මෙතෙක් සිදු වූ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය වන චෙර්නෝබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර, 1986 අප්‍රේල් 26 වන දින ඉතිහාසයට සදහටම එක්විය. එය, න්‍යෂ්ටික ශක්තිය බලශක්තිය සඳහා භාවිතා කිරීම පිළිබඳ ජනතාවගේ අවබෝධය උඩු යටිකුරු කළේය. අනතුරේ ප්‍රතිඵලයක් ලෙස සුලු පිපිරීමක් (න්‍යෂ්ටික බෝම්බයක් මෙන් නොවේ) සමග විශාල ප්‍රමාණයක් විකිරණ ශීලී ද්‍රව්‍ය ( විකිරණ ශීලී නියුක්ලයිඩ) වයුගෝලයට එක්වූවා පමනක් නොව බලාගාරය වටා කිලෝමීටර් 30km ක පරාසයක, විකිරණ ශීලී ද්‍රව්‍ය ක්ෂණික බැහැර වී ඇති කලාපයක් ඇතුළත් වූ අතර යුක්රේනය (Ukraine), බෙලරුස් (Belarus) සහ රුසියාව (Russia) තුළ දැවැන්ත දූෂණයක් ඇති විය.
එමෙන්ම විකිරණශීලී (" විකිරණශීලී නියුක්ලයිඩ) ද්‍රව්‍ය යුරෝපය සහ උතුරු අර්ධගෝලය පුරා සුළඟ හරහා පැතිර ගිය අතර, ස්විට්සර්ලන්තය සහ උතුරු යුරෝපා රටවල් වැනි දුර බැහැර ප්‍රදේශවලට පවා එහි බලපෑ දූෂණය හේතුවෙන් මත්ස්‍ය පරිභෝජනය සීමා කරන ලදි. වඩාත්ම සැලකිය යුතු දූෂණය බෙලරුස් වල (වර්ග කිලෝමීටර 150,000 දක්වා), යුක්රේනය සහ රුසියාව යන රටවල විශාල ප්‍රදේශයක් විකිරණශීලී ද්‍රව්‍ය මගින් දූෂණය වී ඇත. පිපිරීම හේතුවෙන් දෙදෙනෙක් මිය ගිය අතර, හදිසි සේවා කාර්යමන්ඩලයේ 28 දෙනෙක් මාසයක් ඇතුලත උග්‍ර විකිරණ සින්ඩ්‍රෝමය (Acute Radiation Syndrome / ARS) නිසා මියගිය අතර තව 4000 - 90,000 දක්වා පිළිකා රෝග, හදවත් රෝග සහ අන්තරාසර්ග පද්ධතිය (හෝර්මෝන නිශ්පාදනය අඩාල වීම) ආශ්‍රිත රෝග වලින් මිය යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
විනාශ වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය තුල තවමත්, න්‍යෂ්ටික ඉන්ධන වන යුරේනියම් ඔක්සයිඩ් (UO₂) 95% ක් පමන සහ අතිශයින් විකිරණශීලී න්‍යෂ්ටික අපද්‍රවය අන්තරගත වේ. රටවල් 40 ක, එනම් යුරෝපා සංගමය, ජාත්‍යන්තර ප්‍රජාව සහ අවට රටවල ආධාර ඇතිව එය විකිරණශීලී ප්‍රතිරෝධයක් වන විශාල ලෝහ ආවරණයක් මගින් වසා දමන ලදි. නමුත් කි.මී. 30ක් වූ පරාසයකින් යුත් අවට පරිසරය විකිරණශීලී නියුක්ලයිඩ (විකිරණශීලී අපද්‍රවය) මගින් අවවිත්‍ර වී ඇත.
