- ඇපලෝ සහ ආටෙමිස්
- ආටෙමිස් 2 (Artemis II) අභ්‍යාවකාශ මෙහෙයුම
- අභ්‍යාවකාශයේ විකිරණ
- ඔරියන් (Orion) යානය සඳ වෙත ගමන් කිරීමේ සම්පූර්ණ සංචාරය.
- ඔරියන් (Orion) යානය සඳට ළඟා වීම.
- පෘතුවියේ සිටින අපට සඳෙහි එක්පැත්තක් පමනක් පෙනෙන්නේ ඇයි?
- පෘථිවියට නැවත පැමිණීම.
- ආටේමිස් 2 මෙහෙයුම - ඔරියන්/ඔරායන්/ඉන්ටෙග්‍රිටි යානය නැවත පෘතුවියට පැමිණීම.
මේ වසරේ, එනම් 2026 අප්‍රේල් මස, වසර 54 කට පසු පළමු වතාවට, මිනිසා නැවත සඳට යාමට නියමිතව ඇත. එම අභ්‍යාවකාශ මෙහෙයුම ආටෙමිස් II (Artemis II) ලෙස නම් කල අතර මෙහෙයුමේ කොටසක් ලෙස, ගගනගාමීන් සිව්දෙනෙකු පෘථිවියේ ආරක්ෂිත කවචයෙන් ඉවත් වී, එනම් පෘථිවියේ විකිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඇති චුම්භක ක්ෂේත්‍රයෙන් මිදී ගැඹුරු අභ්‍යවකාශයට ගමන් කර චන්ද්‍රයා වෙත ගොස් එය වටා එක් වටයක් ගමන් කර නැවත පෘථිවියට පැමිනෙනු ඇත. එය ආටේමිස් III මෙහෙයුම සඳහා පෙරහුරුවක් මෙන්ම මාර්ස් (Mars /අඟහරු) ග්‍රහයා වෙත යාමේ පෙරෙහුරුවක්ද වේ. ආටේමිස් III මෙහෙයුම, මගින් ගගනගාමීන් සඳ මතට ගොඩබෑමට (2028) නියමිත අතර, සඳේ කඳවුරක් තැනීම සඳහා යෝග්‍යම ස්ථානයක් තෝරාගැනීම මෙහි අරමුණයි.
එපමනක් නොව ජාත්‍යන්තර ගගනගාමී කණ්ඩායම් සඳහා, සඳ වටා කක්ෂයේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන "ගේට්වේ (Gateway)" ඉදි කිරීම නොදුරු අනාගතයේ 2027 න් පසුව සිදු කිරීමට නාසා (NASA) ආයතනය බලාපොරොත්තු වේ. ගැඹුරු අභ්‍යවකාශයේ විද්‍යාත්මක අභිරහස් ගවේෂණය කිරීමට සහ මාර්ස් (අඟහරු) ග්‍රහයා වෙත ගමන් කිරීමේදී පෙරහුරු හෝ හදිසි නවාතැනක් ලෙස මෙම Gateway අභ්‍යවකාශ මධ්‍යස්ථානය භාවිතා කරනු ලැබේ.
1961–1972 අතර කාලය තුල සඳ මතට ගොඩබෑමේ මෙහෙයුම් 6 ක් දියත්කල අතර එය "ඇපලෝ ව්‍යාපෘතිය (Apollo Project)" ලෙස නම් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති කෙනඩි මහතාගේ, සෝවියට් දේශයත් (අද රුසියාව) සමග තිබූ අභ්‍යාවකාශ තරඟයෙන් පරාජය නොවී සිටීමට තිබූ ඉලක්කය සපුරා ගන්නා ලදී.
ඉහත කරුනු හේතුවෙන් ජනාධිපති කෙනඩි මහතාගේ අභිප්‍රාය වූයේ කෙසේ හෝ ඇමෙරිකානු ගගනගාමීන් සඳ මත පා තැබිය යුතු බවයි.
1969 දී ඇපලෝ 11 මෙහෙයුම මගින් සාර්ථකව නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් විසින් ඇපලෝ චන්ද්‍ර මොඩියුලය, පළමු චන්ද්‍ර ගොඩබෑම සිදුකලා පමනක් නොව, නීල් ආම්ස්ට්‍රෝං චන්ද්‍ර පෘෂ්ඨය මත ඇවිද ගියහ. එම අවස්ථාවේ චන්ද්‍ර කක්ෂයේ ගමන් කරමින් ඇති අණ දීම් සහ සේවා මොඩියුලයේ මයිකල් කොලින්ස් රැඳී සිටිය යුතුව තිබුනි. එයට හේතුව මෝඩුලය පාලනය කිරීමට නියමුවෙකු අවශ්‍ය නිසාත්, ස්වයංක්‍රීයකරණය නොදියුනු තත්වයක පැවති නිසාය.
පසුව:පුරාණ ග්‍රීක ආගමේ සහ මිථ්‍යා කථාවල, ආටෙමිස් (Ἄρτεμις) යනු දඩයම, වන සතුන්, සොබාදහම, වෘක්ෂලතාදිය, දරු ප්‍රසූතිය, දරුවන් රැකබලා ගැනීම සහ නිර්මලත්වයට අධිපති දේවතාවියයි. ඇපලෝ (Apollo) යනු හිරු දෙවියන් ය. ඇපලෝ (Apollo) සහ ආටෙමිස් (Artemis) "දිව්‍ය නිවුන් දරුවන්" වන අතර, සියුස් සහ ලෙටෝට (Zeus and Leto), සියුස්ගේ පුත්‍රයා සහ දියණිය ලෙස, උපත ලැබීය. ඇපලෝගේ සහෝදරිය ආටෙමිස් නිසා, මෙම නැවත සඳට ගොඩබෑමේ නව අභ්‍යාවකාශ මෙහෙයුම ආටෙමිස් ලෙස නම් කර ඇත.
