සංකීර්ණ කරුණු සරල බසින්

රුසියානු පිළිකා එන්නත - පිළිකා නාශක mRNA වැක්සීන එන්නත
සෞඛ්ය ආරක්ෂණය

රුසියානු පිළිකා එන්නත - පිළිකා නාශක mRNA වැක්සීන එන්නත

රුසියානු පිළිකා නාශක mRNA වැක්සීන එන්නත, රෝගියාටම ආවේනික අහිතකර බලපෑම් නොමැති, 100% සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රමාදයකින් තොරව, අඩු නිශ්පාදන පිරිවැයකින් නිපදවා ඉක්මනින් ප්‍රතිකාර කිරීමට ඉඩ සලසයි.

රුසියානු සමූහාණ්ඩුවේ ආයතන දෙකක නියෝජිතයින්, වන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ෆෙඩරල් වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඒජන්සිය එක්ව, 2025 වසරේ අග භාගයේදී රුසියානු රෝගීන්ට ලබා ගත හැකි පිළිකා එන්නත් කිහිපයක් නිර්මාණය කර ඇති බව නිවේදනය කළහ. නමුත් ඒවා සතුන් මත පමණක් පරීක්ෂා කර ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබූ රුසියානු විද්‍යාඥයන්, රෝගීන් සඳහා අහිතකර බලපෑමක් නොමැති බව වටහාගත් පසු සායනික අත්හදා බැලීම් කිරීමට (Clinical trials Phase 0) 2025 වසර අගභාගයේ නියමිතව ඇත. 2024 සැප්තැම්බර් මාසයේදී, රුසියානු mRNA පිළිකා චිකිත්සක වැක්සීන එන්නතක පූර්ව සායනික අත්හදා බැලීම් අවසන් කරන ලදී.

mRNA පිළිකා නාශක චිකිත්සක වැක්සීන එන්නත

පිළිකා ඇතිවීම වළක්වන රෝග නිවාරණ වැක්සීන එන්නත් මෙන් නොව, පිළිකා චිකිත්සක වැක්සීන එන්නත් නිර්මාණය කර ඇත්තේ පවතින පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා ය. මෙම එන්නත් බොහොමයක් එක් එක් රෝගියා සඳහා ආවේනික (Personalized) වන අතර mRNA මත පදනම් වූ වැක්සීන නිශ්පාදන ක්‍රමවේදය මඟින් කළ හැකි පුද්ගලීකරණය (රෝගියාට පමණක් ආවේනික වූ / Personalized) කිරීම මගින් අහිතකර බලපෑම් නොමැති, 100% සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රමාදයකින් තොරව, අඩු නිශ්පාදන පිරිවැයකින් නිපදවා ඉක්මනින් ප්‍රතිකාර කිරීමට ඉඩ සලසයි. පිළිකා ප්‍රතිකාර සඳහා මෙම නවෝත්පාදක mRNA එන්නත (වැක්සීනය) නිශ්පාදනය කර ඇත්තේ, ෆෙඩරල් වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඒජන්සියට අනුබද්ද ආයතනයක් වන "ගමලේයා (Gamaleya)" ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය විසිනි. එය නිශ්පාදනය කර ඇත්තේ mRNA වැක්සීන නිශ්පාදන තාක්ෂණය භාවිතා කරමිනි. කොවිඩ් 19 සමයේ, ලොව ප්‍රථම කොවිඩ් 19 වැක්සීන එන්නත වන "ස්පුට්නික් - වී (Sputnik-V)", වැක්සීනය ඇඩෙනෝ වෛරස දෛශිකය භවිතා කරමින් නිර්මාණය කර නිශ්පාදනය කරන ලද්දේ මෙම ආයතනය විසිනි.

එන්නත ප්‍රථමයෙන් ස්වේච්ඡා නිරෝගී පුද්ගලයින් (Phase 1) හට ලබාදෙන අතර පසුව ස්වේච්ඡා රෝගීන් (Phase 2) හට ලබා දීමට නියමිතව ඇත. එවැනි පරීක්ෂණ තුනකින් පසුව, ප්‍රතිඵල අනුව එන්නත සියලුම රෝගීන් (Phase 3,4) සඳහා නිර්මාණය කරනු ලැබේ.

පෙප්ටයිඩ වැක්සීන එන්නත් වල පිළිකා නියෝඇන්ටිජන් කොටසක්, එනම් පෙප්ටයිඩයක් අඩංගු වන අතර, mRNA වැක්සීන එන්නත් වල පෙප්ටයිඩය වෙනුවට, එම පෙප්ටයිඩ ශරීරය තුල නිපදවීමට එහි ජාන අනුරූප කේතය mRNA අඩංගු වේ. mRNA හෙවත් මැසෙන්ජර් (Messenger) RNA ලෙස හඳුනවනු ලබන්නේ එය, පෙප්ටයිඩ (ඇන්ටිජෙන්) නිශ්පාදනය සඳහා, ඇමයිනෝ අම්ල දාමයේ (පෙප්ටයිඩයේ) අනුපිළිවෙල පිලිබඳ දත්ත, සෛලයේ රයිබොසෝමය වෙත ලබාදෙන නිසාය. එම RNA පණිවිඩ යවන්නා (Messenger RNA/ mRNA) ලෙසත්, පෙප්ටයිඩ නිශ්පාදනයට ඇමයිනෝ අම්ල රයිබොසෝමය වෙත ගෙන එන්නා tRNA හෙවත් ප්‍රවාහන RNA (Transfer RNA) ලෙස හැදින් වේ. මෙම පිළිකා සෛල මගින් නිපදවන අසාමාන්‍ය කුඩා ප්‍රෝටීන (පෙප්ටයිඩ) ප්‍රතිදේහජනක කෙලින්ම හෝ වෛරසයක RNA තුල හෝ ලිපිඩ ආවරණයක් තුල සැඟවූ mRNA ලෙස අවශ්‍යය ජාන කේතය කේතනය කර, වැක්සීනයක් ලෙස ශරීරයට ලබා දෙනු ලබේ. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් පිළිකාව "දැකීමට" සහ ශරීරයට අවශ්‍යය නොවන සෛල බවට හදුනා ගැනීමට සහ එයට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.

