොදාගත් මෙම ජලය බෙකරල් (Becquerels - Bq) බිලියන 22 ක විකිරණශීලීතාවයකින් යුත් ටොන් 5.5 ක් කාන්දු වූ අතර උපරිම අවසර ලත් විකිරණශීලී මට්ටම ලීටරයකට බෙකරල් 1,500 Bq කි.

වඩාත්ම කැපී පෙනෙන ගැටළුව වන්නේ ඉවත් කිරීමට අපහසු සමස්ථානික ට්‍රිටියම් අඩංගු පිරිපහදු කළ විකිරණශීලී ජලය විශාල ප්‍රමාණයක් වන අතර එය ටැංකි තුළ ගබඩා කර තිබූ අතර ඒවා පිරී යාම නිසා ජපානය 2023 සිට පැසිෆික් සාගරයට දශකයක් පුරා පාලනය කරන ලද මුදා හැරීම් සිදුකිරීමට හේතු විය. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් නිරීක්ෂණය කරනු ලබන අතර පාරිසරික හා ආර්ථික බලපෑම් පිළිබඳව සැලකිලිමත් වන දේශීය ප්‍රජාවන්ගෙන් සහ ධීවර ජනතාවගේ විරෝධයට මුහුණ දෙයි. ට්‍රිටියම් න්‍යෂ්ටික විලයනය ප්‍රතික්‍රියාව සඳහා ඉන්ධනයක් ලෙස භවිතා කල හැකි අතර ජපානය එවා මුහුදට නිදහස් කරන ලද්දේ ඇයිද යන්න ප්‍රශ්න ඉස්මතු වේ. බොහෝ විට ලෝකයේ වත්මන් දේශපාලන ත්ත්වය අනුව රටවල් සමග සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා විය හැකියි. නමුත් ආත්මාර්ථකාමී ලෙස සාගරයට මුදාහැරීම මගින් මුලු ලොවම වන්දි ගෙවීමට සිදු වේ. ට්‍රිටියම් (හයිඩ්‍රජන් සමස්ථානික) නිශ්ක්‍රීය වීමට වසර 13ක් ගතවන අතර එම දූශිත ජලය මුහුදු ජලය සමග මිශ්‍ර වූ විට ඉක්මනින් තනුක වී නිශ්ක්‍රීය වීම මදක් වේගවත් කරයි. මුහුදු ජලයේ ඩියුටීරියම් (හයිඩ්‍රජන් සමස්ථානික) සහ ට්රිටියම් ස්වභාවිකව පවතින නමුත් ඩියුටීරියම් වලට සාපේක්ෂව ට්රිටියම් ඉතා අඩුය.

ෆුකුෂිමා-1 න්‍යෂ්ටික බලාගාරයේ ඉන්දන ලෙස භාවිතා කල යුරේනියම් ( Uranium-235/U-235) ඩයොක්සයිඩ් දාම ප්‍රතික්‍රියාවෙදී හෙවත් න්‍යෂ්ටික විඛණ්ඩනයේදී (nuclear fission) විකිරණශීලී රේඩියෝනියුක්ලයිඩ ගනනාවකට බිඳ වැටේ. එයින් කිහිපයක් වන ඉතා විකිරණශීලී සේසියම්-137 (Caesium-137/137Cs), සේසියම්-134 (Caesium-134/134Cs), ප්ලූටෝනියම්-239 (Plutonium-239), ප්ලූටෝනියම්-238 (Plutonium-238), අයඩීන්-131 (Iodine-131/131I), ක්සෙනෝන්-133 (Xenon-133) මේ අතර වේ. සේසියම්-137 විකිරණශීලී අර්ද ආයුකාලය වසර 30ක් වන අතර ප්ලූටෝනියම් වල වසර 20,000 කි. ඊටත් වඩා අයඩීන් 129 (I-129) අර්ධ ආයු කාලය වසර මිලියන 15.7 කි.

අයඩීන්-131, ක්සෙනෝන්-133 වල අර්ධ ආයු කාලය දින කිහිපයකි, ජපානය අවට ජීවීන් හට එහි බලපෑම ඇතිවන නමුත් දුරස්ථ ප්‍රදේශ වලට එහි බලපෑම අවම වේ.

විකිරණශීලී සීසියම්-137* (Caesium-137/Cs-137) විකිරණශීලීතාවය උදාසීන වන ආකාරය (Radioactive decay).

සීසියම්-137 න්‍යෂ්ටිය විකිරණ නිකුත් කිරීම මගින් ශක්තිය නිදහස් කරමින් (ක්ෂය වීම Radioactive decay) එනම් අස්ථායී තත්වයේ සිට ස්ථායී බවට පත්වෙයි. සීසියම්-137 (Cs-137) එම ක්‍රියාවලියේදී බීටා (β) විකිරණ සහ ගැමා (γ) විකිරණ යන දෙකම විමෝචනය කරයි, ප්‍රධාන වශයෙන් බීටා අංශුවක් විමෝචනය කර අතරමැදි (metastable) මදක් ස්ථායී බේරියම්-137 (Ba-137m) බවට පත් වන අතර පසුව බේරියම්-137meta (Ba-137m) ස්ථායී බේරියම්-137 (Ba-137) බවට ක්ෂය වනවිට විට ගැමා කිරණ නිකුත් කරයි. බීටා අංශු වේගයෙන් චලනය වන බරක් ඇති අංශු වන අතර ගැමා කිරණ අධි ශක්ති ෆෝටෝන වේ. අවසානයේ විකිරණශීලී සීසියම්-137, සිය ශක්තිය වැය වූ පසු විකිරණශීලී නොවන බේරියම්-137 (Ba-137) බවට පත් වේ.

විකිරණ යනු කුමක්ද?

විකිරණ යනු තරංග හෝ අංශු ලෙස ප්‍රභවයකින් අවකාශයේ (පදාර්ථයක් නොමැතිව රික්තකයේ) හෝ පදාර්ථය හරහා ගමන් කල හැකි ශක්තියයි. එය විකිරණශීලී ක්ෂය (radioactive decay) වීමට ලක්වන අස්ථායී පරමාණු වලින් පැමිණිය හැකිය, නැතහොත් එය යන්ත්‍ර මගින් නිපදවිය හැකිය. විකිරණ එහි ප්‍රභවයෙන්, ශක්ති තරංග හෝ ශක්තිජනක අංශු ආකාරයෙන් ගමන් කරයි. විවිධ ආකාර විකිරණ ඇති අතර ඒවාට විවිධ ගුණාංග ඇති අතරම විවිධ බලපෑම් ඇති කල හැකිය. විකිරණ පදාර්ථය හරහා ගමන් කරන විට ශක්තිය උදාසීන වී යයි. උදාහරනයක් ලෙස ශක්තියෙන් වැඩි ගැමා කිරණ වලට හා නියුට්‍රෝන වලට ජලයේ වැඩිදුරක් ගමන් කල නොහැක. අනෙකුත් කිරණ ජලය හරහා ගමන් නොකරයි. එම නිසා දිය යට ගමන්කරන යාත්‍රා වලට දුරකථන ඇමතුම් කල නොහැක. උදාහරනයක් ලෙස සබ්මැරීන පාවෙන ඇන්ටනාවක් ජලය මතුපිටට වයරයක් ආධාරයෙන් නිකුත් කිරීම මගින්, අවශ්‍යය සන්නිවේදන කටයුතු සිදුකරනු ලැබේ.