චන්ද්‍රයා මත ගොඩබෑම ඊළඟ මෙහෙයුම වන, වසර 2028 ආර්ටේමිස් 3 සඳහා සැලසුම් කර ඇති නමුත් එය ආටෙමිස් 2 මෙහෙයුමේ ප්‍රතිඵල මත රඳාපවතී.
මෙම මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වා කපිතාන් රීඩ් වයිස්මන් (Capt. Reid Wiseman), නියමු වික්ටර් ග්ලෝවර් (Pt. Victor Glover), මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොච් (Sp. Christina Koch), සහ කැනේඩියානු ගගනගාමියෙකු වන ජෙරමි හැන්සන් (Astr. Jeremy Hansen) දින 10 ක කාලයක් ඔරියන් කැප්සියුලය (යානය) තුල ගත කල යුතුව ඇත.
මෙම මෙහෙයුම මගින් සිදුකරන්නේ, චන්ද්‍ර මොඩියුලය චන්ද්‍රයා මත ගොඩබෑමක් නොවේ; නමුත් එය වර්ථමානයේ වඩාත්ම නිර්භීත අභ්‍යවකාශ ගමනක් ලෙස සැලකේ. එයෙට හේතුව අවදානම් කිහීපයක් ඇති නමුත් ඒවා උපක්‍රමශීලීව විසදුම් සෙවීම මගින් විසඳිය යුතුව ඇත.
එම අවදානම් අතර:
ඔරියන් කැප්සියුලය, චන්ද්‍රයාගේ සිට කිලෝමීටර 6,000km - 10,000km දක්වා දුරින් චන්ද්‍රයා වටා කක්ෂගත වී පැයට කිලෝමීටර 40,000 ක වාර්තාගත වේගයකින් පෘථිවියට නැවත පැමිනීමට නියමිතව ඇත. නමුත් මෙම ගුවන් ගමනේ සෑම අදියරක්ම බරපතල අවදානම් වලින් පිරී ඇත. ගුවන්ගත වීමේ සිට ගොඩබෑම දක්වා සිදුවිය හැකි වැරදි මොනවාද යන්න පිළිබඳව සවිස්තරාත්මකව සලකා බලමු.
ගගනගාමි කාර්ය මණ්ඩලයට ඇති අවදානම කුමක්ද? කුමන පද්ධති අසාර්ථක විය හැකිද? අවදානම් වලින් පිරී තිබියදීත්, නාසා ආයතනය මෙම මෙහෙයුම දියත් කිරීමට ගැනීමට තීරණය කළේ ඇයි? ආටෙමිස්-II මෙහෙයුම ආරම්භ වන්නේ මෙතෙක් නිපදවා ඇති බලවත්ම අභ්‍යවකාශ රොකට්ටුව (Space Launch System) දියත් කිරීමෙනි. එය මීටර් 98m ක් උස, ටොන් 2,600 කට වඩා බරින් යුක්ත වන අතර රොකට්ටුවේ එන්ජින් මගින් මෙගානිව්ටන් 39.1 MN ක තෙරපුම් බලයක් නිපදවයි. එනම් එය මේ දක්වා තිබූ ඒක වාරික බලවත් රොකට් යානාවක් වන සටුර්න් 5 රොකට්ටුවටත් වඩා ඉතා බලවත් යානයකි.
පළමු අවදානම දැනටමත් රොකට් යානය ගුවන්ගත කිරීමේ වේදිකාවේදී පැන නැගී ඇත. 2026 පෙබරවාරි මාසයේදී, ඉන්ධන පිරවීම සඳහා පෙරහුරුවක් අතරතුර, රොකට්ටුවේ හරය ඇති අදියරට බලය සපයන ඉන්ධනය වන ද්‍රව හයිඩ්‍රජන් කාන්දුවක් සොයා ගන්නා ලදි. එම හේතුව නිසා ආර්ටේමිස්-2 මෙහෙයුමේ රොකට් යානය ගුවන්ගත කිරීම අප්‍රේල් මාසය දක්වා කල් යවන ලදි.
මෙම ගැටලුව ආටෙමිස් 1 මෙහෙයුම අතරතුර රොකට් යානය ගුවන්ගත කිරීමේදී ද ඉස්මතු විය. කේප් කැනවරල් හි රොකට් යානා ගුවන්ගත කිරීමේ වේදිකාව ඇති ස්ථානයේ අදික සීතල සූදානමට බාධා කළ අතර, ඉංජිනේරුවන් විසින් ඉන්ධන මාර්ග සුරක්ෂිත කිරීම සහ මුද්‍රා ප්‍රතිස්ථාපනය කිරීමට සිදු විය. මෙම ගැටලුව ආටෙමිස් 1 මෙහෙයුම අතරතුර රොකට් යානය ගුවන්ගත කිරීමේදී ද ඉස්මතු විය. එම හයිඩ්‍රජන් කාන්දුව තාක්ෂණික ගැටලුවකට වඩා වැඩි බරපතල අවදානමකි. හයිඩ්‍රජන් වහා ගිනි ගන්නා සුළු වන අතර, වැරදි ස්ථානයක ඒකරාශී වූ සුළු සාන්ද්‍රණයක් පවා රොකට් යානය පිපිරීමකට තුඩු දිය හැකිය.