එන්ටරොමික්ස් (EnteroMix) වැක්සීන එන්නත

එමෙන්ම, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික වෛද්‍ය පර්යේෂණ හා විකිරණ විද්‍යා මධ්‍යස්ථානය (National Medical Research & Radiological Center / NMRRC) එක්ව, එකවර ක්ෂේත්‍ර දෙකක පුළුල් විද්‍යාත්මක කටයුතු සිදු කරයි. පළමු ක්ෂේත්‍රය NMRRC ආයතනය, "එන්ජල්හාර්ඩ්" අණුක ජීව විද්‍යා ආයතනය සමඟ එක්ව නිර්මාණය කරන ලද ඔන්කොලිටික් (පිළිකා නාශක) එන්නත "එන්ටරොමික්ස් (EnteroMix)" ලෙස නම්කරන ලදි. මෙම ඖෂධය මාරාන්තික පිළිකා සෛල විනාශ කිරීමට සහ රෝගියාගේ පිළිකා නාශක ප්‍රතිශක්තිය එකවර සක්‍රීය කිරීමට හැකියාව ඇති ව්යාධිජනක නොවන වෛරස් හතරක එකතුවක් මත පදනම් වී ඇත.

එම වෛරස සමහර නිරෝගී පුද්ගලයෙකුගේ ආහාර මාර්ගයේ සෛල තුල ඇති, රෝගයක් ඇති නොකරන වෛරස විශේෂ කිහිපයකි. අන්ත්‍රය හරහා සම්ප්‍රේෂණ මාර්ගය (ආසාදනය වීම) ඇති නිසා, එම වෛරස එන්ටෙරො-වෛරස් (කුලය / genus: Enterovirus) ලෙස හැඳින්වේ. මෙම වැක්සීනය සඳහා එන්ටෙරො-වෛරස් ආකාර 4 ක මිශ්‍රණයක් යොදාගත් නිසා එම වැක්සීන එන්නත "එන්ටරෝමික්ස් (EnteroMix)" ලෙස නම්කරන ලදි.

එන්ටරෝමික්ස් වැක්සීන එන්නත නිකුත්කරනු ලබන්නේ වයිරස වර්ග 4ක මිශ්‍රණ ද්‍රාවනයක් ලෙසය. එම වයිරස කෘතිමව නිර්මාණය කර ඇති අතර වයිරස වල ඉලක්කය වන්නේ පිලිකා සෛල ආසාදනය කිරීමයි. එම නිසා රුධිර වාහිණී (ශිරා / IV) තුලට හෝ කෙලින්ම පිලිකාව ඇති ස්ථානයට එන්නත්කල හැකිය. ඉන්පසුව, පිලිකා සෛල තුලට වයිරසය ඇතුලු වූ පසු (ආසාදනය වූ විට), වයිරසය තුල වූ කෘතිමව කේතනය කර ඇති ජාන කට්ටලය (mRNA) ක්‍රියාකිරීමට පටන්ගනී. එම ජාන කට්ටලය මගින් පිලිකා සෛයිලයේ රයිබොසෝම වෙත නියෝගයක් නිකුත්කරයි. එම නියෝගය වන්නේ වයිරසයට අවශ්‍යය ප්‍රෝටීන කිහිපයක් නිපදවිය යුතු බවයි. ඉන්පසුව, රයිබොසෝමය වයිරසය විසින් නිකුත්කල ජාන පටය (කට්ටලය / mRNA) කියවා, ඇමයිනෝ අම්ල උපයෝගී කර ගනිමින්, ඒවා එකිනෙක අමුනා අවශ්‍යය පෙප්ටයිඩ (කුඩා ප්‍රෝටීන අණු) ගොඩනගයි.

එම ප්‍රෝටීන තමාට අයිති නැති නිසා, පිලිකා සෛලය විසින් තම සෛල ප්ලාස්මයෙන් පිටතට බැහැර කරයි. මෙසේ බැහැර කරන ප්‍රෝටීන ප්‍රතිශක්තීකරන පද්ධතියේ සෛල (ඩෙන්ඩ්‍රිටික් සෛල) මගින් ඉක්මනින් හඳුනා ගනී. එනම්, එය රෝගියාගේ ශරීරයට අයත් නොවන ප්‍රෝටීනයක් බවත්, පිලිකා සෛල විනාශ කලයුතු බව හදුනා T-killer සෛල මගින් පිලිකා සෛල වලට පහරදීමට පටන් ගනී. එමෙන්ම, එම ප්‍රෝටීන පිලිකා සෛලයේ සමහර ප්‍රතික්‍රියා මාර්ග (pathways) අවහිර කිරීම නිසාද පිලිකා සෛල විනාශ වේ.

පසුගිය වසර කිහිපය තුළ, එන්ටරොමික්ස් ඖෂධයේ කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව තහවුරු කරමින් පූර්ව සායනික අධ්‍යයනයන්හි සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ කර ඇති අතර පිළිකා නාශක බලපෑම පිළිකා වර්ධනය මන්දගාමී කිරීම මෙන්ම පිළිකාවේ සම්පූර්ණ විනාශය දක්වා ඵලදායී විය. පළමු අදියර සඳහා සායනික අත්හදා බැලීම් 2024 අගභාගයේදී, 2025 මුල් භාගයේදී කාලය තුල ආරම්භ කරන ලදි.

එමෙන්ම, ඊට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඒජන්සිය මගින් තවත් පිළිකා එන්නත් වර්ග දෙකක් නිර්මාණය කරමින් තිබේ.