විකිරණ වර්ග දෙකක් තිබේ: අයනීකාරක නොවන විකිරණ සහ අයනීකාරක විකිරණ.

  1. අයනීකාරක නොවන විකිරණ - අඩු ශක්තියක් ඇති අයනීකරණය නොවන විකිරණ වන රේඩියෝ තරංග (Radio Waves) හෝ ක්ෂුද්‍ර තරංගයි (Microwaves). එමගින් ශක්තිය වැඩි විට හානියක් (මයික්රෝ තරංග) සිදු කල හැකි වුවද, දැනට භාවිතයේ පවතින, ජංගම දුරකථන, වයි-ෆයි (Wi-Fi), 4G, 5G වැනි තරංග උත්පාදක සහ දෘශ්‍ය ආලෝකය (Visible Light) හානිදායක නොවේ.

    නමුත්, සූර්යයා ලෝකයේ ඇති පාරජම්බුල කිරණ (Ultraviolet/UV Radiation), වලට සම දිගු කාලයක් තුල නිරාවරණය වීම නිසා සමේ සෛලවල DNA වලට හානි කිරීමෙන් සමේ පිළිකා ඇති කරන නමුත් ඉතා දුර්ලභය. අධිශක්ති ප්‍රමාණයකින් යුත් පාරජම්බුල විකිරණ පිළිකා සෛල සෑදීමට හේතු වන විකෘති වලට හේතු විය හැක. UVA සහ UVB කිරණ මෙම හානියට දායක වන අතර එය කාලයත් සමඟ සමුච්චිත වේ. මෙම හානිකර විකිරණවල ප්‍රධාන ප්‍රභවයන් වන්නේ හිරු සහ කෘතිම හිරුඑලිය තපින (UV tanning) උපකරණයි.

    UV විකිරණ මගින් ඇස් වලට ක්ෂණික හා දිගු කාලීන හානි සිදුවිය හැකි අතර, “හිරු එළියෙන් පිළිස්සුණු ඇස්“ (ෆොටෝකෙරටයිටිස් / photokeratitis), ඇසේ සුද (cataracts / කාචයේ වලාකුළු ඇතිවීම) දෘෂ්ටි විතානයට (retina) හානි වීම ඇතුළත් වේ. අනෙකුත් අවදානම් අතරට පිංගුකුල ( pinguecula) සහ පෙටරිජියම් (pterygium) වැනි වර්ධනයන් මෙන්ම ඇසිපියෙහි පිළිකා ද ඇතිවිය හැකිය. සෘජු නිරාවරණයෙන් සහ පරාවර්තනය වූ පාරජම්බුල කිරණ (UV) වලින් ඇස් වලට සිදුවන හානිය වැළැක්වීම සඳහා, වළාකුළු පිරි දිනවල පවා 100% පාරජම්බුල කිරණ (UV) අවහිර කරන අව් කණ්ණාඩි සහ පුළුල් තොප්පි පැළඳීම, කුඩ භාවිතය ආරක්ෂාවට වදගත් වේ.

    අධෝරක්ත කිරණ (Infrared Radiation IR) - අධෝරක්ත කිරණ තාප ශක්තිය ගෙනයන තරංග නිසා, අධික ශක්තියක් ඇති එම තරංග වලට භාජනය වූ විට, සමේ පිළිස්සුම් ඇති වන නමුත් පිලිකා අවදානමක් නොමැත. කෙසේ වෙතත්, අධි තීව්‍රතාවයකින් යුත් අධෝරක්ත විකිරණවලට දිගු කාලයක් නිරාවරණය වීමෙන් සමේ වෙනස්කම් ඇති විය හැක, උදාහරණයක් ලෙස එරිතිමා ඇබ් ඉග්නේ (Erythema ab igne = hot water bottle rash or toasted skin syndrome), වැනි සමේ වෙනස්කම්, සම්හර අවස්තාවල සමේ පිළිකා සඳහා පූර්වගාමියා විය හැකිය. එයට හේතුව, අධෝරක්ත විකිරණ නොව, නැවත නැවත සමේ සෛල විනාශ වීම සහ පුනර්ජනනය වීමයි. අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ අධෝරක්ත සෞනා (saunas) සාමාන්‍යයෙන් ආරක්ෂිත බවත් හෘද සහ රුධිර වාහිනී පද්ධතිය සඳහා ප්‍රතිලාභ ඇති කළ හැකි බවත්ය. අධි තීව්‍රතාවයකින් යුත් සැකසුම් හෝ අධික නිරාවරණ වේලාවන් අවදානමක් ඇති කළ හැකිය. ඉතාමත් අඩු ශක්තියකින් යුත් අධෝරක්ත කිරණ නිපදවන දුරස්ථ පාලක, සීසීටීවී රාත්‍රී නිරීක්ෂණය සඳහා යොදාගන්නා උපකරණ ආදිය සෞඛ්‍යයට අහිතකර නොවේ. නමුත්, ඇස් වලට දිගුකාලයක් තුල මෙම තරංග එල්ලවන විට, පෙනීමේ දුර්වලතා ඇතිවිය හැකිය. අධෝරක්ත කිරණ ඇසේ පටක වලට හානි සිදු කිරීමෙන් ඇසේ සුද, දෘෂ්ටි විතානයේ පිළිස්සුම්, කොන්ජන්ටිවිටිස් සහ වියළි අක්ෂි සින්ඩ්‍රෝමය ඇති කරයි. හානියේ බරපතලකම අධෝරක්ත කිරණ තරංග ආයාමය සහ තීව්‍රතාවය මත රඳා පවතී.

  2. අයනීකාරක විකිරණ. - විකිරණ ඉහළ ශක්තියක් ඇති තරංග හෝ අංශු පරමාණුවකට එල්ලවූ විට එයින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර අයන නිර්මාණය කළ හැකි තරංග හෝ අංශු අයනීකරණ විකිරණ ලෙස හැඳින් වේ. විකිරණශීලී ලෙස සලකනු ලබන්නේ මෙම කාණ්ඩයේ ඇති තරංග සහ අංශුය.

විකිරණ සඳහා උදාහරණ ලෙස එක්ස්-කිරණ (X-ray), ඇල්ෆා විකිරණ (α අංශු), බීටා විකිරණ ( β අංශු -> electrons β− or positrons β+) සහ ගැමා විකිරණ (γ), නියුට්‍රෝන විකිරණ දැක්විය හැකිය.