එපමනක් නොව, රොකට් යානාව ගුවන්ගත කිරීමට පෙර ඔරියන් කැප්සියුලයේ දොර වසා දැමූ විශේෂඥ කණ්ඩායමට පීඩන කපාටයේ ගැටලුවක් ඇති බව සොයා ගන්නා ලදි. එම නිසා මෙහෙයුම සැලසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ගත වූ අතර මෙහෙයුම දියත් කිරීම, අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට හේතු විය. ද්‍රව හයිඩ්‍රජන් කාන්දු වීම නිවැරදි කිරීමෙන් පසුව පවා අවදානම පවතී. රොකට් යානය ඉහලට යාමේදී, RS-25 එන්ජින් හතර මිනිත්තු 8.5 ක් දෝෂ රහිතව ක්‍රියාත්මක විය යුතුය. එන්ජින් එකක් හෝ අසාර්ථක වුවහොත්, මෙහෙයුම අත්හිටුවීමට සිදු වේ. එම නිසා නාසා ආයතනය හදිසි අවස්ථා කිහිපයක් පුරෝකථනය කර ඇති අතර ඒවාට නිසි පිලියම් යෙදීමට වගබලාගනු ඇත.
පියාසැරියේ පළමු තත්පර 90 තුළ, යමක් වැරදුනහොත්, ගුවන්ගතවීම අත්හිටුවීමේ පද්ධතිය ක්‍රියාත්මක වේ. මෙගානිව්ටන් 1.8 MN ට වැඩි බලයක් සහිත ඝන ඉන්ධන (ඝන රසායනික ද්‍රව්‍ය) එන්ජිමකින් යුත් කුඩා රොකට්ටුවක් භාවිතා කරමින්, ගගනගාමීන් සිටින ඔරියන් (Orion) කැප්සියුලය මිලි තත්පර කිහිපයකින් රොකට්ටුවෙන් වෙන් වී ඉවතට පියාසර කරනු ලැබේ. එම අවස්ථාවේ දී ගගනගාමීන් හට ගුරුත්ව ඒකක 15G දක්වා දරා සිටීමට සිදු වේ. එම අගය ගගනගාමීන් හට මාරාන්තික වන නමුත්, ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට උපකාරීවේ.
ආටෙමිස් -II මෙහෙයුමේ රොකට් යානය ඉහලට නැගීමේ පසු අවස්ථා වලදී, එන්ජින් ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටළු ඇති වුවහොත්, මෙහෙයුම් පාලන මධ්‍යාස්ථානය මගින් අභ්‍යවකාශ යානය විකල්ප කක්ෂයකට හරවා යැවීමට හෝ සාගරයේ හදිසි ගොඩබෑමක් සිදු කිරීමට ක්‍රියා කරයි. සියළුම දේ සැලැස්මට අනුව සිදුවුවහොත්, මිනිත්තු 8.5 කට පසු මධ්‍ය අවධිය, එනම් රොකට්ටුවේ මැද කොටස රොකට් යානයෙන් වෙන් වන අතර, අන්තර්කාලීන ක්‍රයෝජනික් ප්‍රචාලන පද්ධතිය (ICPS) මගින් ඉහළ කොටස වන ඔරියන් කැප්සූලය පෘථිවිය වටා ඉහළ ඉලිප්සාකාර කක්ෂයක පවත්වා ගනී.
ඊළඟ ප්‍රධාන අභියෝගය වන්නේ, අභ්‍යාවකාශයේ විකිරණ ආරෝපිත අංශු වලින් සමන්විත යෝධ කලාප දෙකක් වන "වැන් ඇලන්" විකිරණ කලාප (Van Allen radiation belts) හරහා ගමන්කිරීමට සිදුවීමයි. මෙම විකිරණශීලී කලාප සැදී ඇත්තේ, සූර්යයා ගේ සිට පැමිණෙන විකිරණ ප්ලාස්මා අංශු පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයෙන් විකර්ෂණය කරන ලද එම ආරෝපිත අංශු වලිනි. අභ්‍යන්තර මායිම කිලෝමීටර 1,000km ක පමණ උසකින් (උන්නතාංශයකින්) ආරම්භ වේ. පිටත මායිම කිලෝමීටර 15,000km සිට 25,000km දක්වා උසකින් (උන්නතාංශයකින්) ආරම්භ වේ. ඇපලෝ ගගනගාමීන් ඉක්මනින් මෙම කලාපය හරහා ගමන් කළ නමුත් ආටෙමිස්-II ගගනගාමීන්ට සඳට යාමට පෙර තම ඔරියන් යානයේ සියළුම පද්ධති පරීක්ෂා කරමින් ඉහළ පෘථිවි කක්ෂයේ පැය කිහිපයක් ගත කරනු ඇත.
මෙයින් අදහස් වන්නේ ඔවුන් විකිරණ කලාපය කිහිප වතාවක් තරණය කරනු ඇති බවයි. එහි විකිරණ මට්ටම, පෘථිවියේ මෙන් 50 සිට 100 ගුණයකින් වැඩි විය හැකිය. මෙම ආරෝපිත අංශු, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන DNA වලට හානි කළ හැකි අතර පිළිකා සහ හෘද හා රුධිර වාහිනී රෝග අවදානම වැඩි කරයි. විකිරණ මගින් අභ්‍යවකාශ යානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ වල ක්‍රියාකාරීත්වය ද අඩාල විය හැකිය. විශේෂඥයින් විසින්, එම ඉලෙක්ට්‍රොනික උපකරණ නිසි පරිදි සකසා ඇති නමුත්, අභ්‍යාවකාශය ඉතා අවධානම් රික්තක පරිසරයකි.
