සංකීර්ණ කරුණු සරල බසින්

රොටා වෛරස (Rotavirus) රෝගය නිසා ළමුන්ගේ දරුණු වමනය සහ පාචනය.
සෞඛ්ය ආරක්ෂණය

රොටා වෛරස (Rotavirus) රෝගය නිසා ළමුන්ගේ දරුණු වමනය සහ පාචනය.

රොටාවෛරසය (Rotavirus) සහ නොරෝවෛරසය (Norovirus) හේතුවෙන් ශීත රටවල ප්‍රධාන වශයෙන් ශීත ඍතුවේ දී ඇති වන බෝවන රෝගයක් වන අතර රෝගීන් මෑතකදී සිට වෙනත් රටවලද වැඩි වෙමින් පවතී. විශේෂයෙන් මෙම රෝගය බෝවන්නේ ළදරුවන් (වයස මාස 0-12 ), කුඩා දරුවන් (වයස අවුරුදු 1-3) සහ ළමුන්ටය (වයස අවුරුදු 4-13). රෝගය ඉතා භයානක නොවූවත්, දරුණු විජලනය, මරණයට හේතු විය හැක. නිසි පරිදි ප්‍රතිකාර කිරීම මගින් රෝගය අසාධ්‍ය තත්වයට පත්වීම වළක්වා ගත හැකි නමුත්, රෝග ලක්ෂණ වන උණ, පාචනය සහ වමනය අසාමාන්‍ය ලෙස ඉතා උග්‍ර වන අතර දෙමාපියන් ලෙස ඔබ ඉතාමත්ම බියට පත්වනු ඇත.

රොටාවෛරසය සහ නොරෝවෛරසය යන දෙකම ප්‍රධාන වශයෙන් විදේශ රටවල පැතිරෙන්නේ නොවැම්බර් සිට මාර්තු දක්වා සීතල කාලගුණය තුළ ය. ශ්‍රී ලංකාවේ දෙසැම්බර් - ජනවාරි කාලය තුල පැතිරිය හැකි අවදානම් කාලයකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ශීත කලාප වන නුවර‍එළිය, බදුල්ල බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ අවදානම් විය හැකිය. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ට වඩා වැඩි ප්‍රදේශවල වෛරසය පැතිරීමෙ අවදානම ඉතාම අඩුය. වෛරස වලට ජාති බේද, ආගම්භේද, දේශසීමා නොමැත. විදේශිකයින් මගින් මෙරටට නොයෙකුත් ආසාදන රෝග පැමිනෙන අතර, මෙරටින් නොයෙකුත් ආසාදන රෝග ඔවුන් රැගෙන යයි. කලින් සඳහන් කල පරිදි, රොටාවෛරසය සහ නොරෝවෛරසය ශීත රටවල ළමුන් අතර පැතිරෙන රෝගයකි.

රොටා වෛරසය සහ නොරො වෛරසය පැතිරීම සහ රෝග ලක්ෂණ.

ප්‍රධාන වශයෙන් රොටා වෛරසය සහ නොරො වෛරසය ආසාදිත ළමුන් ඇති ගෘහස්ථ ක්‍රීඩා පරිශ්‍රය, සෙල්ලම් බඩු වැනි දූෂිත ද්‍රව්‍ය (කෙල, වමනය, මලපහ), දූෂිත ආහාර සහ ජලය හරහා පහසුවෙන් සම්ප්‍රේෂණය වන අතර, ප්‍රධාන වශයෙන් දූෂිත ආහාර සහ ජලය හරහා පැතිරෙයි. රොටාවෛරසය පැතිර ගියහොත් බොහෝ විට අලුත උපන් බිළිඳුන්ගේ කාමර, පශ්චාත් ප්‍රසව සත්කාර මධ්‍යස්ථාන සහ ලමුන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි ස්ථානවල ළදරුවන් සහ කුඩා දරුවන්ගේ කණ්ඩායම් වලට සීඝ්‍රයෙන් ආසාදනය වේ. දූෂිත උනුසුම් නොවන ආහාර නිසි ලෙස පිරිසිදු (ජීවානුහරණය) නොකළහොත් රොටාවෛරස, නොරොවෛරස ආසාදන ඇති විය හැක. මෙම ආසාදන වළක්වා ගැනීම සඳහා, අවම වශයෙන් තත්පර 30 ක් පමන ගලන ජලය සමග සබන් යොදා අත් සේදීම, හොඳින් පිසූ ආහාර පරිභෝජනය කිරීම සහ රෝගීන් භාවිතා කරන අවකාශයන් සහ උපකරන නිසි ලෙස විෂබීජහරණය (sanitization / ජීවානුහරණය) කිරීම ඉතා වැදගත් වේ. එපමනක් නොව, කුඩා ආසාදිත දරුවන් නිරෝගී ළදරුවන්ගේ දෑත් ඇල්ලීම, හාදු දීම, පෝෂණ උපකරණ ඇල්ලීම, සෙල්ලම් බඩු ඇල්ලීම හරහා ළදරුවන් ආසාදනය වෙයි. ආසාදිත පුද්ගලයාගේ කැස්ස හෝ කිවිසුම් යාම හේතුවෙන් වාතය හරහාද බෝවිය හැක.

සියළුම ආසාදන රෝගවලට ඉන්කුබේශන් කාල පරිච්ඡේදයක් ඇත. ඉන්කුබේශන් (බීජෞෂණ කාලය) කාල පරිච්ඡේදය යනු වයිරසයක්, බැක්ටීරියාවක්, දිලීරයක් හෝ වෙනත් ක්ශුද්‍රජීවියෙක් ආසාදනය වූ මොහොතේ සිට ප්‍රථම රෝගලක්ෂණ මතුවීමට, එනම්, රෝගය ඇතිවීම දක්වා වූ කාලයයි. මෙම වෛරස් රෝගයේදී, නොරෝ වයිරසය පැය 12–48 (පැය 12 – දින 2) ක තරම් කෙටි ඉන්කුබේශන් කාල පරිච්ඡේදයක් ඇති අතර, රොටා වයිරසයට පැය 24–දින 5 ක ඉන්කුබේශන් කාල පරිච්ඡේදයක් ඇත. එම වෛරස ආමාශය ඇතුලු සම්පූර්ණ ආහාර මාර්ගයම ආසාදනය කරයි. පසුව ආහාර මාර්ගයේ අපිච්ඡද පටලය විනාශ වීම නිසා ආමාශ - ආන්ත්‍ර (gastroenteritis) ප්‍රදාහය ඇතිවේ. එවිට බඩේ වේදනාව, ආසාදනය නිසා අධික උණ ඇතිවන අතර ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉක්මනින් වර්ධනය වේ. එමෙන්ම හිස රදය, බඩේ වේදනාව, වමනය සහ පාචනය රෝග ලක්ෂණ ඇති වේ. රෝගයෙන් සුව වීම සඳහා දින 5-7 ක් ගත වේ. එම කාලය තුල, රෝගියාගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය විසින් වෛරස වලට පහර දී, වයිරසය මැඩපවත්වයි. ඉක්මනින් ආහාරමාර්ගයේ අපිච්ඡද (ආවරනය) පටල අලුත්වැඩියා වන අතර වෛරස ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී යයි. එවිට, රෝගියා සුවය ලබයි.

නිවසේදී රෝග ලක්ෂණ කළමනාකරණය කල හැකි අයුරු.

නිවසේදී විජලනයෙන් ආරක්ෂා වීමට හොඳම ක්‍රමය වන්නේ, රොගීන්ට අවශ්‍යය තරම් දියර වර්ග පානය කිරීමට දීමයි. ඒ සඳහා යෝග්‍යය වන්නේ උණුකර නිවාගත් ජලය, ජීවානී, තැම්බිලි වතුර, සව් කැඳ, සාමාන්‍ය සේලයින් (NS) පානය කිරීම, ඩෙක්ස්ට්‍රෝස් (D5) පානය කිරීම. රෝගී ළමුන් ආහාර අනුභව කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර කෑමට යෝගට්, රසකාරක සහ ලවණ නොමැතිව සකසා ගත් ක්ෂණික නූඩ්ල්ස්, දියාරු කිරිබත්, සව් කැඳ ආදිය ලබාදිය හැකිය. කෑම වලට මිරිස්, ගම්මිරිස් සහ තුනපහ මිශ්‍ර කිරීමෙන් වැළකී සිටින්න. පළතුරු ලෙස ගස්ලබු, මිදි, ඇපල් බ්ලෙන්ඩර් කර කෑමට දෙන්න. අධික සීනි සාන්ද්‍රණයක් ඇති කර්මාන්තශාලා වල නිෂ්පාදිත දියර සහ සාන්ද්‍රණයෙන් වැඩි පලතුරු යුෂ පානය සඳහා රොගීන්ට දීමෙන් වලකින්න. නිවසේදී උණ සහ හිසරදය සඳහා පැරසෙටමෝල් පමණක් ලබාදෙන්න. නිවසේදී, උණ නැතිකරන අනෙකුත් ඖෂධ (antipyretic) පෙති රොටා වෛරස හෝ නොරො වෛරස ඇති රෝගීන්ට ලබාදීමෙන් වැලකී සිටින්න.

රොටා වෛරසය සහ නොරො වෛරසය රෝගයට වෛද්‍යවරු ප්‍රතිකාර කරන අයුරු.