ඇල්ෆා අංශු (α)

ඇල්ෆා අංශු (α) ධන ආරෝපිත වන අතර විකිරණශීලී පරමාණුවේ න්‍යෂ්ටියේ සිට නිකුත්වන්නේ ප්‍රෝටෝන (Proton +) දෙකකින් සහ නියුට්‍රෝන (Nutrons) දෙකකින් සමන්විත වීමෙනි. ඇල්ෆා අංශු නිකුත්වන්නේ යුරේනියම්, රේඩියම් සහ පොලෝනියම් වැනි බර වැඩි විකිරණශීලී මූලද්‍රව්‍යවල ක්ෂය වීමෙන් ය. ඇල්ෆා අංශු ඉතා ශක්තිජනක වුවද, බීටා අංශු (β) වලට වඩා, ඇල්ෆා අංශු (α) ඉතා බර බැවින් කෙටි දුරක් හරහා ගමන් කිරීමට තම ශක්තිය භාවිතා කරන අතර පරමාණුවෙන් බොහෝ දුර ගමන් කිරීමට නොහැක.

ඇල්ෆා අංශු වලට නිරාවරණය වීමෙන් ඇතිවන සෞඛ්‍යමය බලපෑම පුද්ගලයෙකු නිරාවරණය වන ආකාරය මත රඳා පවතී. බාහිරව පවතින ඇල්ෆා අංශු වලට සමේ පිටත ස්ථරය (අපිචර්මය) හරහා විනිවිද යාමට ශක්තියක් නොමැති බැවින් ශරීරයේ සම ඇල්ෆා අංශු වලට නිරාවරණය වීම ගැටළුවක් නොවේ. කෙසේ වෙතත්, ශරීරය තුළ ඒවා ඉතා හානිකර වන අතර ඇල්ෆා-විමෝචක ආශ්වාස කිරීම, ගිලීම හෝ කැපුමක් හරහා ශරීරයට ඇතුළු වීම, මගින් ඇල්ෆා අංශු සංවේදී ජීව පටක වලට හානි කළ හැකිය. මෙම විශාල, බර අංශු හානි කරන ආකාරය අනෙකුත් විකිරණ වර්ග වලට වඩා, වඩාත් භයානකය. මෙම ඇල්ෆා අංශු මගින් ඇති කරන අයනීකරණය එකිනෙකට ඉතා සමීප සෛල වන අතර එම සෛල කිහිපයට ඔවුන්ගේ සියලු ශක්තිය මුදා හැරිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෛල හා DNA වලට වඩාත් දරුණු හානියක් සිදු වේ.

බීටා අංශු (β)

බීටා අංශු (β) යනු විකිරණශීලී ක්ෂය වීමේදී විකිරණශීලී පරමාණුවක න්‍යෂ්ටියකින් විමෝචනය වන සෘණ (β-) ආරෝපණයක් හෝ ධන (β+) ආරෝපනයක් සහිත වේගයෙන් චලනය වන අල්ෆා අංශු වලට වඩා කුඩා අංශු වේ. විකිරණශීලී පරමාණුවක න්‍යෂ්ටියකින් ඉලෙක්ට්‍රෝන විමෝචනය වන විට බීටා අංශු සෘණ (e-) ආරෝපණයක් දරන අතර ධන (e+) ආරෝපනයක් සහිත පොසිට්‍රෝන නිකුත් වන විට බීටා අංශු ධන(β+) ආරෝපනයක් දරයි. පොසිට්‍රෝන බරින් සහ භ්‍රමණයවන වේගය ඉලෙක්ට්‍රෝනයට (e) සමාන නමුත් ආරෝපනයෙන් වෙනස් වේ. එනම් එය ධන (+) ආරෝපනයක් දරයි. එම නිසා පොසිට්‍රෝන ප්‍රති-ඉලෙක්ට්‍රෝන (Anti-electron) ලෙස මෙන්ම ප්‍රති-පදාර්ථයේ (anti-matter) ඉලෙක්ට්‍රෝනයේ අනුගාමිකයා ලෙසද නම් කරති. උදාහරණයක් ලෙස පෙට්ස්කෑන් (PET-Scan) යන්ත්‍රය භාවිතා කරන්නේ මෙම ධන ආරෝපිත බීටා (β+) අංශුය, එනම් පොසිට්‍රෝන ය.

මෙම අංශු හයිඩ්‍රජන්-3 (ට්‍රිටියම්), කාබන්-14 සහ ස්ට්‍රොන්ටියම්-90 වැනි ඇතැම් අස්ථායී පරමාණු මගින් විමෝචනය වේ. බීටා අංශු, ඇල්ෆා අංශු වලට වඩා විනිවිද යන නමුත් ජීව පටක සහ DNA වලට අඩු හානියක් සිදු වේ. හේතුව, ඒවා නිපදවන අයනීකරණ වල පරතරය වැඩි බැවිනි. ඇල්ෆා අංශු වලට වඩා බීටා අංශු වාතයේ බොහෝ දුර ගමන් කරන නමුත් ඇඳුම් වල ස්තරයකින් (රෙදි) හෝ ඇලුමිනියම් වැනි ලෝහ ද්‍රව්‍යයක තුනී ස්ථරයකින් නැවැත්විය හැකිය. සමහර බීටා අංශු සම විනිවිද යනවිට සම පිළිස්සුම් වැනි හානි ඇති කිරීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, ඇල්ෆා-විමෝචක මෙන්, බීටා-විමෝචකද ආශ්වාස කිරීම හෝ ආහාර සමග ගිලීම වඩාත් භයානක වේ.

ගැමා කිරණ (γ)

ගැමා කිරණ (γ) යනු ෆෝටෝන ( Photons ප්‍රෝටෝන නොවේ) ලෙස හඳුන්වන බර රහිත ශක්ති විශේෂයකි (ආලෝකය මෙන්). ශක්තිය සහ ස්කන්ධය යන දෙකම ඇති ඇල්ෆා සහ බීටා අංශු මෙන් නොව, ගැමා කිරණ පිරිසිදු ශක්තියකි. ගැමා කිරණ දෘශ්‍ය ආලෝකය මෙන් ෆෝටෝන Photons වලින් සෑදී ඇති නමුත්, බොහෝ ඉහළ ශක්තියක් ඇත. විකිරණශීලී ක්ෂය (radioactive decay) වීමේදී ගැමා කිරණ බොහෝ විට ඇල්ෆා (α) හෝ බීටා (β) අංශු සමඟ විමෝචනය වේ. ගැමා කිරණ ශරීරයට ඉතාමත් අහිතකර විකිරණ වේ. සම සහ ඇඳුම් වැනි බාධක මගින් ඇල්ෆා සහ බීටා අංශු නැවැත්විය හැකි වුවද ගැමා කිරණ පහසුවෙන් විනිවිද යා හැකිය. ගැමා කිරණවලට කොතරම් විනිවිද යාමේ බලයක් තිබේද යත්, එම විකිරණ නැවැත්වීමට ඊයම් වැනි ඝන ලෝහ ද්‍රව්‍යයක අඟල් කිහිපයක ස්ථරයක් හෝ අඩි කිහිපයක කොන්ක්‍රීට් ස්ථරයක් අවශ්‍යය වේ. ගැමා කිරණ මිනිස් සිරුර හරහා සම්පූර්ණයෙන්ම ගමන් කළ හැකිය. ශරීරය හරහා ගමන් කරන විට, පටක සහ DNA වලට හානි කරන අයනීකරණය ඇති කළ හැකිය. DNA වලට හානි කරන අයනීකරණය ඇති වූ විට ජාන විකෘති වීම සිදු වේ.