නාසා ආයතනය ඔරියන් කැප්සියුලය තුළ ක්‍රියාකාරී විකිරණ සංවේදක හයක් ස්ථාපනය කර ඇති අතර ගගනගාමීන්ට තමාටම නියමිත තනි විකිරණ මාත්‍රාමාන ලබාදී ඇත. ඔවුන් තත්‍ය කාලීනව විකිරණ මට්ටම් නිරීක්ෂණය කරනු ඇත. යම් විදියකින් සූර්ය කුණාටුවක් ඇතිවීම නිසා සංවේදක මගින් භයානක විකිරණ මට්ටමක් අනාවරණය වුවහොත්, කාර්ය මණ්ඩලයට කැප්සියුලයේ ගබඩා පරිශ්‍රය තුල තාවකාලික නවාතැනක් ලෙස රැකවරණය ලබා ගැනීමට හැකි වනු ඇත. මෙය ගගනගාමීන්ට අමතර ආරක්ෂිත ස්ථරයක් නිර්මාණය කිරීම සඳහා තමන් වටා සැපයුම් සහ උපකරණ ඇසුරුම් කළ හැකි කුඩා ගබඩා අවකාශයකි.
දින 10ක මෙහෙයුම් කාලය තුළ ගගනගාමීන්ට මුහුනදීමට සිදුවන ඇස්තමේන්තුගත විකිරණ මාත්‍රාව , සම්පූර්ණ ශරීරය CT ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ලද රෝගියෙකුගේ විකිරණ මාත්‍රාව ට සමාන වේ. මෙය කෙටි කාලීන මෙහෙයුමක් සඳහා දරාගත හැකි නමුත් දිගුකාලීන අභ්‍යාවකාශ ගමන් වල විකිරණ වල බලපෑම අධ්‍යයනය කරමින් පවතී.
අභ්‍යවකාශ යානය පෘථිවියේ ආරක්ෂිත චුම්භක ක්ෂේත්‍රයෙන් (ගෝලයෙන්) මිදී සඳ දෙසට ගමන් කරන විට, ගගනගාමීන් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයෙන් තවදුරටත් ආරක්ෂා නොවන අභ්‍යවකාශ කලාපයකට ඇතුළු වේ. සැබෑ ගැඹුරු අවකාශය මෙතැන් සිට ආරම්භ වේ. ප්‍රධාන තර්ජනය මන්දාකිණියේ සහ අභ්‍යවකාශ විකිරණ වන අතර මේවා ආලෝකයේ වේගයෙන් ගමන් කරන අධි ශක්ති විකිරණ අංශුය. ඒවා වෙනත් මන්දාකිණිවල පිපිරුණු තාරකා (ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන) වලින් පැමිණෙන අතර ඕනෑම ද්‍රව්‍යයක පරමාණු අස්ථායී (නියුට්‍රෝන මගින්) තත්වයට පත් කරයි. නමුත් වඩාත්ම භයානක වන්නේ සූර්ය කුණාටු වන අතර සූර්යයා දැනට එහි එකොළොස් අවුරුදු චක්‍රයේ ක්‍රියාකාරීම අවසාන අවධියේ (2026) පවතී.
මෙයින් අදහස් කරන්නේ බලගතු සූර්යයා ගේ කොරෝනාවේ ප්ලාස්මා ස්කන්ධ (ගිනි දැල්) පිටකිරීම් සහ සූර්ය ගිනිදැල් කුනාටු ඇති විය හැකි අතර, පැය කිහිපයක් ඇතුළත විකිරණ මට්ටම් මාරාන්තික මට්ටම් දක්වා ඉහළ යා හැකිය. නාසා (NASA) සහ නෝආ (NOAA Space Weather Prediction Center) ආයතන පැය 24 පුරා (24/7) අභ්‍යවකාශ කාලගුණය නිරීක්ෂණය කරනු ලැබේ. නාසා සහ නෝආ විශේෂඥයින් විසින් සූර්ය ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර ඉදිරියේදී ඇති විය හැකි කුණාටු පිළිබඳව ගගනගාමීන්ට කල්තියා අනතුරු අඟවනු ඇත. අධික විකිරණශීලී තත්වයක් ඇතිවුවහොත්, ගගනගාමීන් ආරක්ෂිත පියවරයන් අනුගමනය කරනු ඇත.
මිනිසාගේ ඇටමිදුළු සෛල වලට විකිරණ වල බලපෑම අධ්‍යයනය කිරීම සඳහා, ආටෙමිස් 2 අභ්‍යවකාශගාමීන්ගෙන් ලබාගත් ඇටමිදුළු සාම්පල, එනම් තම ඇටමිදුළු සාම්පල ඔවුන් රැගෙන යයි. විකිරණ සහ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ට බලපාන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා එම සාම්පල "අවතාර් චිප්" එකක් ලෙස, අවයව "ජීව චිප් කරනය" තාක්ෂණය භාවිතා කරමින් තනා ඇත. අස්ථි ඇටමිදුළු විශේෂයෙන් විකිරණවලට වඩාත් සංවේදී නිසා එම පටක සාම්පල භාවිතා කිරීමට තීරණය කර ඇත.
ඉතාකුඩා අභ්‍යවකාශ වස්තුසමග ගැටීමට ඇති අවදානම ඉතාමත්ම අඩු නමුත් එවැනි අභ්‍යවකාශ උපද්‍රව වලට මුහුණදීමටද සිදු විය හැකිය.