පෙප්ටයිඩ වැක්සීන එන්නත

රුසියානු පිළිකා නාශක වැක්සීන එන්නත් වර්ග වලින්, එක් වර්ගයක් වනුයේ පෙප්ටයිඩ වැක්සීනයයි. පෙප්ටයිඩ වැක්සීන එන්නත් වල ඇති නියෝඇන්ටිජන් කොටස (පෙප්ටයිඩය), සුරක්ෂිතව ශරීරයට ඇතුල් කිරීම සදහා ( පෙප්ටයිඩ වල ආරක්‍ෂාව සඳහා බහලුමක් ලෙස) නැනෝ අංශු ආවරණයක්, වාහකයන් ලෙස භාවිතා කරමින් පෙප්ටයිඩ ශරීරයට ලබා දෙයි.

පෙප්ටයිඩ වැක්සීනය, පිළිකා සෛල සාම්පල ලබාගැනීමෙන් පසු, පරීක්ෂණාගාරයක් තුල විශේෂයෙන් සැකසූ පෙප්ටයිඩයක් වන කුඩා ප්‍රෝටීන (ප්‍රධාන පිළිකා ප්‍රතිදේහජනක) අනු නැනෝ අංශු ආවරණයක් සහිතව වැක්සීන එන්නතක් ලෙස ශරීරයට ලබාදෙයි. නියෝඇන්ටිජන් පෙප්ටයිඩ පිළිකා වට එරෙහිව ප්‍රතිශක්තීකරන පද්ධතිය උත්තේජනය කරයි.

පෙප්ටයිඩ කේතනය කරන ලද ඇඩෙනෝ වෛරස දෛශිකය

දෙවන ක්‍රමය වන්නේ, විශේෂ පිළිකා ප්‍රතිදේහජනක ජාන කේතනය කරන ලද ඇඩෙනෝ වෛරසයට සමාන වෛරසයක් උපයොගී කර ගනිමින් පිළිකාවට එරෙහිව ප්‍රතිශක්තීකරන පද්ධතිය උත්තේජනය කිරීමයි. ඇඩෙනෝ වෛරස යනු මිනිසාගේ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරන වෛරසයකි. කොවිඩ්-19 සමයේ, කොවිඩ් වෛරස වලට එරෙහිව එන්නත් නිශ්පාදනය කිරීම සඳහා ද මෙම ඇඩෙනෝ වෛරස දෛශිකය භවිතා කරන ලදි. එම නිසා මෙම වයිරස භාවිතා කිරීම ශරීරයට අහිතකර නොවේ. වැක්සීනයේ ඇඩෙනෝ වෛරස ක්‍රියා කරන්නේ ප්‍රවාහන මාධ්‍යයක් (බහලුමක් ලෙස) ලෙස පමණි.

මෙම නවෝත්පාදනයන් හට දොරටුව විවෘත වීමට ප්‍රධාන හේතු තුනක් ඇත:

  1. පිළිකාවල සෛල වල වර්ණදේහ තුල, DNA තුල වූ නියුක්ලියෝටයිඩ අනුපිළිවෙල කියවීමේ තාක්ෂණය මගින් පිළිකාවල ජාන විකෘති (නියෝඇන්ටිජන්) මගින් ඇතිවන අසාමාන්‍ය ප්‍රෝටීන හඳුනා ගැනීම.
  2. නව ඇන්ටිජෙන් තෝරා ගැනීම සඳහා අවශ්‍යය වන ඇල්ගොරිතම සඳහා කෘතිම බුද්ධියේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම.
  3. පූර්ව දිගුකාලීන පර්යේෂණ මගින් ඇති දැනුම.

මෙම නව එන්නත් සෑම රෝගියෙක් සඳහාම පුද්ගලීකරණය කරනු ලැබේ. එනම් එක් එක් රෝගියාට ආවේනික වූ වැක්සීන නිපදවිය යුතුය. එයට හේතුව, රෝගීන් දෙදෙනෙකුගේ එකම වර්ගයට අයත් පිළිකාවක්, සම්භවය අනුව එකිනෙකට වෙනස් වන අතර පිළිකා සෛලයේ ඇති වූ ජාන විකුර්තිය අනුව පුද්ගලයාට ආවේනික වූ අසාමාන්‍ය ප්‍රෝටීන (ප්‍රතිදේහජනක හෙවත් නෙඕ-ඇන්ටිජෙන්) පිළිකා සෛල මගින් නිපදවයි. ඉහත සදහන් කර ඇති තාක්ෂණයන් නොමැතිව, ඒවා නිර්මාණය කිරීම අපහසු වේ.

ඩෙන්ඩ්‍රිටික් (Dendritic cells) සෛල මත පදනම් වූ පිළිකා නාශක එන්නත

ඊට අමතරව, රුසියාවේ ඩෙන්ඩ්‍රිටික් (Dendritic cells) සෛල (විශේෂිත සුදු රුධිරාණු) මත පදනම් වූ පිළිකා නාශක එන්නත් වසර 15 කට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරමින් පවතී. පිළිකා ප්‍රතිකාර සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති එම වැක්සීන එන්නත ඩෙන්ඩ්‍රිටික් සෛල, එනම් සුදු රුධිරාණු සෛල මත පදනම් වූ එන්නතකි. රෝගියාගේ සුදු රුධිර සෛල වන මොනොසයිට (Monocytes) ලබාගත් පසු, ඒවාට පිළිකා ප්‍රතිදේහජනක (Antigen) සමඟ "පූරණය" වීමට සලසා, රසායනාගාරයේ පරිණත වීමට ඉඩ දීමෙන් පසුව, එම මොනොසයිට ඩෙන්ඩ්‍රිටික් සෛල බවට පරිණත වේ. ඉන්පසුව, වැක්සීනය ලෙස එන්නත් කිරීමෙන් පසුව, ඩෙන්ඩ්‍රිටික් සෛල ලිම්ෆොසයිට් හෙවත් වසා සෛල හමුවූ විට මෙම ප්‍රතිදේහජනක පිළිබඳව දත්ත ලබාදෙන අතර එවිට ටී-ලිම්ෆොසයිට් (T lymphocytes / T cells) මඟින් මෙම පිළිකා සෛල මත ඇති ප්‍රතිදේහජනක හඳුනාගෙන, පිළිකා සෛල විනාශ කිරයි. එනම්, පිළිකා වලට එරෙහිව සටන් කිරීමට ටී-ලිම්ෆොසයිට් යොමු කරමින්, රෝග කාරක පිළිකා සෛල හඳුනාගෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සක්‍රීය කිරීමට ඩෙන්ඩ්‍රිටික් සෛල ප්‍රථමයා ලෙස ක්‍රියා කරයි.