එක්ස් කිරණ (X-Rays)

වෛද්‍ය විද්‍යාවේ එක්ස් කිරණ භාවිතය නිසා, සෑම කෙනෙක්ම එක්ස් කිරණ ගැන අසා ඇත. එක්ස් කිරණ ගැමා කිරණවලට සමාන වන නමුත් ඒවා පිරිසිදු ශක්තියේ ෆෝටෝන වන බැවිනි. එක්ස් කිරණ සහ ගැමා කිරණ එකම මූලික ගුණ ඇති නමුත් විකිරණශීලී පරමාණුවේ විවිධ කොටස් වලින් විමෝචනය වේ. න්‍යෂ්ටියෙන් පිටත ක්‍රියාවලීන්ගෙන් එක්ස් කිරණ විමෝචනය වන නමුත් ගැමා කිරණ න්‍යෂ්ටිය තුළ සිට විමෝචනය වේ. එක්ස් කිරණ,, ගැමා කිරණවලට වඩා අඩු ශක්තියෙන් යුත් අතර අඩු විනිවිද යාමේ හැකියාවක් ඇත. එක්ස් කිරණ ස්වභාවිකව හෝ විදුලිය භාවිතා කර යන්ත්‍ර මගින් නිපදවිය හැකිය.

ලොව රෝහල් තුල දිනපතා එක්ස් කිරණ යන්ත්‍ර දහස් ගණනක් භාවිතා වේ. එමෙන්ම එක්ස් කිරණ අන්තර්ගත, පරිගණකගත ටොමොග්‍රැෆි, සාමාන්‍යයෙන් CTහෝ CAT ස්කෑන් ලෙස හැඳින්වේ, ශරීරයේ අස්ථි සහ මෘදු පටක වල සවිස්තරාත්මක රූප සෑදීම සඳහා විශේෂ එක්ස් කිරණ උපකරණ භාවිතා කරනු ලැබේ.

නියුට්‍රෝන විකිරණ

නියුට්‍රෝන විකිරණ, නිදහස්, වේගයෙන් චලනය වන නියුට්‍රෝන වලින් සමන්විත වන අතර ඒවා විද්‍යුත් ආරෝපණයක් නොමැති න්‍යෂ්ටික අංශු වේ. මෙම වර්ගයේ විකිරණ න්‍යෂ්ටික විඛණ්ඩනය (Fission) හෝ න්‍යෂ්ටික විලයනය (fusion) වැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් නිපදවන අතර එය පදාර්ථය හරහා ඉතා විනිවිද යාමේ හකියාවක් ඇති හෙයින්, ඝනකම් කොන්ක්‍රීට් හෝ ජලය වැනි, හයිඩ්‍රජන් බහුල ද්‍රව්‍ය මගින් ඵලදායී ලෙස විනිවිද යාම වලක්වා ගත හැක. අනෙකුත් විකිරණ ආකාර මෙන් නොව, නියුට්‍රෝන වලට නියුට්‍රෝන සක්‍රිය කිරීම නම් ක්‍රියාවලිය හරහා නියුට්‍රෝන විකිරණ එල්ලවීම මගින් ද්‍රව්‍ය විකිරණශීලී කළ හැකි අතර, ඒවා මිනිස් සිරුර තුළ පරමාණු අයනීකරණය කිරීමෙන් සමහර සෛල විනාශ වීම සහ සමහර සෛල වල DNA වලට හානි කිරීම මගින් සෞඛ්‍යයට බරපතල හානි ඇතිකරයි.

විකිරණ නියමයන් සහ ඒකක

විකිරණශීලීතාව (Radioactivity)

විකිරණශීලීතාව (Radioactivity) යනු යම් ස්ථානයක හෝ යම් පදාර්ථයක් තුළ පවතින විකිරණශීලී ද්‍රව්‍ය (විකිරණශීලී පරමාණු) ප්‍රමාණයයි. විකිරණශීලීතාවයේ ප්‍රමාණය මනිනු ලබන්නේ සෑම තත්පරයකටම විකිරණශීලී පරමාණු කොපමන ක්ෂය (Radioactive atoms decay) වේද යන්න සොයා ගැනීමෙනි. මෙම පරමාණු වලින් ඇල්ෆා අංශු, බීටා අංශු සහ/හෝ ගැමා කිරණ විමෝචනය විය හැකිය. විකිරණශීලීතාවයේ ප්‍රමාණය ජාත්‍යන්තර ඒකකය වන බෙකරල් (Becquerel - Bq) වලින් මනිනු ලබන අතර බෙකරල් එකක් (1 Bq) යනු තත්පරයට එක් රේඩියෝනියුක්ලයිඩයක් හෝ විකිරණශීලී සමස්ථානිකයක් විකිරණශීලීතාවය ක්ශය වීමයි. එය ඉතාමත් අඩු විකිරණශීලීතාවයකි. නමුත්, යම් ද්‍රව්‍යයක ඉතාමත්ම සුලු ප්‍රමානයක් වන 1 මවුලයක (1 mole) පරමාණු ඇවගාඩ්රෝ සංඛ්‍යාවක් ( 6.022 x 1023) ඇති බව අමතක නොකලයුතුය. විකිරණශීලීතාවය මැනීම සඳහා ගයිගර් කවුන්ටර (Geiger counters) බහුලව භාවිතා වේ, නමුත් වෙනත් ආකාරයේ අනාවරක (ඩිටෙක්ටර්) ද භාවිතා කළ හැක. විශාල පිරිසක් විකිරණ වලට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පොර්ටල් මොනිටර් (Portal monitors) නම් අනාවරක යන්ත්‍රය භාවිතා කල හැකිය.