රොටා වෛරස් රෝග නිර්ණය කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ, රෝගියාගේ මළපහ (මල) පරීක්ෂණයක් සිදුකිරීම මගින් වන අතර රොටා වෛරස් ප්‍රතිදේහජනක (ප්‍රෝටීන/පෙප්ටයිඩ) හෝ රොටා වෛරසයට අදාල ජාන හඳුනා ගැනීම මගිනි. මෙම පරීක්ෂණ ඉතා නිශ්චිත සහ ඉක්මන් වන අතර, උග්‍ර පාචනයට හේතුව හඳුනා ගැනීමට සහ අනවශ්‍ය ප්‍රතිජීවක භාවිතය වැළැක්වීමට ඉඩ සලසයි.

ඒ සඳහා ප්‍රධාන වශයෙන් පරීක්ෂණ ක්‍රම කිහිපයක් භාවිතා කරනු ලැබේ.

  1. ප්‍රතිදේහජනක-ප්‍රතිදේහ රසායනික වර්ණය හදුනා ගැනීමේ පරීක්ෂණ පටි (immunochromatographic test strips) - මෙය සංවේදීතාවය අඩු ක්‍රමයක් වන නමුත් ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන වඩාත් පොදු, සරල ක්‍රමයකි.
  2. රොටා වෛරසය / නොරෝවෛරසය හඳුනා ගැනීම සඳහා වූ ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය (EIA test / Enzyme Immunoassay): මෙය තවත් පොදු, සරල ක්‍රමයක් වන අතර මේ සඳහා, වයිරසයට අදාල ප්‍රතිදේහ පරීක්ෂක ප්‍රතික්‍රීයක පටි (test strip/dipstick) භාවිතා කරනු ලැබේ. මෙම ඩිප්ස්ටික් හෝ ප්ලාස්ටික් බහලුමයක්තුල (කැසට්) පරීක්ෂණ ප්‍රතික්‍රීයක මගින් මළ සාම්පලයක රොටාවෛරස් ප්‍රෝටීන හඳුනාගෙන විනාඩි 10 - 15 කාලය තුළ ප්‍රතිඵල ලබා දේ. වයිරසයට අදාල විශේෂ පෙප්ටයිඩ (ප්‍රෝටීන) සමග එන්සයිම ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන වර්ණ වෙනසක් පරීක්ෂණය මගින් මනිනු ලැබේ. පරීක්ෂණය "පොසිටිව්" නම් වැළඳී ඇත්තේ රොටා වයිරස රෝගයයි. එපමනක් නොව එම පරීක්ෂණ පටි මගින් වෛරස කිහිපයක් සඳහා එකවර පරීක්ෂා කරනු ලැබේ. මෙම ක්‍රමය මගින් රෝගය වැළඳී දින 1-4 කට පසුව 94% ක නිරවද්‍යතාවයක් සහ රෝගය වැළඳී දින 4-8 කට පසුව 76% ක නිරවද්‍යතාවයක් සහිතව රොටාවෛරසය අනාවරණය වේ.
  3. RT-PCR (Reverse-Transcriptase Polymerase Reaction) යනු ප්‍රතිලෝම ට්‍රාන්ස්ක්‍රිප්ටේස් පොලිමරේස් දාම ප්‍රතික්‍රියාවයි. එය ඉතා සංවේදී ක්‍රමයක් වන අතර එය ELISA හා සසඳන විට රෝටාවෛරස් ප්‍රභේද වල ජාන වර්ගීකරණය සහ දිගුකාලීන වෛරස් පැවතීම (වයිරස් කුඩා ප්‍රමාණයක් පවා) හඳුනාගැනීමට ඉඩ සලසයි. මළපහ තුළ ඇති වෛරස් RNA ප්‍රමාණය, රෝගී ළමුන් තුළ රොටාවෛරස් පාචනයේ බරපතලකමට සෘජුවම සම්බන්ධ අතර එහි ප්‍රතිඵල රෝග නිර්ණය (Diagnosis) සදහා ඉතා වදගත් වේ.
  4. රොටා වෛරසය / නොරෝවෛරසය හඳුනා ගැනීම සඳහා වූ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව ( Polymerase Chain Reaction Test / PCR Test): මෙම පරීක්ෂණය මගින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය එනම්, RNA හඳුනා ගනී. දාම ප්‍රතික්‍රියාව ඉතා සංවේදී වන අතර එකවර රෝග කාරක රොටාවෛරස ප්‍රභේද කිහිපයක් සඳහා පරීක්ෂා කළ හැකිය. මෙම පරීක්ෂණය විශේෂිත රසායනාගාර තුල සිදුකරන අතර පරීක්ෂණය සඳහා විනාඩි 60 - 90 ක පමන කාලයක් ගතවේ. පරීක්ෂණය "පොසිටිව්" නම් වැළඳී ඇත්තේ රොටා වයිරස රෝගයයි.

රොටා වෛරස සහ නොරෝ වෛරස රෝගයට ප්‍රතිකාර කිරීම. සඳහා විශේෂ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ඖෂධ නොමැති අතර වෛද්‍යවරු රොටා වෛරස රෝගය වළක්වා ගැනීම සඳහා වැක්සීන භාවිතා කරයි. බැක්ටීරියා ආසාදන රෝගියෙක් මෙන් නොව, රොටාවෛරස රෝගයෙන් ඇතිවන පාචනය සහ වමනය ඉතා උග්‍ර වන අතර, උණ සහ විජලනය පාලනය කිරීම මගින් රෝගයට ප්‍රතිකාර කරයි. එබැවින් වෛරස රෝග දෙකම (රොටාවෛරස සහ නොරෝවෛරස) ප්‍රතිකාර ලෙස රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට සීමා වේ. බොහෝ රෝගීන් සුවය ලබයි, නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී, දරුණු විජලනය, මරණයට හේතු විය හැක.

රොටාවෛරස් රෝගය වළක්වා ගැනීම සඳහා වැක්සීන කිහීපයක් ඇත. එවා අතර:

  1. රොටාටෙක් (RotaTeq / RV5) වැක්සීනය මාත්‍රා තුනකට ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 2 දීත්, දෙවන මාත්‍රාව වයස මාස 4 දීත්, තුන්වන මාත්‍රාව මාස 6 දීත් මුඛයෙන් බිංදු ලෙස ලබා දෙනු ලැබේ. මෙම වැක්සීනය නිශ්පාදනය කර ඇත්තේ ඇමෙරිකානු සමාගමක් වන Merck & Co., Inc. (MSD) විසිනි. එය, වැක්සීනය තුල දුර්වල කරනලද රෝටාවෛරස් ජීවී වෛරස, ජාන ආකාර (strains) වර්ග පහක් වන G1, G2, G3, G4, සහ P1A අඩංගු වේ.

    එම දුර්වල කරනලද ජීවී වෛරස ශරීරයට ලබාදුන් විට, ශරීරයේ ප්‍රතිශක්තීකරන පද්ධතිය මගින් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවන අතර එය ප්‍රතිශක්තිකරන පද්ධතියේ මතකය තුල ගබඩා වී, රෝටා වෛරසය ආසාදනය වීමක් සිදු වුවහොත් වහාම ඊට විරුද්දව ක්‍රියා කරයි. වැක්සීනය ලබා නොදුන් පුද්ගලයෙකුගේ ශරීරයට රොටාවෛරසය ආසාදනය වූ විට ප්‍රතිශක්තීකරන පද්ධතිය මගින් එය හඳුනාගෙන ප්‍රතිදේහ නිපදවීමට දින 5-7ක් පමන කාලයක් ගත වේ. එම නිසා රෝගය වැළඳී දින 5-7 කින් සුවය ලබයි.

  2. රොටාරික්ස් (Rotarix / RV1) වැක්සීනය මාත්‍රා දෙකකට ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 2 දීත්, දෙවන මාත්‍රාව වයස මාස 4 දීත් මුඛයෙන් බිංදු ලෙස ලබා දෙනු ලැබේ. මෙම වැක්සීනය රෝටාවෛරස් ජීවී වෛරස, ජාන ආකාර (strains) වර්ග පහක් වන G1P(RIX4414), G2, G3, G4, සහ G9 අඩංගු වේ. වැක්සීන ලබා දෙන්නේ ළදරුවාගේ මුඛයට බිංදු දැමීමෙනි. මෙම වැක්සීනය නිශ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය බහුජාතික ඖෂධ සහ ජෛව තාක්‍ෂණ සමාගමක් වන GlaxoSmithKline (GSK) විසිනි.
  3. රෝටා-වී-එයිඩ් (Rota-V-Aid) වැක්සීනය මාත්‍රා දෙකකට ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 2 දීත්, දෙවන මාත්‍රාව වයස මාස 4 දීත් මුඛයෙන් බිංදු ලෙස ලබා දෙනු ලැබේ. මෙම වැක්සීනය නිශ්පාදනය කර ඇත්තේ රුසියානු සමාගමක් විසින් වන නමුත්, ලෝකයේ දේශපාලන හේතූන් මත, Serum Institute of India Pvt. Ltd සඳහා නිකුත් කරන ලද බලපත්‍රය යටතේ නිෂ්පාදනය කර ඇත. මෙම ඉන්දීය සමාගම ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයින් ගෙන් එක් ආයතනයකි. මෙම ආයතනය වසර ගණනාවක් තිස්සේ ලොව පුරා රටවල් 170 ක පමණ හොඳ ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. මෙම එන්නත WHO නියාමන නීති රීති වලට අනුකූල වේ.