පිළිකාවක් (Cancer) යනු කුමක්ද?

පිළිකාවක් යනු සෛල තුල ජාන විකෘතියක් නිසා සාමාන්‍යය සෛල අසාමාන්‍යය මාරාන්තික (Malignization) සෛල බවට පරිවර්තනය වීමයි. සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස සෛල බෙදීම සහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීම නිසා නිරෝගී පටක වලට හානි කරන සහ ශරීරයේ අනෙකුත් කොටස් වලට (මෙටස්ටාසිස් / metastasis) පැතිර යා හැකි රෝගයකි. එම පැතිර යාම සිදු වන්නේ පිළිකා සෛල (අපිච්ඡද සෛල / Epithelial cells) පහසුවෙන් ගැලවී යා හැකි අතර ඒවා රුධිරය හෝ වසා තරලය ඔස්සේ වේනත් ස්ථානයකට පැතිර, එම ස්ථානයේ අසාමාන්‍ය ලෙස සෛල බෙදීම සහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීම නිසා, එම ස්ථානයේද පිළිකාවක් හට ගනී. වයෝවෘද්ධ සෛල නියමිත කාලය ඉකුත් වූ පසු මිය යා යුතු (Apoptosis) වුවද, පිළිකා සෛල වල එසේ සිදු නොවේ. පිළිකා රෝගයේ රෝග ලක්ෂණ ස්ථානය සහ පිළිකා වර්ගය අනුව වෙනස් වේ. පිළිකා ප්‍රතිකාරය, පිළිකා වර්ගය සහ අවධිය මත රඳා පවතී.

පිළිකාවක් ඇති වීමට බලපාන ප්‍රධාන සාධක.

  • පරම්පරා ගත ජාන, එනම් තම පරම්පරාවේ එකම පිළිකා වර්ගයක් ඇති රෝගීන් කිහිපදෙනෙකු සිටීම.
  • පිළිකා කාරක ( Carcinogens)
    1. වෛරස් (Oncovirus) සහ ක්ෂුද්‍ර ජීවීන් - ප්‍රධාන වශයෙන් පිළිකා ඇතිවීමට හේතුව වෛරස් (ඔන්කොවෛරස්) ආසාදන හේතුවෙන් ඇතිවන අතර දැනට සොයාගෙන ඇති වෛරස් අතර, උදාහරණයක් ලෙස: මානව පැපිලෝමා වයිරසය (HPV) වෛරසය ගැබ් ගෙල පිළිකා ඇතිකරයි, හෙපටයිටිස් "බී" සහ "සී" (HBV/HCV) වෛරස අක්මාවේ සෛල විනාශ කරනවා පමණක් නොව, අක්මාවේ පිළිකා සෛල ඇති කිරීමටත් හේතු වේ. ඊට අමතරව EBV, KSHV, MCV, HTLV-1 වෛරස තවත් පිළිකා ගනනාවකට හේතු වේ. එමෙන්ම ඇස්පර්ජිලස් ෆ්ලේවස් නම් දිලීරය මගින් නිපදවන ඇල්ෆාටොක්සීන් "බී1" (Aflatoxin B1/AFB1) පිළිකා කාරක වන අතර, ගබඩා කරන ලද දාන්‍ය, කජු සහ රටකජු වල ඇතිවන දිලීරයකි. ඒ අතරම, හෙලිකොබැක්ටර් පිලරි නම් බැක්ටීරියාව ප්‍රථමයෙන් ආමාශයේ වණ ඇති කරන අතර පසුව පිළිකාවක් දක්වා වර්දනය වනවා මෙන්ම ශරීරයේ ලිම්ෆෝමා (MALT lymphoma) පිළිකාවද ඇති විය හැක.

      වෛරසයක් යනු, ජීවී සහ අජීවී යන අතරමැද වර්ගයට අයත් ප්‍රෝටීන සහ ලිපිඩ ආවරනයකින් DNA හෝ RNA වටවූ ඉතා කුඩා අංශු (නැනෝ මීටර 5-300) වස්තුවකි. වෛරස ජීවි සෛල සොයා යන්නේ, තමාටම තම වර්ගයා බෝ කල නොහැකි නිසාය. ඒ සඳහා වෛරස මිනිසාගේ සෛල තුලට ඇතුලු වූ විට, සෛලයේ ජාන කට්ටලය තාවකාලිකව අත්හිටුවා හෝ න්‍යෂ්ඨිය මුලුමනින්ම විනාශ කොට, සෛලයේ පාලනය වෛරසය අතට ගෙන, වයිරසයට අවශ්‍යය පරිදි, වෛරස් විශාල ප්‍රමාණයක් සෑදීමට අවශ්‍යය ද්‍රව්‍ය (ප්‍රෝටීන, ලිපිඩ සහ DNA හෝ RNA) සෛලය තුල නිශ්පාදනය කර, වෛරස් විශාල ප්‍රමාණයක් සදාගෙන සෛලයෙන් පිට වේ.