විකිරණ මාත්‍රා අනුපාතය (Radiation dose rate)

විකිරණ මාත්‍රා අනුපාතය (Radiation dose rate) යනු යම් කාල පරිච්ඡේදයක් තුළ ප්‍රභවයකින් (හෝ ප්‍රදේශයකින්) එන විකිරණ ප්‍රමාණයයි. පරිසර විකිරණ මට්ටම ලෙස මනිනු ලබන්නේ මෙයයි. පරිසරයේ හෝ යම් ද්‍රව්‍යයක විකිරණ මට්ටම් පැයකට ග්රේ (Gray -> Gy/h) හෝ පැයකට සීවර්ට් (Sievert -> Sv/h) ලෙස මනින අතර ඒවා ජාත්‍යන්තර ඒකක වේ. නමුත් ඇමෙරිකාව, රුසියාව සහ ජර්මනිය මනිනු ලබන්නේ පැයට රොන්ට්ජන් (roentgen -> R/h) වලිනි.

 

ඒකක:
පැයකට මිලිරොන්ට්ජන් (milliroentgen per hour) -> mR/h
පැයකට මයික්‍රොසීවර්ට් (Microsievert per Hour) -> μSv/h

  • ආරක්ෂිත (අවසර ලත් මාත්‍රාව) 15-19 mR/h = 150-190 μSv/h
  • සාපේක්ෂව ආරක්ෂිත (භයානක මාත්‍රාව) 20-60 mR/h = 200-600 μSv/h
  • වැඩි අවධානයක් යොමු කරන කලාපය; 61-120 mR/h = 610-1200 μSv/h
  • භයානක මාත්‍රා අනුපාතය ≥121 mR/h ට වඩා වැඩි = 1210 μSv/h ට වඩා වැඩි =<

විකිරණශීලී විකිරණ මාත්‍රාව (Radiation dose)

විකිරණශීලී විකිරණ මාත්‍රාව (Radiation dose) යනු පදාර්ථයක් මගින් එනම් ශරීරයක් හෝ වෙනත් පදාර්ථයක් මගින් අවශෝෂණය කරන විකිරණ ප්‍රමාණයයි. යම් පදාර්ථයකට අවශෝෂනය වී ඇති විකිරණ මාත්‍රාව ජාත්‍යන්තර ඒකක වන, ග්‍රේ (Gray/Gy) හෝ සීවර්ට් (Sievert/Sv) වලින් මනිනු ලැබේ. තථ්‍ය කාලීනව මාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා අනතුරු ඇඟවීමේ විකිරණ මාත්‍රාමාන (Dosimeters) භාවිතා කරන අතර රෝහල් සහ රසායනාගාර සඳහා විශේෂිත උපකරණ ඇත.

පෘථිවියේ ජීවත් වීමෙන් පමණක් අපට වාර්ෂිකව ලැබෙන සාමාන්‍ය විකිරණ මාත්‍රාව ආසන්න වශයෙන් මිලිසීවර්ට් 3 mSv (milliSieverts - mSv) වේ. වෛද්‍ය පරීක්ෂණ (X-ray, CT) ක්‍රියා පටිපාටි හේතුවෙන් තවත් මිලිසීවර්ට් 3 (mSv) එකතු වන අතර, එමඟින් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වාර්ෂිකව මුහුනදෙන විකිරණ මාත්‍රාව 6-10 mSv පමණ වේ. එය ශරීර සෞඛ්‍යයට කිසිදු හානියක් ඇති නොකරයි.

  • 1 Gray (Gy) = 1 Joule/kilogram (J/kg)
  • 1 Gray (Gy) = 100 Rad
  • 1 Gray (Gy) = 1 milliSieverts (mSv)
  • 1 rem = 10 mSv
  • විකිරණශීලී-විකිරණ මාත්‍රාව >=10000 mSv (මෙවැනි මාත්‍රාවක් ලැබීමට චෝර්නොබල් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් (Chernobyl nuclear reactor ආසන්නයේ සිටිය යුතුය.) ලැබූ අය 100% කටම මරණයට හේතු වේ.
  • විකිරණශීලී - විකිරණ මාත්‍රාව 4000 mSv 50% මාරාන්තිකතාවයක් (fatality) පෙන්වයි.
  • 1000 mSv උග්‍ර විකිරණ සින්ඩ්‍රෝමය (Acute Radiation Syndrome - ARS) සහ මාරාන්තික පිළිකාවක් වැළඳීමේ අවදානම 30% කින් පමණ වැඩි වේ.
  • රුධිර සෛල වලට හානි කරන විකිරණශීලී-විකිරණ මාත්‍රාව වන්නේ 500 mSv වේ.
  • ශරීරගතවන විකිරණශීලී-විකිරණ මාත්‍රාව 20 mSv උපරිම දරාගතහැකි මාත්‍රාවයි. එනම් ශරීරයට අහිතකර බලපෑමක් නොමැතිව කාලයත් (වසරක්) සමග ශරීරයෙන් පිට වේ.
  • සාමාන්‍යය සීටී CT-Scan (Computerized Tomography) යන්ත්‍රයකින් ලැබෙන විකිරණශීලී - විකිරණ මාත්‍රාව 10 mSv පමන වේ.
  • පපුවේ එක්ස්-රේ(X-Ray) එකක් ලබාගැනීමේදී ලැබෙන විකිරණශීලී-විකිරණ මාත්‍රාව 0.1 mSv වේ.

රේඩියෝනියුක්ලයිඩ් (Radionuclide)

රේඩියෝනියුක්ලයිඩ් (Radionuclide) යනු න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වල අතුරු ඵල වන අතිරික්ත නියුට්‍රෝන හෝ ප්‍රෝටෝන සහිත අස්ථායී පරමාණු වර්ගයකි (e.g. Caesium-137, Caesium-134 etc.). සමහර මෙම පරමාණු පරිසරයේ ස්වභාවික (උදාහරණයක් ලෙස පොටෑසියම්-40 (Potassium-40 [⁴⁰K]) ක්‍රියා මගින් ඇති වේ.

න්‍යෂ්ටික ක්ෂය වීමේ අර්ධ ආයු කාලය

න්‍යෂ්ටික ක්ෂය වීමේ අර්ධ ආයු කාලය යනු විකිරණශීලී සාම්පලයක පරමාණුවලින් අඩක් වන 50% වෙනස් ස්වරූපයකට ( විකිරණශීලීතාවය උදාසීන වීමට) ක්ෂය වීමට ගතවන කාලයයි. එමෙන්ම, එය සාම්පලයක ක්‍රියාකාරිත්වය (විකිරණශීලී ක්ෂය වීමේ වේගය) අඩකින් අඩු වීමට ගතවන කාලය ලෙසද අර්ථ දැක්විය හැකිය. උදාහරණයක් ලෙස: සේසියම්-137 න්‍යෂ්ටික ක්ෂය වීම මගින් බේරියම්-137 බවට පත් වේ.