රෝගය පසුපස ඇති ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව සාරාංශයක් ලෙස

මෙම වෛයිරසය රෝටා වයිරසය "Rotavirus" ලෙස නම් කර ඇත්තේ ප්‍රථමයෙන් එය හඳුනා ගැනීමේදී ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂය මගින් ලබා ගත් ඡායාරුප වල, එය රෝද (වලලු) ලෙස දිස්වූ අතර ලතින් භාෂාවෙන් රෝදය ("rota") යන අර්ථය ලබාදෙමින් එය රෝටා වයිරසය "Rotavirus" ලෙස නම් කරන ලදි. මෙම වෛයිරසයේ ජෙනෝමය (ජාන කට්ටලය), කැප්සිඩ් (ප්‍රෝටීනමය වෛරස් කවච) තුනකින් වට වූ ද්විත්ව පට සහිත RNA කොටස් 11 කින් සමන්විත වේ. මෙම RNA කොටස් තුල අඩංගු ජාන මගින් වයිරසයේ ව්‍යුහයට අදාළ (ව්‍යුහයමය) ප්‍රෝටීන හයක් (VP1 — VP7) සංකේතනය වී දත්ත ගබඩාවී ඇති අතර, වයිරසයේ ව්‍යුහයට අදාළ නොවන තවත් ප්‍රෝටීන හයක (NSP1 — NSP6) දත්ත ද ගබඩාවී ඇත.

රෝටා වයිරසය, Reoviridae නම් විශාල වයිරස් පව්ලේ (virus family), Sedoreoviridae (virus subfamily) නම් වයිරස් පව්ලේ Rotavirus කුලයට (Genus) අයත් සාමාජිකයෙකි. රෝටා වයිරස විශේෂ (Species) RVA ,RVB, RVC....RVJ ලෙස දැක්විය හැකිය. නෝරා වයිරසය, Caliciviridae නම් වයිරස් පව්ලේ, Norovirus කුලයට (Genus) අයත් සාමාජිකයෙකි.

පරිණත වෛරස් අංශුවේ ව්‍යුහාත්මක ප්‍රෝටීන මගින් ධාරක සෛලයේ විශේෂත්වය එනම් කුමන පුද්ගලයින්ට සහ කුමන අවයව වලට ආසාදනය වේ ද? යන්න තීරනය වන අතර, වෛරසයට සෛලය තුලට ඇතුලුවීමට ඇති හැකියාව සහ සෛලය තුලට ඇතුලු වූ පසු, දරු වෛරස් නිපදවීමට එහි එන්සයිම ක්‍රියාකාරිත්වය තීරණය වේ. එමෙන්ම, රොටාවෛරසයේ ව්‍යුහාත්මක ලක්ෂණ නිසා එය පාරිසරික සාධක සහ විෂබීජ නාශක වලට බෙහෙවින් ප්‍රතිරෝධීතාවයක් දක්වන, නමුත්, වෛරසය සෙල්සියස් අංශක 90 C0 < ට වඩා රත් කිරීමෙන් ඉක්මනින් විනාශ වේ.

එපමනක් නොව වයිරසයේ බාහිරයේ ඇති එපිටොප් (Epitope) ලෙස හඳුන්වන මෙම ප්‍රෝටීන ප්‍රතිදේහජනක (antigen) ලෙස ක්‍රියා කර, එය මිනිසාගේ ප්‍රතිශක්තිකරන පද්දතිය මගින් හඳුනා ගෙන ඊට විරුද්දව ප්‍රතිදේහ නිපදවා ඒවා විනාශ කරයි. වෛයිරස් ජෙනෝමයේ (ජානවල) ගබඩා වී ඇති දත්ත අනුව ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීන (NSP1 — NSP6) මගින් ජෙනෝමය ප්‍රතිනිර්මාණයට (RNA ප්‍රතිවලිත වීමට), එනම් වෛරස් RNA සංස්ලේෂණයට ආධාර කරයි (එන්සයිම). මේ වනවිට විවිධ රොටාවෛරස් වර්ග දහයක් ඇත. ඒවා Rotavirus A සිට Rotavirus J දක්වා වූ අක්‍ෂර මගින් වර්ගීකරණය කර ඇත. අභ්‍යන්තර කැප්සිඩයේ (VP6 ප්‍රෝටීන ස්ථරයේ) ප්‍රධාන සංරචකයේ ප්‍රතිදේහජනක වල වෙනස්කම් අනුව මෙම වයිරස වර්ගීකරණය (විශේෂ) කර ඇත.

ඒ අතර ළමුන් වඩාත් ආසාදනයට ලක්වන්නේ රොටාවෛරස් - A (Rotavirus-A) ය. මෙම රොටාවෛරසය - A, බාහිර කැප්සිඩ් ප්‍රෝටීන වන VP7 සහ VP4 කේතනය වී ඇති RNA පටයේ ජාන අනුපිළිවෙලෙහි වෙනස්කම් මත පදනම්ව තවත් ප්‍රභේද (ප්‍රවේණික ප්‍රභේද / genotypes) කිහිපයකට වර්ගීකරණය කර ඇත.

මේ වනවිට මිනිසාට වැළදෙන, රොටාවෛරසය - A බාහිර කැප්සිඩ් ප්‍රෝටීන වන VP7 ප්‍රතිදේහජනක (antigen) 12ක් හඳුනාගෙන ඇති අතර ඒවා "G" (Rotavirus-G නොවේ) වර්ගයයට අයත් වේ. එමෙන්ම, බාහිර කැප්සිඩ් ප්‍රෝටීන වන VP4 ප්‍රතිදේහජනක (antigen) 15 ක් ඇති අතර ඒවා "P" වර්ගය ලෙස සැලකේ. මේ වනවිට මිනිසාට වැළදෙන රොටාවෛරස් ආසාදනවලින් 90% ක් පමණ G-P වර්ග පහක සංයෝජනයක් නිසා ඇතිවේ. රොටාවෛරස් රෝගය වළක්වා ගැනීම සඳහා වැක්සීන ගන්නා විට, මෙම ප්‍රවේණික ප්‍රභේද කිහිපයක් එහි අඩංගු වේ. උදාහරනයක් ලෙස, රොටාටෙක් (RotaTeq) වැක්සීනය G1, G2, G3, G4, සහ P1A ජාන "ප්‍රවේණික වෛරස ප්‍රභේද" ආකාර (strains) වර්ග පහක් අඩංගු වේ.

වසංගතවේදය සහ ආසාදන ප්‍රභවය

ශීත රටවල වයස අවුරුදු 5 ට අඩු සෑම දරුවෙකුටම පාහේ රොටාවෛරස් ආසාදනය එක් වරක් හෝ වැළඳී ඇත. සාමාන්‍යයෙන් රොටාවෛරසය පළමු ආසාදනය වයස මාස 6-9 දී සිදු වේ. පළමු රෝග ලක්ෂණ මතු වූ මොහොතේ සිට එම රෝගියා මගින් වෙනත් අයට බෝ වීම සිදු වේ. රෝගය දින 5-7 ක් පමන පැවතීමෙන් පසුව සුවය ලබයි. මෙම රෝගය රොටාවෛරස් රෝග වාහකයෙකු (රෝග ලක්ෂණ නොමැති) මගින් ද, වෙනත් අයට බෝ විය හැකිය. රොටාවෛරස් ආසාදනය, වාතය හරහා ස්වසන මාර්ගය ආසාදනය වුවද පසුව ආහාර මාර්ගයට ඇතුලු වේ.

මෙම වයිරසයේ ආසාදනය ප්‍රධාන වශයෙන් මුඛ මාර්ගය හරහා සම්ප්‍රේෂණය වේ, එනම් ආහාර ජීර්ණ පද්ධතිය ආසාදනය වන අතර
මෙම යාන්ත්‍රණය ආකාර තුනකින් සිදු වේ:

  1. වෛරසයෙන් දූෂිත වූ ජලය මගින්.
  2. ගෘහස්ථ සම්බන්ධතා (වෛරසයෙන් දූෂිත වූ දෑත් සහ ගෘහ භාණ්ඩ හරහා).
  3. වෛරසයෙන් දූෂිත වූ ආහාර (කිරි, කිරි නිෂ්පාදන සහ මව්කිරි ආදේශක හරහා).

රෝටාවයිරස් ආසාදනයකින් පසු රෝගයෙන් සුව වූ පුද්ගලයෙකු, නව ප්‍රභේදයක් හේතුවෙන් නැවත රෝගාතුර විය හැකිය. කෙසේ වෙතත්, නැවත නැවත ආසාදන සමඟ, රෝගයේ අවදානම් තත්වය අඩු වී, රෝග කාල පරිච්ඡේද මෘදු (mild) ලෙස පවතින අතර ඉක්මනින් සුවය ලබයි.

රෝග ලක්ෂණ

රෝටාවයිරසය ආසාදනය වී රෝගය වැළඳී ප්‍රථම රෝගලක්ෂන ඇතිවීමට ගතවන කාලය (Incubation period) පැය 12 සිට දින 5ක් දක්වා විය හැකිය. ප්‍රධාන රෝගලක්ෂන වන වමනය, උණ සහ දිගු කාලයක් පවතින දියරමය පාචනය ඇති වේ. රෝගයේ මුල් අවදියේ කෙටි කාලීන, මධ්‍යස්ථ කැටරල් සින්ඩ්‍රෝමය (moderate catarrhal syndrome / inflammatory response in the mucous membranes of the upper respiratory tract) නිරීක්ෂණය කළ හැකිය, එනම් නාසයේ තදබදය, නාසයෙන් දියර ගැලීම සහ කැස්ස, මෙන්ම උණ දින 2-4 ක් පවතින අතර උදාසීනත්වය, දුර්වලතාවය සහ ආහාර රුචිය නැතිවීම නිරීක්ෂණය කළ හැකිය.