රූපයේ දක්වා ඇති අදියරයන්:
ඔරියන් (Orion) සඳට ළඟා වූ විට, එම අභ්‍යවකාශ යානය විශේෂයෙන් ගනණය කරන ලද කක්ශයකට අවතීර්ණ වේ. මෙම ලක්ෂ්‍යයෙන් පසු ප්‍රධාන එන්ජිම ක්‍රියාත්මක වීමට අසමත් වුවද, චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය මගින් ස්වභාවිකවම ඔරියන් කැප්සියුලය පෘථිවියට ආපසු පැමිණෙන ආකාරයට ගමන් පථය සකසා ඇත. නමුත් මෙම උපාමාරුව සිදු කිරීම සඳහා, යුරෝපීය සේවා මොඩියුලයේ එන්ජිම සහ සියලු උපාමාරු තෙරපුම් එන්ජින් දෝෂ රහිතව ක්‍රියාත්මක විය යුතුය. දිශානති පද්ධතියේ හෝ ඕනෑම ගණනය කිරීමේ දෝෂයක් හෝ උපාමාරු තෙරපුම් එන්ජින් අක්‍රියතාවයක් ඇතිවුවහොත්, යානය ගමන් පථයෙන් ඉවතට ගිලිහී යා හැකිය.
පසුගිය ආටේමිස් 1 මෙහෙයුම අතරතුර, ගමන් පථය හඳුනා ගෙන, එම මාර්ගය අනුගමනය කිරීම සඳහා භාවිතා කරන තාරකා සංවේදක පද්දතිය (Star Tracker System) , එන්ජින් වල තාප බලපෑම් හේතුවෙන් සමහර අවස්ථා වලදී ව්‍යාජ සංඥා තොරතුරු ජනනය කළහ. එම නිසා නාසා ආයතනයේ විශේෂඥයින් විසින් ඊට අදාළ මාර්ගෝපදේශ පද්ධතියේ දෝෂ වැළැක්වීම සඳහා මෘදුකාංග සහ අදාළ ක්‍රියා පටිපාටි, නිසි පරිදි සකස් කළහ. නමුත් අභ්‍යවකාශයේ අනපේක්ෂිත ලෙස නොයෙකුත් ගැටළු වලට මුහුනපෑමට සිදුවේ. එම ගැටලු විසදීම සඳහා නාසා ආයතනයේ විශේෂඥයින් විශාල පිරිසක් නිරන්තරයෙන් යානයත් සමඟ සම්භන්දතාවය පවත්වාගනී.
ඔරියන් කැප්සුලය (යානය) සඳෙහි නොපෙනෙන පිටුපස පැත්තේ, ගමන් කරන විට, ගගනගාමීන්ට ආසන්න වශයෙන් මිනිත්තු 45 ක් පෘථිවිය සමඟ සම්බන්ධතාවය නැති වේ. නමුත් මෙම ගගනගාමීන් ප්‍රථම වරට මිනිස් ඇසින් පෘතුවියට නොපෙනෙන "සඳෙහි අඳුරු පැත්ත" 60% ක් දක්වා මතුපිට දැක ගැනීමට අපේක්ෂා කෙරේ. ඔවුන් හට ඒ සඳහා දළ වශයෙන් නිරීක්ෂණ පැය තුනක කාලයක් කැප කරන අතර පෘථිවියට මුහුණලා ඇති පැත්තට සාපේක්ෂව භූ විද්‍යාත්මක වෙනස්කම් සඳහා ආවාටවලින් සංතෘප්ත වූ භූමි ප්‍රදේශය අධ්‍යයනය කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගැනීමට නියමිතය.
එයට හේතුව, අපගේ සෞරග්‍රහ මණ්ඩලය ේ ග්‍රහලෝකවල, දරු ග්‍රහවස්තූන් (චන්ද්‍රයින්) සඳහා පොදු ගුරුත්ව නීතියක් ඇත. අපගේ සෞරග්‍රහ මණ්ඩලය ේ ග්‍රහලෝකවල විශාල චන්ද්‍රයන් තම අක්ෂය වටා එක් භ්‍රමණයක් (rotation) වීමට ගතවන කාලය, එම චන්ද්‍රයාගේ, මව් ග්‍රහලෝකය වටා එක් වටයක් යාමට (පරිභ්‍රමණයකට / revolution) ගතවන කාලය සමාන වේ. එසේ සිදු වන්නේ, මව් ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑම නිසයි. එය සමමුහුර්ත භ්‍රමණයක් (synchronous rotation) වන අතර සැමවිටම මව් ග්‍රහලෝකයට චන්ද්‍රයාගේ එක් පැත්තක් (Tidal Locking) පමනක් පෙනේ.
පෘතුවියේ සිටින අපට සඳෙහි එක්පැත්තක් පමනක් පෙනෙන්නේ ඒ නිසයි. අපගේ චන්ද්‍රයාට තම අක්ෂය වටා එක් වටයක් කැරකීමටත් (භ්‍රමණයක්), එමෙන්ම, පෘතුවියට සාපේක්‍ෂව එක් වටයක් පෘතුවිය වටා ගමන්කිරීමටත් (පරිභ්‍රමණයකට) ගතවන කාලය දින 27.3 කි. එම වේගයන් සමාන නිසා සැමවිටම පෘතුවියේ සිටින අපට සඳෙහි එක්පැත්තක් දිස් වේ. අනෙක් පැත්ත "සඳෙහි අඳුරු පැත්ත (dark side of the moon)" ලෙස හදුන්වයි. සූර්යාට සාපේක්‍ෂව චන්ද්‍රයාට පෘතුවිය වටා ගමන්කිරීමට (පරිභ්‍රමණයකට) ගතවන කාලය දින 29.5 (දින 29 පැය 12 විනාඩි 44) කි.