පලුමුවන අර්ධ ආයු කාලය අවසන් වූ පසු, මුල් විකිරණශීලී න්‍යෂ්ටිවලින් අඩක්, එනම් 50% ඉතිරි වේ. දෙවන අර්ධ ආයු කාලයකින් පසු, ඉතිරිව ඇති ප්‍රමාණයෙන් තවත් අඩක් 50% (මුල් ප්‍රමාණයෙන් 25% ) විකිරණශීලීත්වය ක්ෂය වී ඇති අතර, මූලික ප්‍රමාණයෙන් හතරෙන් එකක් 25% ඉතිරි වේ. මෙම ක්‍රියාවලිය දිගටම පවතින අතර, ගත වන සෑම අමතර අර්ධ ආයු කාලයක් සඳහාම ඉතිරි ප්‍රමාණය අඩකින් 50% අඩු වේ.

උදාහරණයක් ලෙස: සේසියම්-137 න්‍යෂ්ටික ක්ෂය වීමේ අර්ධ ආයු කාලය වසර 30 කි. එනම්, සේසියම්-137 ග්‍රෑම් 20gක් සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික ක්ෂය වීමෙන්, විකිරණශීලීතාවය උදාසීන වීමට ගතවන කාලය වසර 300 කි. පලමු වසර 30 තුල 50% ක් ක්ෂය වේ. එනම්, ග්‍රෑම් 10gක් සේසියම්-137 ඉතිරිවේ. තවත් වසර 30කදී ඉතිරි වූ ග්රෑම් 10න්, 50% ක් එනම් ග්‍රෑම් 5gක් ක්ෂය වී තව සේසියම්-137 ග්‍රෑම් 5gක් ඉතිරි වේ. ඒ ආකාරයෙන් මුලුමනින්ම විකිරණශීලීත්වය ක්ෂය වී උදාසීන වීමට ගතවන කාලය වසර 300කි.

විකිරණ මෙතරම් අහිතකර නම් වෛයිද්‍යය විද්‍යාවේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා විකිරණ යොදාගන්නේ ඇයි? මෙහිදී භාවිතා කරන කිරණ වල ශක්තිය අඩු මෙන්ම, ඉතාම අඩු මාත්‍රාවක් ශරීරයට අවශෝෂනය වන අතර කාලයත් සමග ශරීරයෙන් ඉක්මනින් පිටවන නිසා අහිතකර නොවේ. නමුත් මෙම උපකරණ (X-ray, CT, PET, Gamma Knife, LINACs, 3D-CRT, IMRT, SBRT) ක්‍රියාකරුවන් ආරක්‍ෂක පියවරයන් අනුගමනය කලයුතු වන්නේ කුඩා මාත්‍රාවක් බැගින් වුවද දිගු කලක් තුල මාත්‍රා එකතුවීම තුලින් සෞඛ්‍යයට තර්ජන එල්ල විය හැකි නිසාය..

විකිරණශීලීතාවයේ අවදානම තීරණය වන්නේ නිරාවරණයේ මට්ටම සහ කාලසීමාව අනුව වන අතර, කෙටි කාලයක් තුළ ඉහළ මාත්‍රාවකට මුහුනදීමට සිදු වූ විට උග්‍ර විකිරණ සින්ඩ්‍රෝමය (Acute Radiation Syndrome) ඇති කරයි. රෝග ලක්ෂණ අතර ඔක්කාරය, වමනය, පාචනය, උණ, හිසරදය, තෙහෙට්ටුව, පිළිස්සුම්, ලේ ගැලීම සහ සෛල විශාල ප්‍රමාණයක් විනාශ වීම නිසා මරණයට පත් වේ.

එමෙන්ම අඩු විකිරණ මාත්‍රාවක් දිගුකාලීන බලපෑම නිසා පිළිකා (Cancer) අවදානම, අන්තරාසර්ග පද්ධතිය (Endocrine system) ආශ්‍රිත රෝග සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ( Autoimmune disease ) වැඩි කරයි.

රෝග විනිශ්චය
එක්ස්-කිරණ (X-ray), ඇල්ෆා විකිරණ (α අංශු), බීටා විකිරණ ( β අංශු) සහ ගැමා විකිරණ (γ), නියුට්‍රෝන විකිරණ.

පුද්ගලයෙකු ඉහළ විකිරණ මාත්‍රාවකට මුහුනදුන් විට, වෛද්‍ය නිලධාරීන් විසින් අවශෝෂණය කරන ලද විකිරණ මාත්‍රාව තීරණය කිරීම සඳහා පියවර ගණනාවක් ගනී. රෝගය කෙතරම් බරපතලද, කුමන ප්‍රතිකාර භාවිතා කළ යුතුද සහ පුද්ගලයෙකු දිවි ගලවා ගැනීමට ඉඩ තිබේද යන්න තීරණය කිරීම සඳහා මෙම තොරතුරු අත්‍යවශ්‍ය වේ.

අවශෝෂණය කරන ලද විකිරණ මාත්‍රාව තීරණය කිරීම සඳහා වැදගත් තොරතුරුවලට ඇතුළත් වන්නේ:
  • දන්නා වූ විකිරණ ප්‍රභවයකට මුහුනදුන් විට - විකිරණ ප්‍රභවයේ සිට ඇති දුර සහ මුහුනදුන් කාලසීමාව පිළිබඳ විස්තර විකිරණ අසනීපයේ බරපතලකම පිළිබඳ දළ ඇස්තමේන්තුවක් ලබා ගැනීමට උපකාරී වේ.
  • වමනය සහ අනෙකුත් රෝග ලක්ෂණ - ප්‍රභවයකට මුහුනදීම සහ වමනය ආරම්භ වන අවස්ථාව අතර කාලය අවශෝෂණය කරන ලද විකිරණ මාත්‍රාව ඇස්තමේන්තු කිරීම සඳහා තරමක් නිවැරදි පරීක්ෂණ උපක්‍රමයකි. වමනය ආරම්භ වීමට පෙර කාලය කෙටි වන තරමට අවශෝෂණය කරන ලද විකිරණ මාත්‍රාව වැඩි වේ. අනෙකුත් රෝග ලක්ෂණ වල බරපතලකම සහ කාලය වෛද්‍ය නිලධාරීන්ට අවශෝෂණය කරන ලද මාත්‍රාව තීරණය කිරීමට උපකාරී වේ.
  • රුධිර පරීක්ෂණ - දින කිහිපයක් පුරා නිතර රුධිර පරීක්ෂණ මගින් වෛද්‍ය නිලධාරීන්ට රෝග මර්දන සුදු රුධිරාණුවල පහත වැටීම් (Leukopenia) සහ රුධිර සෛලවල DNA වල අසාමාන්‍ය වෙනස්කම් සොයා බැලීමට හැකියාව ලැබේ. මෙම සාධක මගින් අස්ථි ඇටමිදුළු වලට හානි වී ඇති ප්‍රමානය පෙන්නුම් කරන අතර එය අවශෝෂණය කරන ලද විකිරණ මාත්‍රාවේ මට්ටම ඒ අනුව තීරණය වේ.
  • උපකරණ ආධාරයෙන් විකිරණ මාත්‍රාව මැනීම - ශරීරයේ විකිරණශීලී අංශු පිහිටා ඇති ස්ථානය පරීක්ෂා කිරීමට ගයිගර් කවුන්ටරයක් (Geiger counters) ​​වැනි උපකරණයක් භාවිතා කළ හැකිය.