රොටාවෛරස් ආමාශ ආන්ත්‍රයිටිස් රෝගයේදී උදර වේදනාව ද රෝගලක්ෂන ලෙස දැකිය හැකිය. ඉහළ උදරයේ වේදනාව ඇතිවිය හැකි අතර බඩ පිපීම, වායුව පිටවීම සහ බඩේ ඝෝෂා කාරී තත්වය බොහෝ විට දක්නට ලැබේ. රෝගයේ පළමු පැය 24 තුළ වමනය ද වර්ධනය වේ. වමනය යාම නැවත නැවත සිදුවන අතර දින 2-3 දක්වා පවතී. ඊට අම්තරව පාචනය ඇතිවිය හැකි අතර ආමාශ ආන්ත්‍රික ප්‍රදාහය නිසා ආමාශ ආන්ත්‍රික ක්‍රියාකාරීත්වය අසාමාන්‍යය වන අතර ආමාශයේ සහ බඩවැල්වල ශ්ලේෂ්මල පටලයේ ප්‍රදාහය නිසා එය විනාශ වීමට ලක් වේ. මළපහ විශාල ප්‍රමාණයක් පිටවීම සමඟ එය දෘශ්‍යමාන ව්යාධිජනක අපද්‍රව්‍ය නොමැතිව ජලය සහිත, කහ පැහැති මළපහ ද්‍රවය පිටවීම සිදු වන අතර, දින දෙකේ සිට අට දක්වා කාලය තුල පවතින අතරම, ආසාදනයේ බරපතලකම අනුව, පාචනය දිනකට 3-20 වතාවක් දක්වා මලපහ පිටවීම සිදු වේ.

රොටාවෛරස් ආමාශ-ආන්ත්‍රයිටිස් (ආමාශ ආන්ත්‍රික ප්‍රදාහය / Gastroenteritis) ඇති රෝගීන්ගේ, රසායනාගාර පරීක්ෂණ මගින් රුධිර සෙරුමය (Blood serum) තුළ, පූර්ව-ප්‍රදාහ සයිටොකයින (pro-inflammatory cytokines) වන ඉන්ටර්ලියුකින්-6 (Interleukin-6 / IL-6) සහ ටූමර් විනාශකිරීමේ සාධකය (Tumor Necrosis Factor / TNF-alpha) ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කල හැකි වන අතරම, මේවා (Endogenous pyrogens) මගින් උණ ඇතිවීමේ ප්‍රතික්‍රියාව ඇති කරයි.

රොටාවෛරස් ආසාදනය වී රෝගය ඇතිවන අයුරු

රොටාවෛරස් ආහාරමාර්ගයට අතුලු වූ පසු ක්ෂුද්‍රාන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලයේ (අපිච්චද පටලයේ) සෛල තුලට එනම් එන්ටෙරෝසයිට (Enterocytes) සහ එන්ටෙරොඑන්ඩොක්‍රීන් සෛල (Enteroendocrine / Neuroendocrine cells) තුලට ඇතුලු වේ. එසේ ඇතුලු වන්නේ එම සෛල මතුපිට, වෛරසයට සම්භන්ද විය හැකි සංවේදක අණු පවතින නිසා, වෛරසය ඒ හා සම්භන්ද වී සෛලය තුලට එන්නත් වීම සිදු වේ. වෛරසයකට තනිව තම වර්ගයා බෝකිරීම කල නොහැක. එයට හේතුව වෛරසය ජීවී සහ අජීවී යන අතරමැද අවස්ථාවේ පවතින නිසයි. නමුත්, ජීවී ද්‍රවය වලින් සෑදී ඇති වෛරස, සාමාන්‍ය සෛලයකට වඩා දහස් ගුනයකින් පමන කුඩා අංශු වන අතර, නව වෛරස ගොඩනැගීම සඳහා අවශ්‍යය ප්‍රෝටීන සහ RNA තනිව නිශ්පාදනය කල නොහැක. එම නිසා ඒවාට තම වර්ගයා බෝකිරීමට අනිවාර්යෙන්ම ධාරක සෛලයක් (Host cell) අවශ්‍යය වේ. වෛරසයක් සෛලයක් තුලට ඇතුලු වූ විට වෛරසය විසින් සෛලයේ පාලනය තමා සතු කරගෙන, තමාට අවශ්‍යය වෛරස විශාල ප්‍රමානයක් සෑදීම සඳහා අවශ්‍යය කරන ප්‍රෝටීන සහ වෛරසයෙන් කොපි කරන ලද RNA පට සෛලය විසින් නිශ්පාදනය කරයි. සෛලය එසේ සිදු කරන්නේ වෛරසයේ වූ ජාන කට්ටලය (ජෙනෝමය) උපයෝගී කරගනිමිනි.

අලුතින් නිපදවන ලද වෛරස්, සෛල විසින් මුදා හරිනු ලබන්නේ ලිසිස් (Lysis / විසුරුවා හැරීම) ක්‍රමය එනම් ධාරක සෛලයේ ප්ලස්මා පටලය බිදවැටීමෙන් හෝ වෙසිකියුලර් ප්‍රවාහනය (සෛලය විසින් බුබුලු වල ඇසුරුම් කර ඇති වෛරස සෛල ප්ලාස්මා පටලය වෙත නිදහස් කිරීම) මගිනි. ළදරුවන්ගේ අන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලයේ වෛරස් ප්‍රතිනිර්මාණය වී නිදහස් වීම නිසා ක්ෂුද්‍රාන්ත්‍රයේ අංගුලිකා (විලී) කෙටි වීම මෙන්ම විනාශ වීම, පක්ශ්ම (ක්ෂුද්‍ර විලී) නැතිවීම හේතුවෙන් පෝෂක ද්‍රව්‍ය අවශෝෂනය (උරාගැනීම) අඩාල වේ. මෙම අවස්ථාවේදී රුධිරයේ (CBC / FBC) ලිම්ෆොසයිට (Lymphocytes) සහ මොනොසයිට (Monocytes) ඉහලයාමක් දක්නට ලැබේ.

රොටාවෛරසය ක්ෂුද්‍රාන්ත්‍රයේ සෛල වලට එනම් එන්ටෙරෝසයිට මතුපිට පෘෂ්ඨයට සම්බන්ධ වන්නේ වෛරසයේ බාහිර කැප්සිඩ් ප්‍රෝටීනය වන VP4 සහ ක්ෂුද්‍රාන්ත්‍රයේ සෛල මතුපිට බන්ධන හවුල්කරු අණු වන ගැන්ග්ලියෝසයිඩ් GM1, GD1a සහ හිස්ටොබ්ලඩ් කාණ්ඩයේ ප්‍රතිදේහජනක (Histo-Blood Group Antigen / HBGA) මගින් සිදු වේ. රොටාවෛරසය සහ HBGA අතර අන්තර්ක්‍රියාව රොටාවෛරස ප්‍රවේණි වර්ගය (genotype) මත රඳා පවතී.

HBGA රතු රුධිරානු සෛල මතුපිට සහ ශ්ලේෂ්මල පටලවල (අන්ත්‍රයේ, ශ්වසන මාර්ගයේ) සෛල මතුපිට ඇති සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් අනු (Antigen) වර්ගයකි. ඒවා සමග අන්තර්ක්‍රියා කිරීම මගින් සමහර රෝටාවෛරස සහ නෝරොවෛරස ප්‍රභේද සෛල තුලට ඇතුල් වේ.

රොටාවෛරස් පාචනය ඇතිවීමට යාන්ත්‍රණ දෙකක් බලපායි.