සඳෙහි අඳුරු පැත්ත (අඳුරු නැත) මතුපිට නිරීක්ෂණය කිරීම සැලසුම් කරන ලද අනිවාර්ය සිදුවීමක්, වුවත් එය අවදානම වැඩිම කලාපයයි. මෙම අවස්ථාවේදී පැන නගින ඕනෑම ගැටළුවක් පාලක මධ්‍යස්ථානයේ සහාය නොමැතිව ස්වාධීනව තමන්ම විසඳා ගත යුතුය. ස්වයංක්‍රීය පද්ධති අසමත් වුවහොත් අභ්‍යවකාශ යානය නියමුවා විසින් පාලනය කිරීමට ගගනගාමීන් පුහුණුවීම් කර ඇත. එපමනක් නොව, ඔවුන් සම්පූර්ණයෙන්ම හුදකලාව ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානම් කර ඇත. මීටර් 5m ක විෂ්කම්භයකින් යුත් මුද්‍රා තැබූ ඔරියන් කැප්සියුලය (යානය) තුල දින දහයක් ගත කිරීම, කායිකව පමණක් නොව මානසිකව පහසු කාර්යයක් නොවේ. තාක්ෂණික වශයෙන් ද ඔරියන් කැප්සියුලයේ සියළුම ජීවිත ආධාරක හා ආරක්‍ෂක පද්ධති සියල්ල, දෝෂ රහිතව ක්‍රියා කළ යුතුය.
ගගනගාමීන් නින්ද, ව්‍යායාම සහ මෙහෙයුම්වල ආතති සහගත අවධීන්හිදී තාපය, කාබන් ඩයොක්සයිඩ් හා තෙතමනය ජනනය (දහඩිය සහ ප්‍රාශ්වාස වාතයේ ජලවාශ්ප) කරයි. ඔරියන් කැප්සියුලය (යානය) තුල වායු පුනර්ජනන පද්ධතිය වාතයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරයි. එමෙන්ම ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය නියමිත අගයන්හි පවත්වා ගනී. ඒ සඳහා හැම විටම ප්‍රධාන පද්ධති වලට අමතරව, අමතර සංවේදක සහ උපස්ථ පද්ධති (අමතර පද්ධති) ස්ථාපනය කර ඇත. නමුත් ආරම්භයේ සිට අවසානය දක්වා ගගනගාමීන් සමඟ ගැඹුරු අවකාශයට ගමනක් වන මෙය, වසර 54 කට පසු (Apollo 17, December 19, 1972 පසු) ක්‍රියාත්මක වන පළමු මෙහෙයුමයි. එය ඉතා අවදානම් සහගත මෙහෙයුමකි. නමුත්, ගගනගාමීන් ඒ ගෙන හොදින් දැනුවත් කර ඇති අතරම, එම වදානම් වලට මුහුන දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
වායු පිරිපහදු පද්ධතිය අසමත් වුවහොත්, යානය තුල වාතයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම් ඉහළ යාමට පටන් ගනී. වාතයේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ සාන්ද්‍රණයක් ඇති විට හිසරදය, තම දිශානතිය නැතිවීම, නින්දට යාම සහ අවසානයේ සිහිය නැති වීමට හේතු වේ. තවත් සාධකයක් වන්නේ මානසික පීඩනයයි. ගගනගාමීන් පෘථිවියෙන් හුදකලා වී, දිගු පියාසැරි අවධීන්, අදි ගුරුත්ව බල වලට මුහුනදීමට සිදු වීම සහ සමහර කාල පරිච්ඡේද පෘථිවිය සමග සන්නිවේදනයකින් තොරව කටයුතු කිරීමට සිදු වීම. එපමනක් නොව කලින් සදහන් කල පරිදි කුඩා අවකාශයක් ඇති යානයේ, ගගනගාමීන් හතර දෙනෙකු දින 10 ක් ගත කිරීම පහසු කාර්යයක් නොවන අතරම මාර්ස් (අඟහරු ) ග්‍රහයා වෙත යාමේදී දින 90-120 ක් පමන ගතකිරීමට සිදුවන හෙයින් මෙය පෙරහුරුවක් වනු ඇත. එවැනි ආතතියක් දරා සිටීම සඳහා ගගනගාමීන් සූදානම් කිරීමට නාසා ආයතනයේ විශේෂඥයින් විසින්, ඉතාලියේ ගල් ගුහා වල සහ දිය යට කැප්සියුලවල (යානයට සමාන කුටීරයක්) ආන්තික තත්වයන් යටතේ පුහුණු කරන ලදි.
එපමනක් නොව විශේෂ අත්හදා බැලීමක් වන ආචර් (ARCHeR - Artemis Research for Crew Health and Readiness), තත්‍ය කාලීනව දත්ත රැස් කරන අතේ පළඳින ඔරලෝසුවක් වැනි උපකරණයක් භාවිතයෙන් ගගනගාමීන්ගේ නින්ද, මානසික ආතතිය, සංජානන ක්‍රියාකාරිත්වය සහ කණ්ඩායමක් ලෙස එකට වැඩකිරීමේ හැකියාව නිරීක්ෂණය කරයි. අනාගත දිගුකාලීන මෙහෙයුම් සඳහා මෙම තොරතුරු ඉතාමත්ම වැදගත් වේ.