ප්‍රතිකාරය
එක්ස්-කිරණ (X-ray), ඇල්ෆා විකිරණ (α අංශු), බීටා විකිරණ ( β අංශු ) සහ ගැමා විකිරණ (γ), නියුට්‍රෝන විකිරණ.

විකිරණ අසනීප (radiation sickness) තත්වය සඳහා ප්‍රථම ප්‍රතිකාර ඉලක්ක වන්නේ තවදුරටත් විකිරණශීලී දූෂණය වැළැක්වීම; පිළිස්සුම් සහ විනාශ වූ පටක වැනි ජීවිතයට තර්ජනයක් වන තුවාල වලට ප්‍රතිකාර කිරීම; රෝග ලක්ෂණ අඩු කිරීම; සහ වේදනාව කළමනාකරණය කිරීමයි (අධික විකිරණශීලී මාත්‍රාවකට මුහුන පෑමට සිදු වුවහොත්.).

විකිරණශීලී දූෂණය ඉවත් කිරීම

එනම් බාහිර විකිරණශීලී අංශු ඉවත් කිරීමයි. ඇඳුම් සහ සපත්තු ඉවත් කිරීම බාහිර දූෂණයෙන් 90% ක් පමණ ඉවත් කරයි. ජලය සහ සබන් යොදා මෘදු ලෙස සේදීමෙන් සමෙන් අමතර විකිරණ අංශු ඉවත් කරයි. එම විකිරණ හරණය මගින් විකිරණශීලී ද්‍රව්‍ය වැඩිපුර පැතිරීම වළක්වයි. එය ආශ්වාස කිරීම, අහාරමාර්ගය ඔස්සේ ශරීරගත වීම හෝ විවෘත තුවාල වලින් අභ්‍යන්තර පටක දූෂණය වීමේ අවදානම ද අඩු කරයි.

හානියට පත් අස්ථි ඇටමිදුළු (Bone marrow) සඳහා ප්‍රතිකාර කිරීම

සුදු රුධිරාණු වර්ධනය ප්‍රවර්ධනය කරන ග්‍රැනුලෝසයිට් ජනපද-උත්තේජක සාධකය ( granulocyte colony-stimulating factor) නම් ප්‍රෝටීනය, අස්ථි ඇටමිදුළුවලට විකිරණ බලපෑමට එරෙහිව ක්‍රියා කළ හැකිය.
ෆිල්ග්‍රැස්ටිම් (Filgrastim [Neupogen නියුපොජන්]),
සර්ග්‍රමොස්ටිම් ( Sargramostim [Leukine ලියුකින්]) සහ
පෙග්ෆිල්ග්‍රැස්ටිම් (Pegfilgrastim [Neulasta නියුලාස්ටා])
ඇතුළත් මෙම ප්‍රෝටීන් මත පදනම් වූ ඖෂධ සමඟ ප්‍රතිකාර කිරීමෙන් සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩි කළ හැකි අතර පසුව ඇතිවන ආසාදන වළක්වා ගත හැකිය.

රෝගියාට අස්ථි ඇටමිදුළුවලට දැඩි හානියක් සිදුවී ඇත්නම්, ඔහුට රතු රුධිරාණු හෝ/හා රුධිර පට්ටිකා පාරවිලයනය ද වෛද්‍යවරු නිර්දේශ කරයි. .

අභ්‍යන්තර විකිරණ දූෂණය සඳහා ප්‍රතිකාර

සමහර සරල ප්‍රතිකාර මගින් විකිරණශීලී අංශු නිසා අභ්‍යන්තර අවයව වලට සිදුවන හානිය අඩු කළ හැකිය. වෛද්‍ය නිලධාරීන් මෙම ප්‍රතිකාර භාවිතා කරනුයේ රෝගියා නිශ්චිත විකිරණ වර්ගයකට නිරාවරණය වී ඇත්නම් පමණි.

මෙම ප්‍රතිකාරවලට පහත සඳහන් ප්‍රතිකාර ඇතුළත් වේ:
  1. පොටෑසියම් අයඩයිඩ් (KI) - විකිරණශීලී නොවන අයඩින් තයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ. විකිරණශීලී අයඩීන්-131 (Iodine-131/131I) අධික මාත්‍රාවක් ශරීරගත වුවහොත් සැලකිය යුතු විකිරණවලට මුහුණ පෑමට සිදු වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය අනෙකුත් විකිරණශීලී නොවන අයඩින් මෙන් විකිරණශීලී අයඩින් (රේඩියෝ අයඩින්) අවශෝෂණය කරයි. රේඩියෝ අයඩින් අවසානයේ ශරීරයෙන් මූත්‍රා මගින් ඉවත් වේ. එනම්, රෝග නීර්නය සඳහා යොදාගන්නා අයඩීන්-125, අයඩීන්-131 මෙන් ශරීරයෙන් මූත්‍රා මගින් ඉවත් වේ. පොටෑසියම් අයඩයිඩ් මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ "පුරප්පාඩු" පුරවා රේඩියෝ අයඩින් අවශෝෂණය වීම වළක්වයි. පොටෑසියම් අයඩයිඩ් ආධාරක ප්‍රතිකාරයක් පමණි. එය විකිරණ ලැබී දින 1-2ක් ඇතුළත ගතහොත් වඩාත් ඵලදායී වේ.
  2. වෛද්‍ය ප්‍රතිකාර සඳහා වූ ප්‍රෂියානු නිල් ( Prussian blue/Ferric Hexacyanoferrate [Radiogardase රේඩියෝගාර්ඩේස්]).
    මෙම ඩයි වර්ගය සීසියම් (Cesium) සහ තැලියම් (Thallium) ලෙස හඳුන්වන විකිරණශීලී මූලද්‍රව්‍ය අංශු සමග සම්භන්ද වේ. විකිරණශීලී අංශු පසුව මළපහ සමඟ ශරීරයෙන් පිටවේ. මෙම ප්‍රතිකාරය විකිරණශීලී අංශු ඉවත් කිරීම වේගවත් කරන අතර සෛල මගින් විකිරණ අවශෝෂණය අඩු කරයි. එමෙන්ම, විකිරණශීලී අවස්ථා වලදී හදිසි ප්‍රතිකාර කිරීමේදී එහි කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් රේඩියෝගාර්ඩේස් පුළුල් ලෙස නිර්දේශ කරනු ලැබේ.
  3. ඩයිඑතිලෙන්ට්‍රිමයින් පෙන්ටඇසිටික් අම්ලය (Diethylenetriamine pentaacetic acid - DTPA).
    DTPA විකිරණශීලී මූලද්‍රව්‍ය වන ප්ලූටෝනියම් (Plutonium), ඇමරිසියම් (Americium) සහ කියුරියම් (Curium) අංශු සමග සම්භන්ද වේ. විකිරණශීලී අංශු ශරීරයෙන් මුත්‍රා සමඟ පිටවේ. එමඟින් පටක සහ සෛල තුලට අවශෝෂණය වන විකිරණ ප්‍රමාණය අඩු වේ.