  1. ඔස්මොටික් (Osmotic) යාන්ත්‍රණය - එන්ටරොසයිට් වලට හානි වීම නිසා ක්ෂුද්‍රාන්ත්‍රයේ අපිච්ඡද පටලය මගින් අවශෝෂණ ක්‍රියාකාරිත්වය අඩාල වීමත්, කුඩා අන්ත්‍රයේ ප්‍රදාහය (Inflammation) ක්‍රියාවලිය නිසා, ශ්ලේෂ්මලයෙන් ඩයිසැකරයිඩේස් එන්සයිමය නිපදවීම අඩාලවීම හේතුවෙන් ජීර්ණය නොකළ සීනි මහා අන්ත්‍රයට අතුලු වීමත්, සෝඩියම් අයන සහ ජලය කුඩා අන්ත්‍රයේ සිට මුදා හැරීමත්, ජීර්ණය නොකළ ඔස්මොටික් ක්‍රියාකාරී (ජලය රඳවාගන්නා) ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මහා අන්ත්‍රයට ඇතුළු වන අතර ඒවා මහා අන්ත්‍රය විසින් අවශෝෂණය කරගත නොහැකි වීමත් නිසා ඔස්මොටික් පාචනය ඇති වේ.
  2. ආන්ත්‍රික ස්නායු සක්‍රීය වීමේ යාන්ත්‍රණය - වෛරසයේ ඇති ව්‍යුහමය නොවන ප්‍රෝටීනයක් වන NSP4 (රොටාවෛරස් RNA දත්ත මගින් සෛලය තුල බිහිවන ප්‍රෝටීනයක්) ශරීරයට ඉතා අහිතකර ප්‍රෝටීනයක් වන අතර එය වේගස් ස්නායුව (vagus nerve) සක්‍රීය වීම හා එය මොළයේ වමනය පාලක මධ්‍යස්ථානය (vomiting center) උත්තේජනය කර එමඟින් උග්‍ර ඔක්කාරය හා වමනය ඇති වේ. තවද, රොටාවෛරස් ආසාදනය නිසා ආමාශයේ ඇති ආහාර හිස් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන්, එය ද ඔක්කාරය හා වමනය ඇති කරයි. එයට හේතුව වන්නේ, ආමාශ-ආන්ත්‍රික හෝමෝන [ක්‍ෂුද්‍රාන්ත්‍රය විසින් සීක්‍රටින් (Secretin), ආමාශය විසින් ගැස්ට්‍රින් (gastrin), අග්න්‍යාසය විසින් ග්ලූකොගන් (glucagon) සහ ක්‍ෂුද්‍රාන්ත්‍රය විසින් කොලෙස්ටිස්ටොකිනින් (cholecystokinin)] නිෂ්පාදනය වැඩි වීම, මෙන්ම පැරසයිම්පතටික් (Parasympathetic neurons) නියුරෝන සම්බන්ධ ස්නායු මාර්ග එනම් ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය ද සක්‍රීය වීම නිසා සිදු වේ.

රොටාවෛරස් ආසාදන රෝගය වර්ගීකරණය සහ වර්ධනයේ අවධීන්

රොටාවෛරස් රෝගය බරපතලකම අනුව සහ සායනික ස්වරූපය අනුව වර්ගීකරණය කල හැකිය.

රොටාවෛරස් රෝගය බරපතලකම මට්ටම් තුනක් වෙන්කර හඳුනාගත හැකිය:

  1. බරපතල නොවන (Mild)
  2. මධ්‍යස්ථ බරපතල (Moderate)
  3. දරුණු බරපතල (Severe)
,

රෝගයේ බරපතලකම තීරණය වන්නේ වමනය, පාචනය වාර ගනන අනුව සහ විජලනය (dehydration) වීමේ සින්ඩ්‍රෝමය වර්ධනය වීම අනුව ය. බරපතල නොවන (Mild) අවස්ථාවන්හිදී, විජලනය වීමේ කිසිදු සලකුනක් දක්නට නොලැබේ. මධ්‍යස්ථ බරපතල (Moderate) අවස්ථාවන්හිදී, විජලනය (1-2 මට්ටම දක්වා වර්දනය වේ) නිරීක්ෂණය කෙරේ. එමෙන්ම, ක්ලාන්ත වීම, පිපාසය, විවේකීව සිටින විට හදවත අසාමාන්‍ය ලෙස වේගයෙන් ස්පන්දනය වීම (තාහිකර්ඩියා / Tachycardia), සුදුමැලි සම පමනක් නොව, රෝගයේ දරුණු බරපතල අවස්ථාව (Severe) "ශොක් තත්වය (Shock)" (අවයව වල ක්‍රියාවන් අඩාල කරමින් රුධිර පීඩනය ක්‍ෂණිකව පහල යාම) සායනික රෝගලක්ශන වේ. මෙහිදී ඇතිවන "ශොක්" තත්වය රුධිරයේ පරිමාව අඩුවීම නිසාඅ ඇතිවන, "හයිපොවොලෙමික් ශොක් (Hypovolemic shock)" ලෙස නම් කල හැකිය. එනම්, උග්‍ර වමනය, පාචනය සහ ඉලෙක්ට්‍රොලයිට (Electrolyte - Na+, K+, Ca2+, Mg2+, Cl- etc.) අසමතුලිත තාවය හේතුවෙන් ඇතිවන දැඩි විජලනය නිසා අසාමාන්‍ය ලෙස රුධිර පරිමාව අඩුවීම (Hypovolemic) හේතුවෙන් රුධිර පීඩනය පහත වැටීමයි. "Shock" නිසා එය සිංහලෙන් "කම්පනය" ලෙස හැදින්විය හැකි නමුත්, සිංහල භාශාවේ "කම්පනය" යන වචනය මේ සඳහා වඩාත් උචිත නොවන අතර වෙනත් වචනයක් නොමැත.

සායනිකව රොටාවෛරස් රෝගයේ ආකාර දෙකක් වෙන්කර හඳුනාගත හැකිය:
සාමාන්‍ය සහ අසාමාන්‍ය ලෙස එම ආකාර දෙක දැක්විය හැකිය.

සාමාන්‍ය රොටාවෛරස් ආසාදනය සාමාන්‍ය රෝග ලක්ෂණ ත්‍රිත්වයක් ඇත:
වමනය, පාචනය සහ උණ.

රෝගයේ අසාමාන්‍ය ස්වරූපය, තවත් වර්ග දෙකකට බෙදා වෙන්කල හැකිය:

  1. ගුප්ත රොගී තත්වය - රෝග ලක්ෂණ ලෙස වමනය හෝ පාචනය පමණක් නිරීක්ෂණය කළ හැකිය, උණ බොහෝ විට නොපවතී, රෝග ලක්ෂණ වල කාලසීමාව කෙටි කාලීන වන අතර එය දින 1-2 සීමා වී සුවය ලබයි.
  2. රෝග ලක්ෂණ නොමැති වීම - සායනික රෝග ලක්ෂණ නොමැති නමුත් මළපහ පරීක්ෂණයකදී (වෙනත් රෝගයක් සඳහා) වෛරසය අනාවරණය වේ. ආසාදිත වෛරස් පිටවීම දින 5 සිට 30 දක්වා පවතී. ඔවුන් මගින් රෝගය පැතිරීම සඳහා වැඩිපුර දායකත්වයක් දැරිය හැකිය.

රොටාවෛරස් ආසාදන රෝගයේ සංකූලතා

රෝගයේ සංකූලතා අතර විජලනය (විජලනය වීමේ සින්ඩ්‍රෝමය) ප්‍රධාන තැනක් ගනී. ද්විතියික බැක්ටීරිමියා ( Bacteremia / බැක්ටීරියා රුධිරයට ආසාදනය වීම) සහ කැන්ඩිඩෙමියා (Candidemia / දිලීර රුධිරයට ආසාදනය වීම), වලිප්පුව, අසෙප්ටික් මෙනින්ජයිටිස්, එන්සෙෆලයිටිස්, මයෝකාඩයිටිස්, බ්‍රොන්හො-නියුමෝනියාව, හෙපටයිටිස් සහ උග්‍ර වකුගඩු අකර්මණ්‍ය වීම (Acute Kidney Injury / AKI) ඇතිවිය හැකිය.

වඩාත් සුලභ සංකූලතාවයක් වන්නේ විජලනය වීමේ සින්ඩ්‍රෝමයයි. එය වමනය සහ පාචනය සමග ජලය සහ ඉලෙක්ට්‍රොලයිට අහිමි වීමෙන් වර්ධනය වේ. නිශ්චිත රෝගියෙකු සඳහා සුදුසු තරල ප්‍රතිස්ථාපන උපාය මාර්ගය තීරණය කිරීම සඳහා එහි බරපතලකම තීරණය කිරීම ඉතා වැදගත් වේ.

එනම්, නැති වූ තරල වර්ගය (බාහිර සෛලීය සහ/හෝ අන්තර් සෛලීය) සහ එහි පරිමාවයි. රොටාවෛරස් ආමාශ-ආන්ත්‍රයිටිස් ඇති ළමුන් තුළ, තරල නැතිවීම සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් පලමුවෙන් බාහිර සෛලීය අවකාශයෙන් සිදු වේ.

මෙම දත්ත මත පදනම්ව, විජලනය බරපතලකම අනුව මට්ටම් කිහීපයකට වර්ගීකරණය කර ඇත:

  1. මෘදු (Mild Dehydration) අවදානම් නොවන විජලනය (ශරීරයෙන් 3-5% තරලය නැතිවීම) - මෙහිදී සායනික රෝග ලක්ෂණ නොමැති වීම හෝ අවම වීම දක්නට ලැබේ.
  2. අවදානම මධ්‍යස්ථ විජලනය (Moderate Dehydration - ශරීරයෙන් 6-9% තරලය නැතිවීම) - මෙහිදී තාක්හිකර්ඩියා (Tachycardia), රුධිර පීඩනය ක්‍රමයෙන් පහත වැටීම, සමේ නම්‍යශීලී බව අඩුවීම, වියළි ශ්ලේෂ්මල පටල, කෝපය, කේශනාලිකා පිරවීමේ කාලය තත්පර 3 දක්වා දිගු වීම, වේගවත් නොගැඹුරු හුස්ම ගැනීම (tachypnea), මුත්‍රා පරිමාව අඩුවීම, කඳුළු නොමැතිකම (alacrima), ළදරුවන්ගේ හිසේ - ගිලුණු ෆොන්ටනෙල් (depressed fontanelle/sunken fontanelle) නිරීක්ෂණය කලහැකිය.
  3. දරුණු විජලනය (Severe Dehydration - ශරීරයෙන් ≥ 10% තරලය නැතිවීම) - හයිපොවොලෙමික් ශොක් (Hypovolemic shock) සායනිකව නිරීක්ෂණය කල හැක.