    2. විකිරණ - උදාහරණයක් ලෙස: අධි මාත්‍රාවක් සහිත ඇල්ෆා අංශු, බීටා අංශු, ගැමා කිරණ, එක්ස් කිරණ සහ නියුට්‍රෝන විකිරණ.
    3. පිළිකා කාරක (Carcinogens) රසායනික ද්‍රව්‍ය. උදාහරණයක් ලෙස: ප්‍රෝටීන, පිෂ්ඨය සහිත අධික උෂ්නත්ව වල බැදුම් ආහාරවල (වඩේ, මුරුක්කු, බැදපු / රෝස්ට් මස් ..) සෑදෙන ඇක්‍රිලමයිඩ් (Acrylamide) නම් කාබනික සංයෝග (heterocyclic amines [HCAs] and polycyclic aromatic hydrocarbons [PAHs], ආසනික් (Arsenic), ඇස්බැස්ටෝස් (Asbestos), බෙන්සීන් (Benzene), ෆෝමල්ඩිහයිඩ් (Formaldehyde) සහ වයිනයිල් ක්ලෝරයිඩ් (vinyl chloride).
    4. බැර ලෝහ - උදාහරණයක් ලෙස: ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම්, ඊයම් සහ නිකල්.
  • අහිතකර ජීවන රටාව - අධික සාන්ද්‍රනයකින් යුත් මධ්‍යසාර, දුම් පානය, අනාරක්ෂිත ලිංගික ක්‍රියා (වෛරස ආසාදන) වල යෙදීම, අනාරක්ෂිත ආහාර පාන.
  • දිගු කාලයක් තිස්සේ (වසර 10-15) එකම ස්ථානයක සෛල විනාශවීම (තුවාලවීම). උදාහරණයක් ලෙස: අසාමාන්‍ය දත් මගින් කම්මුල් ඇතුලත ශ්ලේෂ්මල පටලය හෝ දිව තුවාල වීම, දිගුකාලීන නිදන්ගත වණ (උදා: ආමාශයේ වණ).

පිළිකා ප්‍රතිකාර ප්‍රධාන කාණ්ඩ කිහිපයකට අයත් වේ, ඒවා අතර:

  • ශල්‍යකර්ම (Surgery / සැත්කම්) ආධාරයෙන් පිළිකා ඉවත් කිරීම.
  • විකිරණ චිකිත්සාව (Radiation therapy) හෙවත් අධි ශක්ති කිරණ භාවිතයෙන් පිළිකා සෛල විනාශ කිරීම.
  • රසායනික චිකිත්සාව (Chemotherapy) ලෙස පිළිකා නාශක ඖෂධ භාවිතා කිරීම.

    මෙම රසායනික චිකිත්සක ඖෂධ භාවිතා කිරීමේදී ඉතාවේගයෙන් වර්ධනය වන පිළිකා සෛල විනාශ වන අතරම සුදුරුධිරාණු නිශ්පාදනය අඩාල කරයි. එයට හේතුව, රසායනික චිකිත්සක ඖෂධ වල ඉලක්කය වන්නේ වේගයෙන් වර්ධනය වන සෛල වලට පහරදීමයි. එම නිසා, සෞඛ්‍ය සම්පන්න, වේගයෙන් වර්ධනය වන සෛල වන සුදුරුධිරාණු විනාශ වීම පමනක් නොව නව සුදුරුධිරාණු අස්ථි ඇටමිදුලු (bone marrow) තුල නිපදවීම ද අඩාල වේ. එවිට රුධිරයේ ලෙයිකොපේනියා (Leukopenia) හෙවත් අඩු සුදුරුධිරාණු මට්ටමක් පෙන්වන අතර, එනම් ප්‍රතිශක්තීකරන පද්ධතිය අඩාල වේ. එම නිසා හදිස්සියේම සරල ආසාදනයක් පවා සංකීර්ණ විය හැක. එම හේතුව නිසා වෛද්‍යවරයා විසින් සුදු රුධිරාණු වර්ධනය ප්‍රවර්ධනය කරන ග්‍රැනුලෝසයිට් ජනපද-උත්තේජක සාධකය ( granulocyte colony-stimulating factor) නම් ප්‍රෝටීනය ඇති එන්නත මගින් අස්ථි ඇටමිදුළු උත්තේජනය කර, සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩි කළ හැකි අතර පසුව ඇතිවන ආසාදන වළක්වා ගත හැකිය.
    උදාහරණයක් ලෙස ග්‍රැනුලෝසයිට් ජනපද-උත්තේජක:
    ෆිල්ග්‍රැස්ටිම් (generic name: Filgrastim [Brand name: Neupogen නියුපොජන්]),
    සර්ග්‍රමොස්ටිම් ( generic name: Sargramostim [Brand name : Leukine ලියුකින්]) සහ
    පෙග්ෆිල්ග්‍රැස්ටිම් (generic name: Pegfilgrastim [Brand name : Neulasta නියුලාස්ටා]) දැක්විය හැකිය.

  • ප්‍රතිශක්තිකරණ චිකිත්සාව (Immunotherapy) ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකාවට එරෙහිව සටන් කිරීමට උපකාරී වන වැක්සීන එන්නත් කිරීම.
  • හෝමෝන චිකිත්සාව (Hormone therapy) ලෙස පිළිකා ප්‍රවර්ධනය කරන හෝමෝන අවහිර කිරීම හෝ අඩු කිරීම.
  • ඉලක්කගත ප්‍රතිකාර (Targeted therapies) - පිළිකා වර්ධනයට අත්‍යවශ්‍ය නිශ්චිත අණු (molecules) හෝ මාර්ග (Pathways) අවහිර කිරීම.
  • ප්‍රාග් සෛල (Stem cell/bone marrow [ඇට මිදුළු] ) බද්ධ කිරීම (e. g. Tumors of the hematopoietic and lymphoid tissues / රුධිර පටකයේ සහ වසා පටකයේ ඇතිවන පිළිකා).

ඉහත සදහන් කාන්ඩ එකක් හෝ කිහිපයක් සමග:

  • රෝග ලක්ෂණ කළමනාකරණය (Symptomatic therapy) කිරීම.
  • සහ ආධාරක ප්‍රතිකාර (Supportive therapies) ඇතුළත් වේ.