ප්‍රධාන වශයෙන් විකිරණශීලී ද්‍රව්‍ය (විකිරණශීලී නියුක්ලයිඩ) ලෙස සේසියම්-137 (Cesium-137) සහ ස්ට්‍රොන්ටියම්-90 (Strontium-90) විශාල ප්‍රමාණයක් වූ අතර මද වශයෙන් ප්ලූටෝනියම් (Plutonium) ද අඩංගු විය. මෙම දිගුකාලීන අර්ධ ආයු කාලයක් ඇති සමස්ථානික පස සැලකිය යුතු ලෙස දූෂණය කර ඇති අතර ඉඩම් භාවිතය සීමා කරන ලදි. විනාශ වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ඇති ගොඩනැගිල්ල අවට දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවල අයනීකරණ විකිරණශීලී මට්ටම පැයට රොන්ට්ජන් 20,000 ක් (R/h) පමන (එනම් තත්පරයට රොන්ට්ජන් 5.6 R/s ක් පමන) වන අතර මාරාන්තික මාත්‍රාව වන්නේ, රොන්ට්ජන් 500 (ග්‍රේ ~5කි / ~5 Gray) පැය පහක් තුල එල්ලවූ විටය. එනම්, පැයට රොන්ට්ජන් 20,000 R/h ක අයනීකරණ විකිරණශීලී මට්ටමකට මුහුනපෑමට සිදු වුවහොත්, පැයකට වඩා අඩු කාලයක්දී මාරාන්තික විකිරණශීලී මත්‍රාව ලැබෙනවා මෙන්ම, දින කිහිපයකින් මරණයට පත් වේ.
එම විනාශවූ චෙර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය අසල, අයාලේ යන සුනඛයින් එන්නත් කිරීම සඳහා ගිය අවස්ථාවකදී, හමුවී ඇති සුනඛයින් (බල්ලන්) කිහිපදෙනෙකු අතර නිල් පැහැති සුනඛයින් හමුවී ඇත. එම සිද්ධිය හේතුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ඇති විය. සුනඛයින් පරම්පරා කිහිපයක් එහි ජීවත් වී ඇති අතර නිල් පැහැති සුනඛයින් ඇතිවීමට හේතුව ජාන විකෘතියක් බව ජනතාව තුල මතයක් ඇතිවිය. එම හේතුව නිසා විද්‍යාඥයන් සුනඛයින්ගේ ලේ සාම්පල ලබා ගත් අතර, ජාන විකෘති ගණනාවක් ඇති බව සොයගත් නමුත් නිල් පැහැති සුනඛයින් ඇතිවීමට එම ජාන විකෘති හේතු නොවන බව අනාවරණය කලහ. විද්‍යාඥයන් විසින් තව තවත් පරීක්ෂණ කරමින් පවතී. විද්වතුන් පවසන්නේ සුනඛයින් නිල් පැහැයක් ගෙන ඇත්තේ, චෙර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය අසල ගබඩා කර ඇති කිසියම් රසායනික ද්‍රව්‍යයක් නිසා බවයි.
කෙසේ වෙතත්, විකිරණශීලීත්වය මාරාන්තික මාත්‍රාවට වඩා 40 ගුනයකින් පමන ඉහල ආන්තික තත්වයන් යටතේ, මෙම සුනඛයින් ජීවත්වීමට අනුවර්තනය වීම ඉතාම වැදගත් කරුණකි. ජීවී සෛලයකට විකිරණශීලීත්වය බලපාන්නේ එකම ආකාරයකටය. එනම්, මිනිස් සෛලයකට හෝ සුනඛයෙකුගේ සෛලයකට එක ලෙස බලපායි. එයින් අදහස් වන්නේ මිනිසාටද අනුවර්තනය විය හැකි බවද? ඔව්, නමුත්, මිනිසාගේ සම ලොම් රහිතය, ඉක්මනින් සම හරහා විනිවිද යයි. සුනඛයෙකුගේ ලොම් සහ ලොම් වල ආරෝපණ මගින් පූර්ව ආරක්ෂාවක් ලබා දෙනවා විය හැකිය. ඒ කෙසේ වෙතත්, විකිරණශීලී අංශු මගින් සුනඛයින්ගේ ශරීර අභයන්තරයේ ඇති කරන වෙනස්කම් පිළිබඳව පරීක්ෂණ (Scan) සිදුකල යුතුව ඇත.