රෝග නිර්ණය (Diagnosis) කිරීමේ නිරවද්‍යතාවය තවත් වැඩි දියුණු කිරීම සඳහා, 2008 දී, ළමා ආමාශ ආන්ත්‍ර විද්‍යාව (Gastroenterology), හෙපටලොජි (Hepatology) සහ පෝෂණය පිළිබඳ යුරෝපීය සංගමය (European Society for Paediatric Gastroenterology, Hepatology and Nutrition / ESPGHAN) විසින් සායනික විජලනය පරිමාණයක් සකස් කලහ. පරාමිතීන් හතරක්, එනම්, රෝගියාගේ සාමාන්‍ය පෙනුම, ඇස්වල තත්ත්වය, ශ්ලේෂ්මල පටල සහ කඳුළු ගැලීම පැවතීම වැනි කරුනු සැලකිල්ලට ගෙන ලකුණු ක්‍රමයක් අනුව සකස් කර ඇත.

මෙම පරිමාණයට අනුව:
  • ලකුණු 0 ක් විජලනය නොමැති බව පෙන්නුම් කරයි;
  • ලකුණු 1-4 ක් මෘදු විජලනය පෙන්නුම් කරයි;
  • ලකුණු 5-8 ක් මධ්‍යස්ථ සිට දරුණු විජලනය පෙන්නුම් කරයි;

තවත් තරමක් පොදු සංකූලතාවයක් වන්නේ වලිප්පුව (seizures) තත්වයයි. එය මොළයේ ස්නායු සෛල වල සිදුවන අසාමාන්‍ය, හදිසි විද්‍යුත් ස්නායු සංඥා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන තත්වයකි. මෙහිදී ශරීරයේ පාලනයකින් තොරව වෙව්ලීම, සිහිය නැතිවීම සහ මාංශ පේශි තදවීම නිරීක්ෂණය කල හැකිය. වලිප්පුව සක්‍රීය වීම දින 1-2 ක් පවතින කෙටි කාලීන සක්‍රීය වීම් ලෙස දක්නට ලැබෙන අතර රෝගය සුව වීමත් සමග එය තුරන් වී යයි.

රොටාවෛරස් ආමාශ-ආන්ත්‍රයිටිස් රෝගය නිසා ඇතිවන සියලුම ස්නායු පද්ධතිය හා සම්භන්ද සංකූලතා වන අසාමාන්‍යය ලෙස පේශි සන්කෝචනය වීම් සහ/හෝ පේශි සංකෝචනය නිසා ඝන වීම, සිහිය අඩුවීම, එන්සෙෆලෝපති හෙවත් මොළයේ ව්‍යුහය හෝ ක්‍රියාකාරිත්වය වෙනස්කම් ඇතිවීම, බාහිර සෛලීය විජලනය හේතුවෙන් සිදුවන අතර අතර ඒවා හයිපෝනාට්‍රේමියාව (Hyponatremia) එනම්, රුධිරයේ සෝඩියම් මට්ටම අඩුවීම (Na+ < 120 mEq/L) නිසා ඇතිවේ.

ස්නායු පද්ධතිය හා සම්භන්ද රෝග ලක්ෂණ වල බරපතලකම තීරණය වන්නේ හයිපෝනාට්‍රේමියාවේ මට්ටම සහ එහි ප්‍රගතියේ වේගය අනුව ය. තවද, රොටාවෛරස් රෝගයේ පාචනය සහ අසාමාන්‍යය ලෙස පේශි සංකෝචනය වීම් සහ/හෝ එන්සෙෆලයිටිස් හෙවත් මොළයේ ප්‍රදාහය ඇති රෝගීන්ගේ මස්තිෂ්ක තරලයේ (Cerebrospinal Fluid / CSF) රොටාවෛරස් RNA අනාවරණය වී ඇත.

රොටාවෛරස් ආසාදන රෝගයේදී තුන්වන දිනට පසු උණ දිගටම පැවතුනහොත් හෝ නැවත ඇති වුවහොත්, බැක්ටීරියා ආසාදනයක් නොමැති බව තහවුරු කරගත යුතුය. රොටාවෛරස් ආසාදනය නිසා ආන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලයේ සෛල වන එන්ට්‍රොසයිට විනාශ වීම නිසා බැක්ටීරියා ආක්‍රමණයට වඩාත් ගොදුරු වේ. එමෙන්ම බැක්ටීරියා රුධීරය ධාරාවට (Bacteremia) එක් විය හැක. එසේ ද්විතියික බැක්ටීරියා ආසාදන හේතුවෙන් ඇතිවිය හැකි අමතර සංකූලතා වර්ධනය වීම වළක්වා ගත යුතුය. ඒ සඳහා රෝගියාගේ මලපහ බැක්ටීරියා සඳහා පරීක්ෂාවක් (Stool Culture with ABST), වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන අතර බැක්ටීරියාවට විරුද්ධව සුදුසුම ප්‍රතිජීවකය (Antibiotic) තෝරාගෙන ප්‍රතිකාර කරනු ලැබේ.

රොටාවෛරස් ආමාශ-ආන්ත්‍රයිටිස් ( Gastroenteritis) ඇති රෝගියෙකුගේ රෝග නීර්ණය සදහා, වෛද්‍යවරු විසින් සම්මත පරීක්ෂණයට භාජනය කරන අතර සම්පූර්ණ රුධිර ගණනය කිරීමක් (FBC/CBC), ජෛව රසායනික රුධිර පරීක්ෂණ (metabolic panels -> CMP, LFTs), රෝග කාරක සඳහා මළපහ පරීක්ෂාව (stool culture for pathogens and/OR RT-PCR) සහ සම්පූර්ණ මළපහ විශ්ලේෂණයක් ( Comprehensive Digestive Stool Analysis) ඇතුළත් වේ. රුධිර ජෛව රසායන පරීක්ෂණයකින් (liver panel / LFTs) ඇලනීන් ඇමයිනොට්‍රාන්ස්ෆරේස් (ALT / alanine aminotransferase)සහ ඇස්පර්ටේට් ඇමයිනොට්‍රාන්ස්ෆරේස් (AST / aspartate aminotransferase) වැනි එන්සයිමවල ඉහළ මට්ටම් අනාවරණය විය හැකි අතර මෙම එන්සයිම ඉහල මට්ටකමක පැවතීම හෙපටයිටිස් (අක්මාව ප්‍රදාහය / Inflammation) වර්ධනය වී ඇති බවට වක්‍ර සාක්ෂියකි.

සායනයේදී රොටාවෛරස් ආසාදනයට ප්‍රතිකාර කිරීම.

පහත සඳහන් තොරතුරු මඟ පෙන්වීමක් හෝ දැනුම සඳහා පමණි. පහත තොරතුරු වල නිරවද්‍යතාවය සහතික කිරීම පාඨකයාගේ වගකීම වන අතර මෙම ලිපියේ කර්තෘ කිසිදු වගකීමක් දරන්නේ නැති බව කරුනාවෙන් සලකන්න.

රෝගයට හේතුව වන රොටාවෛරසයට විරුද්ධව ක්‍රියා කරන ඖෂධ නිශ්පාදනය කර නොමැති නිසා, රෝගයට හේතුව ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය වන එටියෝට්‍රොපික් ප්‍රතිකාරය (Etiotropic treatment) තවම සංවර්ධනය කර නොමැත.

කෙසේ වෙතත් රෝග "වැළැක්වීමේ වැක්සීන (Prophylactic vaccines / රෝග නිවාරණය)" ලබාගැනීම, "ප්‍රතිකාර වැක්සීන" වලට වඩා ආරක්ෂිත වන අතර "වැළැක්වීමේ වැක්සීන" වඩාත් ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට අනුකූල වේ. එම නිසා, සාමාන්‍යයෙන් රෝග වැළැක්වීමේ වැක්සීන ආරක්ෂිත වේ.

සායනයේදී රොටාවෛරස් ආමාශ ආන්ත්‍රයිටිස් ප්‍රතිකාරයේදී, ප්‍රවේශයන් දෙකක් භාවිතා කරයි:
  1. පතෝජෙනෙටික් (Pathogenetic / pathogenesis-oriented therapy) ප්‍රතිකාරය හෙවත් රෝගයේ ව්‍යාධිජනක ක්‍රියාවන් වලට එරෙහිව ප්‍රතිකාර කිරීම. එනම්, රෝගය ආසාදනය වී රෝගය වර්ධනයවන පිලිවෙල අනුව සිදුකරන ප්‍රතිකාර ක්‍රමයයි.
  2. සිම්ටොමැටික් ප්‍රතිකාරය (Symptomatic treatment / supportive care) හෙවත් රෝගයේ රෝග ලක්ෂණ ඉවත් කිරීම අරමුණු කර ගෙන, සිදුකරන ප්‍රතිකාරයයි..

ප්‍රධාන වශයෙන් පතෝජෙනෙටික් (Pathogenetic) ප්‍රතිකාර (රෝගයේ ව්‍යාධිජනක ක්‍රියාවන් වලට ප්‍රතිකාර කිරීම) ක්‍රමය, රෝටාවෛරස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කරනු ලබන්නේ, විජලනය (dehydration) වී ඇති රෝගියා නැවත සජලනය (Rehydrate) කිරීමයි. ඒ සඳහා රෝගියාට ජලය හා දියර වර්ග පානය කිරීමට දීමත්, එය පළමු ප්‍රතිකාරය වන අතර මෘදු (Mild) හෝ මධ්‍යස්ථ (Moderate) විජලනයේදී නැතිවූ තරලය සහ ඉලෙක්ට්‍රොලයිට (Na+, K+, Ca2+, Mg2+ etc.) යථා තත්ත්වයට පත් කිරීමේ අරමුනින් සිදුකරනු ලැබේ.