වැක්සීන එන්නත් පිළිකාවට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

වැක්සීන එන්නත් ප්‍රධාන වශෙයෙන් ඛාන්ඩ දෙකකට බෙදේ. එයින් එක් ඛාන්ඩයක් රෝගය වැළැක්වීමට (Preventive Vaccines) යොදාගන්නා අතර, දෙවන ඛාන්ඩය රෝගය සුව කිරීම (චිකිත්සක එන්නත් / Therapeutic Vaccines) සඳහා භාවිතා කරනු ලැබේ. පිළිකා සුව කිරීම සඳහා වූ (චිකිත්සක එන්නත්) වැක්සීන එන්නත්, පිළිකා වැළැක්වීමේ එන්නත් මෙන් ක්‍රියා කරන අතර, විශේශිත වූ ජීව විද්‍යාත්මක ප්‍රෝටීනයක් (Antigen) ආධාරයෙන් , ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් පිළිකා සෛල හදුනා ගත් පසු පහරදීම ආරම්භ කරයි.

ආසාදනය වන වෛරස ඉලක්ක කරගත් වැක්සීන මෙන් නොව, පිළිකා සඳහා චිකිත්සක වැක්සීන එන්නත් රෝගියාගේම සෛල වලට පහර දීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සිදු වේ. එමනිසා, විද්‍යාඥයන් හට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිරෝගී පටක වලට හානි නොකර, පිළිකා සෛල වලට පමණක් පහරදීම සඳහා යොමු කිරීමට ක්‍රම සොයා ගැනීමට සිදුවේ. සාමාන්‍ය, පිළිකා නොවන සෛල කෙරෙහි බලපෑම් අවම කිරීම සඳහා, චිකිත්සක පිළිකා එන්නත් සාමාන්‍ය නිරොගී සෛල ප්‍රෝටීන (Antigen) මගින් සලකුනු වීම සැලකිය යුතු ලෙස අඩු මට්ටමක හෝ ප්‍රෝටීන නොමැතිව එනම් පිළිකා සෛල පමනක් සලකුනු කිරීමට උපරිම තාක්ෂණය භාවිතා කරයි. ඉලක්කගත ප්‍රතිකාර - එනම්, නිශ්චිත ඉලක්කයක් ඉලක්ක කර පහර දීමේ සිට කෘතිම "හයිමරික්" ප්‍රතිග්‍රාහකයක් සමඟ බද්ධ කරන ලද සුදු රුධිරාණු (T සෛල) සෛල වන ලිම්ෆොසයිට් දක්වා වූ පුළුල් පරාසයක ඖෂධ ප්‍රතිශක්තිකරණ චිකිත්සාවට ඇතුළත් වේ. මෙම චිකිත්සා ක්‍රමයේ අරමුණ වන්නේ ද පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීමයි. එමෙන්ම, වැක්සීන එන්නත් මගින් ඖෂධයේ අඩංගු පිළිකා ප්‍රතිදේහජනක වලට එරෙහිව නිශ්චිත ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් සක්‍රීය කරනු ලැබේ.

වැක්සීනයක් (Vaccines) යනු කුමක්ද?

වැක්සීනයක් යනු යම් රෝගයක් හා සම්බන්ධ ද්‍රවයක් ශරීරයට ලබාදීම තුලින් තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් පසුව රෝගය හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට පුහුණු කරනු ලබන ජීව විද්‍යාත්මක සංඝටක අඩංගු ඖෂධයකි.

උදාහරණයක් ලෙස, වෛරස් උණක් වන ෆ්ලු (Flu / influenza) රෝගය සඳහා ලබාදෙන එන්නත (වැක්සීනය) මගින් ෆ්ලු උණ වෛරසයේ කොටසක් එනම් ප්‍රෝටීනයක කොටස් අඩංගු එන්නතක් ලෙස ලබා දෙයි. එවිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එම ප්‍රෝටීනය අපගේ ශරීරයට අයත් නොවන බව හඳුනා ගන්නා අතර, එයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් (Ig) ඇති කර, මෙම තොරතුරු ප්‍රතිශක්තිකරණ පද්දතියේ "මතකය" තුල ගබඩා කරයි. එවිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම ෆ්ලූ උණ වෛරසයේ ප්‍රෝටීනයට ප්‍රතිචාර දැක්වීමට පුහුණු කර ඇති බැවින්, පසුව අපහට ෆ්ලූ උණ වෛරසය ආසාදනය වුවහොත් එයට පහර දීමට ශරීරය සූදානම් කර ඇත, එමඟින් අපව අසනීප වීමට පෙර අපගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය, වෛරසයට ඉක්මනින් පහර දී වෛරසය ශරීරයෙන් ඉවත් කර රෝගය වළක්වයි.

පිළිකා චිකිත්සක වැක්සීන එන්නත් ක්‍රියා කරන අයුරු කෙටියෙන් පහත දක්වා ඇත.

වැක්සීන එන්නත් මගින් පිළිකා සෑදීම වළක්වා ගැනීම.