තවද, සමහර ජීවීන් සඳහා, මෙම භූමිය මාරාන්තික නොවන අතර නව නිවහනක් බවට පත් විය. විනාශ වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය අසලට මිනිසුන් ඇතුළු වීමට බිය වුවද, අනෙකුත් ජීව ස්වරූප එහි ජීවත් වෙමින් අනුවර්තනය වෙමින් පවතී. එයින් එක් ජිවී ස්වරූපයක් වන්නේ ලොව වඩාත්ම විකිරණශීලී ගොඩනැගිලිවලින් එකක් වන, මෙම බලාගාරයේ බිත්ති මත ජීවත් වන කළු දිලීරයක් (පුස්) වන Cladosporium sphaerospermum නම් දිලීරයයි.
මෙම ආන්තික තත්වයන් යටතේ වුවද, දිලීරය විනාශ නොවී පවතිනවා පමණක් නොව කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්වයි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එහි අඳුරු වර්ණකය වන මෙලනින්, අයනීකරණ විකිරණවල ශක්තිය අවශෝෂණය කර, සූර්යාලෝකය අවශෝෂණය කර ශාක වල ක්ලෝරෝෆිල් විසින් ප්‍රභාසංස්ලේෂණය මෙන්, ජීවය සඳහා, ගබඩා කල හැකි ශක්තිජනක සංයෝග නිශ්පාදනය කළ හැකි බවයි. මෙම ක්‍රියාවලිය විකිරණ-සංස්ලේෂණය ලෙස හැඳින්වේ. මෙලනින් වර්ණකය අඳුරු සමක් ඇති අපගේ සමේ මෙලනින් සෛල වල ප්‍රධාන සංඝටකයකි. එය පරිසරයෙන් අපට දායාද කර ඇත්තේ සූර්යාගේ විකිරණ වලින් ආරක්ෂා වීම සඳහායි.
ඒ අතරම, චෙර්නෝබිල් ප්‍රදේශයේ ගෙම්බන්, විශේෂයෙන් නැගෙනහිර ගස් ගෙම්බන්, අඳුරු සම (Melanism) පරිණාමය වීමෙන් ඉහළ විකිරණවලට වේගයෙන් අනුවර්තනය වී ඇත, මෙලනින් ශක්තිය අවශෝෂණය කිරීමෙන් විකිරණ හානිවලින් ආරක්ෂා කරයි, අඳුරු ගෙම්බන් දූෂිත කලාපයේ ජීවත් වීමට සහ ප්‍රජනනය කර පරිණාමය වෙමින් නව ප්‍රභේද බිහි කරයි.. සාමාන්‍යයෙන් කොළ පැහැති ගෙම්බන් අධික ලෙස දූෂිත වූ ස්ථානවල කළු පැහැයට හැරේ.
මෙයින් පහැදිලි වන්නේ, මෙවැනි ආන්තික තත්ව වලට පවා, කාලයත් සමග ජීවීන් අනුවර්තනය විය හැකි බවයි. එපමනක් නොව න්‍යෂ්ටික බෝම්බ වලට ඇති බිය අඩු වීමට හේතුවක් වන නිසා, එවා භාවිත කිරීමේ අවදානම වැඩි විය හැකිය. එයට හේතුව න්‍යෂ්ටික බෝම්බ වලින් පසුව විනාශයට අමතරව වසර ගණනාවක් එම ප්‍රදේශය විකිරණශීලී ද්‍රව්‍ය මගින් දූෂණය වීම නිසා හුදකලා කිරීමට සිදු වේ. නමුත් කෙටි කාලයක් තුල ජීවීන්ගේ අනුවර්තනයක් සිදුවන්නේ නම්, දිගුකාලීනව හුදකලා කිරීම අවශ්‍යය නොවන නිසාය.