මුඛ මාර්ගයෙන් නැවත සජලනය සඳහා, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පහත ද්‍රාවණ සංයුතිය නිර්දේශ කරයි:

  • ඔස්මෝලලිටි (Osmolality) හෙවත් ද්‍රාවිත අංශු සාන්ද්‍රණය 245 mOsm/L;
  • ග්ලූකෝස් සාන්ද්‍රණය 75 mmol/L;
  • සෝඩියම් සාන්ද්‍රණය 75 mEq/L;
  • සෝඩියම් සහ ග්ලූකෝස් මවුලික අනුපාතය 1:1.

අධික ග්ලූකෝස් සහිත දියර (සෝඩාපැනි බීම සහ පළතුරු යුෂ) පාචනය වැඩිවීමට හේතු වේ. මන්ද වැඩි ග්ලූකෝස් සාන්ද්‍රනයක් සහිත් දියර බඩවැල් තුල ඔස්මොලලිටි (Osmolality) වැඩි කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජලය අවශෝෂණය අඩු වී, ආන්ත්‍රයේ ජලය රඳවා සිටීම වැඩි වේ. එමෙන්ම, අධික සෝඩියම් සාන්ද්‍රණයක් සහිත ද්‍රව්‍ය (ලුනු), රුධිරයේ සෝඩියම් මට්ටම ඉහළ යාමේ අවදානමට හේතු විය හැක.

මුඛ මාර්ගයෙන් සජලනය (Rehydration) ප්‍රතිකාරය අදියර දෙකකට ලබාදෙනු ලැබේ:
  • නැවත සජලනය කිරීමේ අදියර: රෝගියාට පැය 3-4ක් ඇතුළත තරල හිඟය ඉක්මනින් නැවත ලබාදී, ශරීරයේ ප්‍රශස්ත තරල මට්ටම (Euvolemia / යුවොලේමියා) සාමාන්‍යය තත්වයට පත්කිරීම. ඒ සඳහා, පැය 3-4 ක් පුරා, ශරීරයේ බර කිලෝග්‍රෑමයට මිලිලීටර් 50 ml/kg සිට මිලිලීටර් 100 ml/kg දක්වා මුළු පරිමාව වන සේ තේ හැන්දකින් හෝ සිරින්ජයක් භාවිතා කරමින් සෑම මිනිත්තු 1-2 කට වරක් ද්‍රාවණය මිලි ලීටර් 5ml (තේ හැන්දක්) ක පරිමාවක් පමණක් බීමට දෙන්න. එසේ සෑම මිනිත්තු 1-2 කට වරක් එක් තේ හැන්දක් ලබාදීම මගින් පැයකට දියර මිලි ලීටර් 150 -300 ml ක් ලබා දීමට ඔබට හැකිවේ.
  • ප්‍රශස්ත තරල මට්ටම පවත්වා ගැනීමේ අවධිය: මෙම අවධියේදී, තරලය නැතිවීම නතර වන තෙක් තරලය ප්‍රතිස්ථාපනය දිගටම කලයුතුය. තරලය ප්‍රතිස්ථාපනය කලයුතු ප්‍රමාණය (පරිමාව), පාචනය එක් වරකට ද්‍රාවණය රෝගියාගේ බර කිලෝග්රෑමයට මිලිලීටර් 10 ml/kg අවශ්‍ය වන අතර, වමනය එක් වරකට, රෝගියාගේ බර කිලෝග්රෑමයට මිලිලීටර් 2ml/kg ක් අවශ්‍ය වේ. මෙම අවධියේදී, ලබාදිය යුතු ද්‍රාවණයේ පරිමාව ආසන්න වශයෙන් දිනකට, රෝගියාගේ බර කිලෝග්‍රෑමයට මිලිලීටර් 80-100 ml/kg පමන වේ.
    • මුඛ මාර්ගයෙන් සජලනය (Rehydration) ප්‍රතිකාරය සඳහා පහත සඳහන් ද්‍රාවණ ද භාවිතා කල හැකිය. Oral Rehydration Salts (Jeewani ORS), ORAL REHYDRATION SACHET, D5W with 0.45% NS බීමට දීම.

      මුඛ මාර්ගයෙන් සජලනය ප්‍රතිකාරයේ කාර්යක්ෂමතාව තක්සේරු කරනු ලබන්නේ, තරල රෝගියාගේ ශරීරයෙන් පිටවීම අඩුවීම, විජලනය වීමේ සලකුණු අතුරුදහන් වීම, මුත්‍රා පරිමාව යථා තත්ත්වයට පත් වීම, සහ රෝගියාගේ සාමාන්‍ය තත්වය හොඳ අතට හැරීම යන කරුනු සැලකිල්ලට ගැනීමෙනි.

      සායනයේදී ශිරා තුලට ද්‍රාවණ ලබාදීම (IV Infusion)

      බොහෝ අවස්ථාවන්හිදී, ආරම්භක ප්‍රතිකාරය ලෙස සේලයින් (D5 0.9% NaCl or D5 0.45% NaCl) ශිරා තුලට ලබාදීම (IV Drip) නිර්දේශ කරනු ලැබේ. හයිපෝනාට්‍රේමියාව (Hyponatremia Na+ < 135 mEq/L) හෙවත් රුධිරයේ සෝඩියම් පහත වැටීම, ඇතිවීමේ අවදානම ඵලදායී ලෙස අඩු කරන බැවින්, එය නිර්දේශ කරනු ලැබේ.

      සායනික රෝග ලක්ෂණ මත පදනම්ව විජලනය ඇස්තමේන්තු කලවිට:
      1. සරල විජලනය (Mild) බර අඩුවීම 3–5% ඇති විට ලබාදෙන ද්‍රාවණ පරිමාව, රෝගියාගේ බර කිලෝග්රෑමයට මිලිලීටර් 30–50 mL/kg පමන වේ.
      2. මධ්‍යස්ථ විජලනය (Moderate) බර අඩුවීම 6–9% ඇති විට ලබාදෙන ද්‍රාවණ පරිමාව, රෝගියාගේ බර කිලෝග්රෑමයට මිලිලීටර් 60–90 mL/kg පමන වේ.
      3. දරුණු විජලනය (Severe) බර අඩුවීම ≥10% ඇති විට ලබාදෙන ද්‍රාවණ පරිමාව, රෝගියාගේ බර කිලෝග්රෑමයට මිලිලීටර් ≥100 mL/kg පමන වේ.

      රුධිර වාහිණී තුලට, එනම් ශිරා (IV / Intravenous) තුලට තරලය බිංදු ලෙස ලබාදීමට සැලැස්වීමෙන් (Infusion), රෝහලේදී දරුණු විජලනයට ප්‍රතිකාර කරනු ලැබේ. දරුණු විජලනය හේතුවෙන් ඇතිවන, ශොක් තත්වය, සිහිය දුර්වල වීම, දරුණු ආම්ලිකතාවය (Acidosis / ශරීරයේ ආම්ලිකතාවය වැඩි වීම), මුඛ මාර්ගයෙන් සජලනය (Rehydration) කිරීමේ ප්‍රතිකාරයේ අසාර්ථකත්වය සහ පාලනය කළ නොහැකි, නොනවතින වමනය ඇති විට සිදුකරනු ලැබේ. හයිපොවොලමික් ශොක් තත්වය ඇතිවිට ඉතා ඉක්මනින් සේලයින් පරිමාමිතිකව නියමිත පරිමාව රෝගියාට ලබාදෙයි. ළමා මාත්‍රාව සඳහා ප්‍රථමයෙන් මිනිත්තු 5 සිට 10 දක්වා කාලයක් තුළ රෝගියාගේ බර කිලෝග්රෑමයට, මිලිලීටර් 20 mL/kg පරිමාවක් රෝගියාට ලබාදෙයි. ඉන් අනතුරුව, ඉන්ෆියුෂන් චිකිත්සාව සාමාන්‍යයෙන් පැය 2-4 ක් සඳහා රෝගියාගේ බර කිලෝග්රෑමයට, පැයකට මිලිලීටර් 20 ml/kg/h නොඉක්මවන වේගයකින් ශිරා තුලට ද්‍රාවණ ලබා දී, දරුණු විජලනය වී ඇති රෝගියාව සජලනය කර ප්‍රශස්ත තරල මට්ටමට ගෙන එනු ලැබේ.

      ද්‍රාවණ ලබාදීම වඩා වේගවත් නොකරන අතර ද්‍රාවණය ලබාදෙන වේගය (Mild or moderate dehydration) වෛද්‍යවරයා විසින්, රෝගියාගේ විජලන ප්‍රමානය අනුව එක් එක් රෝගියාට වෙන වෙනම ගනනය කරනු ලැබේ. ශෝථය හෙවත්, රුධිර වාහිනී තුල ඇති තරලය, පටක තුලට, එනම්, පටක තරලයට පිටවීම නිසා සිදුවන ඉදිමීම, බ්‍රැඩිකාර්ඩියා හෙවත් හෘද ස්පන්දන වේගය මිනිත්තුවට ස්පන්ධන < 60/min කට වඩා පහත වැටීම, සහ ඉලෙක්ට්‍රොලයිට අසමතුලිතතා වර්දනය වීමේ අවදානම නිසා ද්‍රාවණ ලබාදීම වඩා වේගවත් නොකරයි.