මේ වන විට වැක්සීන කීපයක් වෙළඳපොලේ ඇති අතර, එවා එක් වර්ගයකට අයත් පිළිකා පමණක් වැලක්වීම හෝ සුව කිරීම සිදුකරන අතර, 70%-80% ක පමන කාර්යක්ෂමතාවයක් ඇති නමුත් අතුරු ආබාධ සහිතය. උදාහරනයක් ලෙස මානව පැපිලෝමා වෛරසයට එරෙහිව ක්‍රියාකරන වැක්සීනය ( HPV vaccine) සඳහන් කල හැකිය. එමගින් සිදුකරනු ලබන්නේ පිළිකාවට පහර දීම නොව, ප්‍රධාන වශයෙන් පිළිකා වලට හේතු වන මානව පැපිලෝමා වෛරසයෙන් (HPV - Human Papillomavirus) ආරක්ෂා වීමයි. මෙම පැපිලෝමා වෛරසය (HPV) ගැබ්ගෙල පිළිකා, ගුද මාර්ගයේ පිළිකා, මුඛ පිළිකා, උගුරේ සහ ලිංගික ඉන්ද්‍රියන් වල පිළිකා සඳහා ප්‍රධාන හේතුවක් වන අතර වෛරස සම්ප්‍රේෂණය වන්නේ සමෙන් සමට සමීප සම්බන්ධතා හරහා මෙන්ම සාමාන්‍යය හා අසාමාන්‍යය ලිංගික ක්‍රියාකාරකම් වලදීය. ඕනෑම ආකාරයක ලිංගික සම්බන්ධතා තුලින් සම්ප්‍රේෂණය සිදුවිය හැකිය. ආසාදිත පුද්ගලයාට දෘශ්‍යමාන රෝග ලක්ෂණ නොමැති විට පවා වෛරසය පැතිර යා හැකිය. මේ වන විට දශකයක් පුරා තිබූ වැක්සීන කෙලින්ම HPV වෛරසයට එරෙහිව ක්‍රියා කරන අතර, ආසාදනය වැළැක්වීම මගින් පිළිකා ඇති වීම වළක්වයි. බොහොමයක් රටවල වයස අවුරුදු 11 හෝ 12 සිට ආරම්භ වන සියලුම නව යොවුන් වියේ (පිරිමි ළමයින් සහ ගැහැණු ළමයින්) සඳහා වෛද්‍යවරුන් HPV එන්නත් නිර්දේශ කරන අතර කලින් ඒවා ලබා නොගත් අයට වයස අවුරුදු 26 දක්වා HPV වැක්සීන එන්නත් නිර්දේශ කරන අතර සමහර පුද්ගලයින්, එනම් අවදානමට ලක්ව ඇති අය සඳහා වයස අවුරුදු 26 න් පසුවද එන්නත ලබාදෙයි.

පිළිකා චිකිත්සක වැක්සීන එන්නත් වර්ග කිහිපයක් ඇත.

  1. ප්‍රෝටීන මත පදනම් වූ වැක්සීන එන්නත් (Protein-based Vaccines)
  2. RNA මත පදනම් වූ වැක්සීන (RNA-based Vaccines)
  3. DNA මත පදනම් වූ වැක්සීන (DNA-based Vaccines)
  4. වෛරස් හා බැක්ටීරියා මත පදනම් වූ වැක්සීන (Viral and Bacterial-based Immune Stimulants)

ප්‍රෝටීන මත පදනම් වූ වැක්සීන එන්නත් (Protein-based Vaccines)

එය ක්‍රියා කරන්නේ පිළිකා වල ඇති අසාමාන්‍ය ප්‍රෝටීනයකට සමාන ජීව විද්‍යාත්මකව සංස්ලේශනය කරන ලද කුඩා ප්‍රෝටීන (පෙප්ටයිඩ) කොටස් ලබා දීමෙනි. එම ලබා දෙන ප්‍රෝටීනය රෝගියාගේ ප්‍රතිශක්තිකරණ සෛල මගින් හදුනා ගත් විට, ප්‍රතිශක්තිකරණ පද්දතිය මගින් ශරීරයට අවශ්‍යය නොවන සෛල ලෙස පිළිකා සෛල සළකුණු කරයි. ඉන්පසුව ප්‍රතිශක්තිකරණ පද්දතිය පිළිකා සෛල වලට පහර දීම ආරම්භ කරයි. විවිධ පිළිකා ප්‍රෝටීන වැක්සීනයට ඇතුලත් කිරීම තුලින් පිළිකා කිහිපයකට විරුද්ධව එක් වැක්සීනයක් නිශ්පාදනය කල හැකිය. එවා මේ වන විට පරීක්ෂණ අවදියේ පසුවන අතර ප්‍රෝටීන් මත පදනම් වූ පිළිකා එන්නත් ඉතා ඵලදායී සහ අතුරු අබාද අඩු වුවද, ඒවා මිල අධික, නිශ්පාදනයට කාලය වැඩි වශයෙන් වැයවන සහ බොහෝ විට නිශ්පාදනය කිරීමට අපහසු වැක්සීන නිශ්පාදන ක්‍රමවේදයකි.

උදාහරණයක් ලෙස : පුරස්ථි ග්‍රන්ථි පිළිකා (prostate cancer) වැක්සීනය Sipuleucel-T (Provenge) - USA. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට ආවේනික ප්‍රෝටීනයක් ආධාරයෙන් සක්‍රීය කර ඇති ඩෙන්ඩ්‍රිටික් සෛල අඩංගු වැක්සීනයකි. වැක්සීනය එන්නත් කිරීමෙන් පසුව, ඩෙන්ඩ්‍රිටික් සෛල (Dendritic cells) ලිම්ෆොසයිට් හෙවත් වසා සෛල හමුවූ විට මෙම ප්‍රතිදේහජනක පිළිබඳව දත්ත ලබාදෙන අතර එවිට ටී-ලිම්ෆොසයිට් (T lymphocytes / T cells) මඟින් මෙම පිළිකා ප්‍රතිදේහජනක රැගෙන යන සෛල හඳුනාගෙන විනාශ කිරයි.

RNA මත පදනම් වූ වැක්සීන (RNA-based Vaccines)

පිළිකා එන්නත් නිශ්පාදනය කරන තවත් ක්‍රමයක් වන්නේ mRNA පටයක් උපයෝගීකරගනිමින් එම වැක්සීනය නිර්මානය කිරීමයි. mRNA හෙවත් Messenger RNA යනු, තනි පටයක් සහිත, ජානයක ජානමය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලට අනුරූප වන රයිබොනියුක්ලික් අම්ලය (messenger ribonucleic acid / mRNA) අණුවකි.