විකිරණ අපගේ ජීවිතයේ කොටසකි. අප වටා පරිසර පසුබිමේ ස්වභාවිකව විකිරණ පවතී, එවා බොහෝ දුරට ස්වාභාවික ඛනිජ වලින් විමෝචනය වේ. වාසනාවකට මෙන්, එම සාමාන්‍ය විකිරණ ප්‍රමාණය ඉක්මවා යන පාලනයකින් තොර විකිරණ ප්‍රභවයන්ට නිරාවරණය වන අවස්ථා ඉතා දුර්ලභ ය. කෙසේ වෙතත්, එවැනි තත්වයක් ඇති වුවහොත් කුමක් කළ යුතු දැයි දැන ගැනීම, සූදානම් වීම වදගත් වේ. අතීතයේ ඉන්දියන් සාගරයේ පතුල තුල යම් ප්‍රමාණයක් න්‍යෂ්ටික අපද්‍රවය ගබඩා කර ඇත. එමෙන්ම ඉන්දියාවේ දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේ ඇති ඉන්දියානු කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය 2013 ජූලි 13 වන දින පලමු ප්‍රතික්‍රියාකාරකය ආරම්භ කල අතර 2027 වන විට සැලසුම් කර ඇති පරිදි ප්‍රතික්‍රියාකාරක හයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට ඇත්තේ කි.මී. 250km කටත් වඩා අඩු දුරකි. යම් විදියකින් අනතුරක් සිදු වුවහොත්, සුළඟින් සහ සාගර දිය ධාරා (Ocean Stream / Ocean Current) මගින් වැඩිම බලපෑම සිදු වන්නේ අපගේ ශ්‍රීලංකාවට හා මාල දිවයින් දූපත් වලටය. එම නිසා ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට, ඒ පිළිබඳව අවබෝධයෙන් සිටීම අවශ්‍යය වේ.

ඉන්දියානු කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය (Kudankulam Nuclear Power Plant)

පළමු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඒකකය ඉදිකිරීමට 1988 නොවැම්බර් 20 වන දින සෝවියට් සංගමය සහ ඉන්දීය ජනරජය අතර අත්සන් තබන ලද සහයෝගිතා ගිවිසුමේ රාමුව තුළ, 1998 ජුනි 21 දිනැති එම ගිවිසුමට අනුකූල අතිරේක රාමුවක් තුළ ඉදිකරන ලදී. මෙම ව්‍යාපෘතිය රුසියානු නිර්මාණකරු සහ උපකරණ සැපයුම්කරු වන රොස්-ආතම් ("රුසියානු පරමාණුව") රුසියානු රාජ්‍ය සංස්ථාවේ ඉංජිනේරු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඉන්දියානු පාරිභෝගිකයා වන ඉන්දියානු පරමාණුක බලශක්ති සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

රුසියානු රොස්-ආතම් (РОСАТОМ / eng. ROSATOM) සමාගම මෙම කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දැනට ඇති ලොව ආරක්ෂිතම රුසියානු ප්‍රතික්‍රියාකාරක තැනීමේ තාක්ෂණය භාවිත කරමින් තනා ඇති අතර යම් අනතුරක් සිදුවීමට ප්‍රථම ස්වයංක්‍රීයව ප්‍රතික්‍රියාකාරකය අක්‍රීය වීම සිදුවේ (පාලනයෙන් ගිලිහී ගියහොත්). එමෙන්ම, අධික ඝනකමක් ඇති කොන්ක්‍රීට් අර්ධ ගෝලාකාර ආවරනය, A320 වැනි මගී ගුවන් යානයක් එය මතට කඩාවැටීමෙන් කිසිවක් නොවන බවට තහවුරු කරයි. එමෙන්ම, මීටර් 10 ට වැඩි උසකින් යුත් සුනාමි, සුළි සුළං - කුණාටු සහ රිච්ටර් (Richter scale) 8 ක පරිමාණයෙන් යුත් භූමිකම්පා වලට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇත.

ඉන්දියාව මෙම ස්ථානය තෝරාගෙන ඇත්තේ කරුනු රැසක් සැලකිල්ලට භාජනය කිරීම මගිනි. එනම් නැගෙනහිර වෙරල සුනාමි අවදානම් සහිත නිසාත්, බටහිර වෙරල ඉන්දියාවේ සංචාරක කර්මාන්තයට ඉතාම වැදගත් වන නිසාත් එම ප්‍රදේශ තෝරා ගෙන නොමැත. න්‍යෂ්ටික ඉන්දන ආරක්ෂාකාරී ලෙස ප්‍රවාහනය කිරීමට සහ න්‍යෂ්ටික අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය සඳහා ආපසු රුසියාවට ගෙනයාමටත් බලාගාරය අසල කුඩා වරායක් ඉදිකර ඇති අතර ජනාකීර්ණ නගරවලින් හැකිතරම් දුරස් වීම, විදුලි බල ජාලයට කෙටි දුරකින් සම්බ්භන්ද කල හැකිවීම, බලාගාරයේ ජල වාෂ්ප උත්පාදනය සඳහා අවශ්‍යය ජලය ලබා ගැනීමට මූලාශ්රයක් ලෙස ඉන්දියන් සාගරය ලෙස, මෙම ස්ථානය තෝරාගෙන ඇත. එමන්ම, අවශ්‍යය නම් ශ්‍රීලංකාවට විදුලි බලය අපනයනය කල හැක.

කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ කිසිදාක අනතුරක් නොවේවා කියා පතන අතර යම් විදියකින් අනතුරක් සිදු වුවහොත් සුලඟ මගින් විකිරණ ශීලි අංශු පැතිරීයාමත් සමගම වැසිජලය මගින් පොළොවට පතිත වේ. උදාහරනයක් ලෙස සැප්තැම්බර් මාසයේ සුළං හමන අයුරු.

කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ අනතුරක් සිදු වී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ (nuclear reactor) ජලය මුහුදට කාන්දු වුවහොත්, සාගර ජල ධාරා මගින් විකිරණ ශීලි අංශු පැතිරේ.

තවකෙනෙකුට Share කරන්න:
සෞඛ්ය ආරක්ෂණය : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්