      ඉලෙක්ට්‍රොලයිට අසමතුලිතතා ලෙස සෝඩියම් (Na+), පොටෑසියම් (K+), කැල්සියම් (Ca2+), මැග්නීසියම් (Mg2+), ක්ලෝරයිඩ් (Cl-), බයිකාබනේට් (HCO3-), පොස්පේට් (HPO42-) යන රුධිරයේ විද්‍යුත් විච්ඡේදක තුලිත තාවය නැති වූ විට ශරීරයේ ජලය සමතුලිත තාවයට කෙලින්ම බලපාන අතර සෛලය තුල හා සෛලයෙන් පිටත ජලයේ තුලිත තාවය වෙනස් වේ. එම නිසා රෝගියාට නොයෙක් සංකූලතා වලට අමුහුනපෑමට සිදු වේ. එපමනක් නොව, මෙම ඉලෙක්ට්‍රොලයිට ස්නායු තන්තුවල ක්‍රියාකාරිත්වයට සහ පේශිවල ක්‍රියාකාරීත්වයට කෙලින්ම බලපායි. උදාහරනයක් ලෙස ස්නායු සංඥා (විද්‍යුත් සංඥා / electrical signal) ස්නායු ත්න්තු (ඇක්සෝනය) ඔස්සේ ගමන් කිරීමට සෝඩියම් සහ පොටෑසියම් අත්‍යාවශ්‍ය වේ.

      ස්නායු තන්තුවක් සාමාන්‍යය තත්වයේ පවතින විට, එහි බාහිර මතුපිට පෘෂ්ඨයට සාපේක්ෂව අභ්‍යන්තරයේ "සෘණ -" විද්‍යුත් ආරෝපණයක් දරන අතර බාහිරය "ධන +" ආරෝපණයක් දරයි. එවිට, අයන පොම්ප සක්‍රීය වී ධනාත්මක සෝඩියම් අයන සෛලයෙන් පිටතට සහ ධනාත්මක පොටෑසියම් අයන සෛලය තුලට ගෙන යන අතර, සෛල ප්ලාස්මා පටලයේ විවේකය අවස්ථාවේ සෘණ විභවයක් (සෘණ මිලිවෝල්ට් -70 mV ක පමන resting membrane potential) ඇති කරයි. මෙය සෝඩියම්-පොටෑසියම් පොම්පය (sodium-potassium pump) ලෙස හඳුන්වන විශේෂිත ප්‍රෝටීනයක් මගින් පාලනය කරනු ලැබේ.

      ස්නායු සෛලයකට උත්තේජනයක් ලැබුණු විට, සෝඩියම් නාලිකා (Sodium channels) විවෘත වී, වෝල්ටීයතාවයක් ඇති කරමින් සෝඩියම් සෛලය තුළට (Depolarization) ගලා යන අතර අභ්‍යන්තර ආරෝපණය ධනාත්මක බවට පත්වේ. ඉන්පසුව සෝඩියම් නාලිකා (Potassium channels) වැසී, පොටෑසියම් නාලිකා විවෘත වේ. පොටෑසියම් ඉක්මනින් පිටතට ගලා ගොස්, මූලික සෘණ ආරෝපණය යථා තත්වයට (Repolarization) පත් කරයි.

      ස්නායු ත්න්තු (ඇක්සෝනය) ඔස්සේ මයිලින් ආවරන අතර ඇති හිඩැස් අවකාශයේ එනම්, "රන්වියර් නෝඩ් (nodes of Ranvier)" සිදුවන මෙය දාම ක්‍රියාවලියක් ලෙස සිදුවෙමින් "ස්නායු විද්‍යුත් සංඥා", ස්නායු තන්තු (ඇක්සෝනය) ඔස්සේ අවසානය දක්වා ගමන් කරයි. එම සංඥා වෙනත් ස්නායු සෛල වලට ලබාදීම සිදුකරන්නේ රසායනික ස්නායු සම්ප්‍රේෂක (උදා: ඩොපමයින් / Dopamine, සෙරොටොනින් / Serotonin, ඇසිටිල්කොලීන් / Acetylcholine ආදී වශයෙන්) මගිනි.

      එම නිසා, ඉලෙක්ට්‍රොලයිට අසමතුලිතතා හේතුවෙන් තෙහෙට්ටුව (mild fatigue) සහ මාංශ පේශි පෙරලීම සහ කැක්කුම (muscle cramps) සිට දරුණු මානසික ව්‍යාකූලත්වය ( severe confusion), අක්‍රමවත් හෘද ස්පන්දනය සහ වලිප්පුව (seizures) දක්වා සංකූලතා වලට අමුහුනපෑමට සිදු වේ.

      සිම්ටොමැටික් ප්‍රතිකාරය (Symptomatic treatment / supportive care)

      උණ ඇති විට උණ නාශක (antipyretic) ඖෂධ මගින් උණට ප්‍රතිකාර කරනු ලැබේ.

      රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර ලෙස කුඩා දරුවන්ගේ වමනය නැවැත්වීම (Antiemetics) සඳහා, වයසට අදාළ මාත්‍රාවලින් තෝරාගත් 5-HT3 සෙරොටොනින් ප්‍රතිග්‍රාහක ප්‍රතිවිරෝධක (Antagonists) ඖෂධයක් ලබා දීම, යෝග්‍යය වුවද එසේ කලයුත්තේ වමනය දරාගැනීමට ඉතාම අමාරු රෝගීන් සඳහාය. එයට හේතුව වන්නේ වමනය හා පාචනය සමග ශරීරයෙන් වෛරස් පිටවීම සිදුවේ. එමනිසා ආන්ත්‍රයේ ඇති වෛරස ප්‍රමාණය අඩුවී නැවත ආන්ත්‍රය ආසාදනය වීම අඩු වීම නිසා ඉකමනින් සුවය ලැබිය හැකිය. 5-HT3 සෙරොටොනින් ප්‍රතිග්‍රාහක ප්‍රතිවිරෝධක (Antagonists) ලෙස රෝගියාට ඔන්ඩන්සෙට්‍රෝන් වයසට අදාළ මාත්‍රාව ශිරා තුලට (IV) ලබාදෙන අතර, ඔන්ඩන්සෙට්‍රෝන් හේතුවෙන් ඇතිවෙන සංකූලතා පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනු ලැබේ.

      ආමාශ ආන්ත්‍රයිටිස් රෝග ලක්ෂණ ප්‍රතිකාර සඳහා අන්ත්‍රයේ අහාර ජීර්ණ ක්‍රියාවළියට ආධාර වන, රෝග කාරක නොවන සජීවී බැක්ටීරියා සහ යීස්ට් (දිලීර), එනම් ප්‍රෝබියොටික් යොදාගනු ලබේ. ප්‍රෝබියොටික් ලෙස Lactobacillus rhamnosus GG (LGG), Saccharomyces boulardii, Lactobacillus reuteri භාවිතා කරයි. උදාහරණ ලෙස LACTOL PROBIOTIC SACHETS 30S, Bifilac Caps, LACTOL PROBIOTIC SACHETS 30S.

      තවද, රොටාවෛරස් රෝගයේදී ඇතිවන වමනයට සහ පාචනයට ප්‍රතිකාර කිරීම සඳහා අමතරව, "සෝර්බන්ට්ස් (Sorbents)" / "ඇබ්සෝර්බෙන්ට්ස් (අවශෝෂක)" ද්‍රව්‍යයක් භාවිතා කල හැකිය. එම ද්‍රව්‍ය මගින් වෛරස, බැක්ටීරියා, විෂ ද්‍රව්‍ය (NSP4), වෙනත් රසායනික ද්‍රවය උරාගැනීමේ හැකියාවක් ඇති අතරම, ආන්ත්‍රයේ ශ්ලේශ්මල පටලය ද ආරාක්ෂා වේ. සෝර්බන්ට්ස් ද්‍රවය ලබාදෙනු ලබන්නේ කෑමට පැය 2 කට කලින් හෝ කෑමට පසු පැය දෙකකින් ය. එමෙන්ම, එම ද්‍රවය සමග ඖෂධ ලබාදෙනු නොලැබේ. එයට හේතුව අත්‍යවශ්‍ය ඖෂධ අවශෝෂණය අවහිර කිරීම නිසාය. එම නිසා ආහාර මෙන්, ඖෂධ ද පැය දෙකකට පෙර හෝ පසුව ලබා දෙයි. මුඛ මාර්ගයෙන් ලබාදුන් විට, ශරීරයේ එන්සයිම ප්‍රතික්‍රියාවලට ලක් නොවී මළපහ සමග පිටවේ. නමුත්, එම සෝර්බන්ට්ස් ද්‍රව්‍යය, වෛද්‍යවරයා විසින් වයස අවුරුදු දෙකට අඩු ළමුන්ට, ගැබිනි මව් වරුන්ට, හා කිරිදෙන මව් වරුන්ට ලබා දෙනු නොලැබේ. සෝර්බන්ට්ස් ද්‍රව්‍යය උදාහරණ ලෙස SMECTA (smectite dioctahedral / diosmectite), Enterosgel (hydrogel sorbents) දැක්විය හැකිය.

තවකෙනෙකුට Share කරන්න:
සෞඛ්ය ආරක්ෂණය : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්