ඉලක්කගත ප්‍රෝටීනය ලබා දීම (ප්‍රෝටීන මත පදනම් වූ වැක්සීන) මෙන් නොව, මෙම එන්නත් මගින් ප්‍රෝටීනය සෑදීම සඳහා සෛල වලට ජානමය උපදෙස්, mRNA ආකාරයෙන් ලබා දෙන අතර එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිකා සොයා ගැනීමට සහ පහර දීමට උත්තේජනය කරයි. මෙම mRNA අනුව තුල කේතනය කර ඇති අතර සෛලයට ඇතුලු වූ විට සෛලයේ රයිබොසෝම මගින් නියමිත ඇමයිනෝ අම්ල අමුනා පෙප්ටයිඩ දාමය, එනම් ප්‍රෝටීනය (ඇන්ටිජෙන්) ගොඩ නගා නිකුත් කරයි. මෙම ක්‍රමය කොවිඩ් 19 සමයේ, කොවිඩ් වෛරසයට එරෙහිව වැක්සීන (Pfizer–BioNTech COVID-19 vaccine) නිශ්පාදනය කිරීමට ද භාවිතා කරන ලදි.

mRNA මත පදනම් වූ එන්නත් ප්‍රෝටීන් මත පදනම් වූ එන්නත් වලට වඩා බොහෝ වේගයෙන් නිපදවිය හැකි නමුත් mRNA ලබා දීම සහ අහිතකර අතුරු ආබාධ වැළැක්වීම අභියෝගයක් විය හැකිය. නමුත්, mRNA මත පදනම් වූ එන්නත් පිළිකා වර්ග රාශියකට ප්‍රතිකාර කිරීම සඳහා පරීක්ෂාවට ලක් කෙරෙන අතර, මෑත කාලීනව සමේ පිළිකා ​​සහ අග්න්‍යාශයේ පිළිකා වලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.

DNA මත පදනම් වූ වැක්සීන එන්නත්

RNA මත පදනම් වූ වැක්සීන එන්නත් මෙන්, DNA මත පදනම් වූ වැක්සීන එන්නත් ද ඉලක්කගත ප්‍රෝටීනය සෑදීම සඳහා සෛලයට උපදෙස් ලබා දෙයි. නමුත් mRNA වැක්සීන ඉලක්කගත ප්‍රෝටීනය සෑදීම සඳහා කෙලින්ම ඇමයිනෝ අම්ල අනුපිළිවෙල ගෙන උපදෙස් ලබා දෙන අතර DNA වැක්සීන එන්නත් තුල අවශ්‍ය ප්‍රෝටීනය (පෙප්ට්යිඩය) එනම් ඇන්ටිජෙන් තැනීම සඳහා ජානය කේතනය කර ඇත. එනම්, mRNA සාදනු ලබන්නේ සෛලය විසිනි.

DNA මත පදනම් වූ වැක්සීන එන්නත්, RNA මත පදනම් වූ වැක්සීන එන්නත් වලට සමාන ප්‍රතිලාභ රාශියක් ඇති අතර ඉක්මනින් නිශ්පාදනය කල හැකි වීම, සහ අඩු නිශ්පාදන පිරිවැයක් දැරීම ප්‍රධාන තැනක් ගනී. කෙසේ වෙතත්, DNA මත පදනම් වූ වැක්සීන එන්නත් ස්වයං ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා ඇති කළ හැකි, මෙන්ම රෝගියාගේ DNA වලට බලපෑම් ද ඇති කළ හැකිය. තවද, DNA මත පදනම් වූ එන්නත් ලබා දීම සඳහා සාම්ප්‍රදායික නොවන ක්‍රම අවශ්‍ය වන අතර, DNA සෛලයට ඇතුල් කළ පසු, DNA ක්‍රියා කිරීමට සෛලයේ නිශ්චිත ස්ථානයකට ගමන් කළ යුතුය. මෙම අභියෝග ජයගතහොත්, DNA මත පදනම් වූ වැක්සීන එන්නත් ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා, ග්ලියෝබ්ලාස්ටෝමා සහ වෙනත් විවිධ ඝන පිළිකාවලට එරෙහිව සායනික ප්‍රතිකාර කිරීමට නොදුරු අනාගතයේ හැකිවනු ඇත.

වෛරස් සහ බැක්ටීරියා මත පදනම් වූ ප්‍රතිශක්තිකරණ උත්තේජක

පිළිකා වලට කෙලින්ම ප්‍රතිකාර කරන වැක්සීන එන්නතක් නොවූවත්, වෛරස් සහ බැක්ටීරියා මගින් ඇතිකල හැකි සහජ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය උත්තේජනය කිරීම මගින් පිළිකා ප්‍රතිකාරයක් ලෙස යොදා ගනී.

උදාහරණයක් ලෙස, බැසිලස් කැල්මෙට්-ගුරින් ( Bacillus Calmette-Guérin / BCG වැක්සීනය) බැක්ටීරියාව, මුලින් ක්ෂය රෝගය වැළැක්වීමේ එන්නතක් ලෙස නිශ්පාදනය කරන ලද නමුත් වර්තමානයේ මුත්‍රාශයේ ඇතිවන පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා වේ. BCG වැක්සීනය රෝගියෙකුගේ මුත්‍රාශයට ලබා දුන් විට, එය පිළිකා සෛල විනාශ කිරීමට උපකාරී වන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඉන්ද්‍රිය තුළ ඇති කරයි. තවද, පර්යේෂකයන් විසින් නවීකරණය කරන ලද වෛරස් භාවිතා කර පිළිකා සෛල ආසාදනය කර මරා දමන අතර, එවිට ඇන්ටිජෙන් මුදාහැරීම නිසා ප්‍රතිශක්තිකරණය තව තවත් උත්තේජනය වේ. නමුත් 100% පිළිකාව විනාශ කිරීමට අසමත් වී ඇති අතර මෙලනෝමා පිළිකා වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි.

තවකෙනෙකුට Share කරන්න:
සෞඛ්ය ආරක්ෂණය : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්