මෙහෙයුමේ තවත් වඩාත්ම අවදානම් අවධියක් වන්නේ, අවසානයේ ගගනගාමීන් පෘථිවියට නැවත පැමිනෙන විටයි. දෙවන ආටේමිස් මෙහෙයුමේ ඔරියන් යානය (කැප්සුලය) පැයට කිලෝමීටර 40,000 km/h ක පමණ වේගයකින් පෘථිවියේ වායුගෝලයට ඇතුළු වනු ඇත. මෙය ශබ්දයේ වේගය මෙන් 32 (මැක් / Mach 32) ගුණයක් පමණ වේ. එය මේ දක්වා පෘථිවියේ වායුගෝලයට ඇතුළු වන වේගවත්ම යානයේ වායුගෝලීය ප්‍රවේශයයි. සංසන්දනය කිරීම සඳහා, උදාහරනයක් ලෙස ඇමෙරිකානු අභ්‍යවකාශ ෂටල සහ රුසියානු සොයුස් කැප්සූල ආපසු පැමිණියේ පැයට කිලෝමීටර 28,000 km/h ක පමණ වේගයකිනි.
දෙවන අටේමිස් මෙහෙයුමේ ඔරියන් කැප්සියුලය (යානය) වායුගෝලයට ඇතුළු වූ විට, වායු අණු සම්පීඩනය වී වාතය සමග ඇතිවන ඝර්ෂණය නිසා සෙල්සියස් අංශක 2,760 °C පමණ උෂ්ණත්වයක් දක්වා ඉහල යනු ඇත. එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයෙන් අඩක් පමණ වේ. එමනිසා ඔරියන් කැප්සියුලය (යානය) උණුසුම් ප්ලාස්මා බුබුලකින් (ගිනිදැල් වලාවකින්) වැසී යනු ඇත. මේ මොහොතේ, සියල්ල තාපය මත රඳා පවතී. ප්‍රධාන ගැටළුව වන්නේ මෙයයි. වසර 2022 දී ගගනගාමීන් රහිත ආටෙමිස් 1 මෙහෙයුම අතරතුර, ඔරියන් කැප්සියුලයේ (යානයේ), අධික තාපයෙන් ආරක්ෂා වීමට ඇති තාප පලිහ අනපේක්ෂිත හානියක් සමඟ මුහුදට ගොඩබෑම සිදුවිය.
එසේ සිදුවීමට හේතුව වූයේ තාප පරිවාරක ආවරණයේ (TPS - Thermal Protection System) ස්ථාන 100 කට වැඩි ගණනක, තාප පලිහේ ආවරණ ද්‍රව්‍ය ඉරිතලා විශාල කැබලිවලට කැඩී යාම හේතුවෙනි. මෙය ඉංජිනේරුවන් නොසිතූ පරිදි සිදු වූ නිසා කම්පනයට පත් වූ අතර හේතුව ඉක්මනින් සොයාගන්නා ලදී. ආරක්ෂිත ස්ථරයේ තාපය ඉහල යාමේදී සෑදෙන ලද වායූන් වලට පිටවීමට ප්‍රමාණවත් තරම් පාරගම්‍ය නොවූ බැවින්, වාතය පිටවීමේදී ආරක්‍ෂක ස්ථර ඉරිතැලීම් සහ විශාල කොටස් ගැලවී යාමට හේතු විය.
මෙහි ප්‍රධාන ගැටළුව වන්නේ ආටෙමිස් 2 මෙහෙයුමේ ඔරියන් යානය සඳහා වන තාප පලිහ (TPS) ආටෙමිස් 1 මෙහෙයුමට පෙර නිෂ්පාදනය කර ස්ථාපනය කර තිබීමයි. එය හානි වූ ආටෙමිස් 1 ඔරියන් යානය සඳහා වන තාප පලිහට ප්‍රායෝගිකව සමාන වේ.
තවද, ආටෙමිස් 2 තාප පලිහයේ ආවරනය ඊටත් වඩා අඩු පාරගම්යතාවයක් ඇති, ආවරණ ද්‍රවය භාවිතා කරයි. එම නිසා නාසා ආයතනය මතභේදාත්මක තීරණයක් ගන්නා ලදි. එය, පලිහ ප්‍රතිස්ථාපනය කිරීම නොව, ඔරියන් යානය (කැප්සූලය) වායුගෝලයට නැවත ඇතුළුවීමේ ගමන් පථය වෙනස් කිරීමට තීරණය කිරීමකි.
ආටෙමිස් II ඔරියන් යානය (කැප්සූලය) සම්මත නොවන ක්‍රමයකට, පෘථිවියේ වායුගෝලයට ඇතුලු වීමක් ලෙස දැක්විය හැකිය. එනම්, ප්‍රථමයෙන් ඔරියන් යානය වායුගෝලයට ඇතුලු වී, නැවත අභ්‍යාවකාශයට ගමන් කරන අතර නැවත වායුගෝලයට ඇතුලු වේ. මෙසේ කිහිපවතාවක් සිදු කිරීම මගින් වේගය අඩු කර වායුගෝලයට ඇතුළුවීම, සාමාන්‍ය පරිදි සිදුකල හැකි බව නාසා විශේෂඥයින් විසින් අවබෝද කරගත් පසු අදාල ගනනය කිරීම් සහ පරිඝණක ආකෘති කරනය මගින් එය ඉතා නිවැරදි ලෙස සිදු කරනු ලැබේ. ඔරියන් යානය (කැප්සූලය) වායුගෝලයට ඇතුලු වන විට, වාතයත් සමග ඇතිවන ඝර්ෂණය නිසා මතුපිට තාපය ඉහල යයි. එම අවස්තාවේ, වාතයේ ප්‍රතිරෝධය නිසා යානයේ වේගය මන්දනය වන අතර, යානය නැවත අභ්‍යාවකාශයට ගමන් කිරීම නිසා තාප ශක්තිය හානි වී මතුපිට සිසිල් වේ. සිසිල් වීම සිදුවන්නේ අභ්‍යාවකාශය ඉතාමත් ශීත රික්තක පරිසරයක් නිසා ය. පසුව, එය නැවත වායුගෝලයට ඇතුලු වේ. මෙසේ කිහිපවතාවක් සිදු කිරීමෙන් පසුව, වේගය මන්දනය කර ඔරියන් යානය (කැප්සූලය) අවසාන ගොඩබෑමක් සඳහා නැවත වායුගෝලයට ඇතුළු වනු ඇත. මේ සම්භන්දයෙන් විශ්‍රාම ලත් ගගනගාමීන් සහ නාසා විශේෂඥයින් විවෘතව කනස්සල්ල පළ කර තිබේ.
මෙය අප හොඳින් දන්නා, වතුරේ පැන පැන යාමට ගලක් ගැසීමේදී ඇතිවන භෞතික බලපෑමට සමාන ගලේ ගමන් පථය, අවසානයේ ගල ජලය තුලට කිමිදෙනවා මෙන් ඔරියන් යානයද වායුගෝලයට ඇතුලු වේ.
තාප ආරක්ෂණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ඩෑන් රස්කි (Dr. Daniel Rasky) මහතා පවසන අන්දමට තාප ආරක්ෂක පලිහෙහි විශාල කොටස් කැඩී ගිය විට, කැප්සියුලය නොවෙනස්ව පැවතුනද, යානය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානම ඉතාමත්ම ඉහල බවයි. නව පරපුරේ අභ්‍යවකාශ ඇඳුම් සහ උසස් ජීවිත ආධාරක පද්ධති නිශ්පාදන ආයතනයක් වන "කොලින්ස් අයෙරොස්පේස්" ආයතනයේ අධ්‍යක්ෂවරයා වන, විශ්‍රාමලත් ගගනගාමී සහ ඉංජිනේරු ඩැනී ඔලිවාස් (Engr. John D. Olivas) මහතා, පවසන අන්දමට ආටෙමිස් II මෙහෙයුමේ ඔරියන් කැප්සූලයට වඩා, ආටෙමිස් 2 මෙහෙයුමේ ඔරියන් කැප්සූලය තාප ආරක්‍ෂක ආවරණ ස්ථරයට වැඩි හානියක් සිදුවුවද, ගගනගාමීන් ආරක්ෂා වන අතර අවදානමක් නොමැති බවයි.
නාසා (NASA) ආයතනය අතිරේක පරීක්ෂණ කිහිපයක් සිදු කළ අතර, සියලුම විශ්ලේෂණයන් මෙහෙයුමේ ආරක්ෂාව තහවුරු කරන බව ආයතනය පවසයි. නාසා හි නව පරිපාලක, ගගනගාමී ජැරඩ් අයිසැක්මන් (Astr. Jared Isaacman) මහතා, ඉංජිනේරුවන් සහ බාහිර විශේෂඥයින් හමුවීමෙන් පසු සැලැස්ම කෙරෙහි තමාට පූර්ණ විශ්වාසයක් ඇති බව ප්‍රකාශ කලහ.
නමුත් විවාද දිගටම පවතී. ආටේමිස් II මෙහෙයුම දියත්කිරීමට මේ වසරේ 2026 අප්‍රේල් මස 1 දිනට නියමිතව ඇත. 2026 මාර්තු 19 වනවිට රොකට් යානය, ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් (අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානය) කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ, ගුවන්ගත කිරීමේ වේදිකාව (launch pad) මත පිහිටුවීමට නාසා (NASA) ආයතනය කටයුතු කරමින් සිටී.
පෘතුවියේ ඉලිප්සාකාර කක්ශයෙන් මිදී, සඳ වෙත ගමන්කිරීම සඳහා (Trans-Lunar Injection / TLI) ඔරියන් (Orion) යානයේ ප්‍රධාන එන්ජිම සක්‍රීය කර [6], පෘතුවියෙන් දුරස් වූ අවස්ථාවේ, කපිතාන් රීඩ් වයිස්මන් විසින් ලබාගත් අපගේ සුන්දර පෘතුවියේ ඡායාරුපයක් 'නාසා' ආයතනය වෙත එවන ලදි. එය ඔහු විසින් “HELLO WORLD“ ලෙස නම්කර ඇත. එහි උතුරු සහ දකුණු අර්ධගෝල වල අවුරෝරා ( Aurora ) ද දිස් වේ.
ආටෙමිස් II මෙහෙයුමේ සඳ වෙත ගමන් කල ඔරියන්/ඔරායන් අභ්‍යවකාශ යානය නිල වශයෙන් "ඉන්ටෙග්‍රිටි (Integrity)" ලෙස නම් කර ඇති අතර එය සන්නිවේදන ඇමතුම් නාමය ලෙසද භාවිතා කරයි. එසේ නම් කිරීමට තීරනය කර ඇත්තේ ගගනගාමීන් හතරදෙනා විසිනි. එයට හේතුව වූයේ, ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ ය සඳහා අත්‍යවශ්‍ය ගුණාංග වන විශ්වාසය, අවංකභාවය, ඉතාමත්ම වගකීමෙන් කටයුතු කිරීම සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම නියෝජනය කිරීමත්, මෙහෙයුමේ සේවය කළ දහස් ගණනක් ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින්ට ද එය ගෞරවයක් වන නිසයි.