සූර්යයා ගේ සිට එල්ලවන විකිරණ වලින් අප ආරක්ෂා වන්නේ අපගේ පෘතුවියේ ඇති චුම්භක ක්ශේෂ්ත්‍රය මගිනි. ඕසෝන ස්ථරය මගින් පාරජම්බුල කිරණ උරාගනී. පෘතුවියේ වායුගෝලයට ඇතුලු වන විකිරණ වායුගෝලය තුල ඇති ජල වාෂ්ප මගින් ඉන් කොටසක් උරාගන්නා අතර ඉතිරි කොටස පොලොවට පතිත වේ. පෘතුවියේ ඇති චුම්භක ක්ශේෂ්ත්‍රය මගින් සූර්යයා ගේ සිට පැමිණෙන විකිරණ ශීලී ප්ලාස්මය වෙත පලිහක් ලෙස ක්‍රියාකර පෘතුවියෙන් ඉවතට තල්ලු කර දමයි. එමෙන්ම, එම චුම්භක ක්ශේෂ්ත්‍රය මගින් විශාල පරාශයක් ආවරණය කරයි. එනම්, පෘතුවියේ සිට චන්ද්‍රයා (සඳ) දක්වා වූ පෘතුවිය වටා පරාසය ආරක්‍ෂා කරන අතර චන්ද්‍රයා ආසන්නයේ ක්‍රමක් ක්‍රමයෙන් දුර්වල වී යයි.
නමුත්, සූර්යයාගේ සිට එල්ලවන විකිරණ ප්‍රමාණය ඉහළ ගිය විට ඒවා පෘතුවියට ඇතුලු වේ. එසේ ඇතුළු වන විකිරණ අංශු ජීවීන්ට පමණක් අහිතකර නොවන අතර ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝනික උපාංග වලටද බලපායි. මෑතකදී, 2025 නොවැම්බර් මස අග භාගයෙදී එයාර්බස් (Airbus) A320 යානයක් තම පරීක්ෂණ පියාසැරියක් කරමින් සිටි අතරතුර, හදිසියේ පියාසර උස පවත්වාගැනීමට නොහැකිව පහතට වැටීමට පටන් ගත්හ. එසේ සිදුවූයේ වාතයේ කැළඹිලි ස්වභාවයක් හෝ වායු අවපාතයක් නිසා නොව, සූර්යාගේ සිට පැමිණි අධිශක්ති විකිරණශීලී අංශු බව අනාවරනය විය. එනම්, විකිරණ අංශු යානයේ සංවේදක හා පියාසර පාලක පරිඝණකය හට බාධා ඇතිකිරීම තුලින් යානය පාලනය කරන යානයේ කොටස් වන අයිලරෝන් (Ailerons), එලෙවේටර්ස් (Elevators), රඩර්ස් (Rudder) හට පියාසර පරිඝණකයේ සිට එම පාලක වලට එන විදුලි සංඥා (fly-by-wire / FBW) තත්පරයක් පමන ප්‍රමාද වී පැමිනි නිසා එසේ සිදු වූ බව එයාර්බස් (Airbus) ආයතනය අනාවරණය කරගත් අතර පියාසර පාලක පරිඝණකයේ මෘදුකාංග නිවැරදි කිරීමක් මගින් එයට විසඳුමක් සකස් කරන ලදි.
පෘතුවිය සහ පෘතුවිය අවට අභ්‍යාවකාශය ආරක්ෂා වී ඇති නිසා පහළ පෘථිවි කක්ෂයේ (LEO) ඇති චන්ද්‍රිකා ( ස්ටාර්ලින්ක් ) සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හොඳින් ආරක්ෂා වේ. පොලොවේ සිට කි.මී. 35,786 පමන ඉහලින් අභ්‍යාවකාශයේ භූ ස්ථාවර (සාපේක්ෂ වේගයකින්) චන්ද්‍රිකා ගමන් කරමින් ඇත. ඒවා රන්පත්‍ර මගින් ආවරණය කර ඇති නිසා විකිරණ සංවේදී උපකරණ ආරක්ෂාවේ.
කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ (Silicon Valley), නාසා (NASA) හි, Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින්, බයෝසෙන්ටිනල් (BioSentinel) නම් කුඩා චන්ද්‍රිකාවක් තුළ ජීව විද්‍යා අත්හදා බැලීමක් ආධාරයෙන්, ගගනගාමීන් / අභ්‍යවකාශගාමීන් ඈත අභ්‍යවකාශයට ගවේශණ සඳහා යාමේදී (මාර්ස් / අඟහරු ග්‍රහයා වෙත), සූර්යයාගේ සිට එල්ලවන විකිරණ වලින් අභ්‍යාවකාශයේ ඔවුන්ව ආරක්ෂා කිරීමට විසඳුම් සෙවීම සඳහා මුල් පියවරක් ලෙස පරීක්ෂණ කරමින් සිටිති. එමෙන්ම, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) තුලද, රටවල් ගණනාවක විද්‍යාඥයන් පරීක්ෂණ ගණනාවක් සිදුකරයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලොවේ සිට කි.මී. 403km පමන උසකින් අභ්‍යාවකාශයේ පෘතුවිය වටා ගමන් කරමින් ඇති යානයකි. එය සැමවිටම පෘථිවිය වටා ගමන් කරන කක්ෂ තලය සමකයේ සිට 51.6° (orbit inclination) කක්ෂයේ ගමන් කරයි. එය සෑම දිනකම කක්ෂයේ වට 16ක් ගමන් කරයි. එනම්, දිනකට 16 වතාවක් හිරු උදාවීම සහ හිරු බැස යෑම දැකිය හැකිය. පෘතුවිය වටා එක් වටයක් යාමට එයට විනාඩි 90ක් තරම් සුලු කාලයකින් නිමකල හැක්කේ එහි වේගය පැයට කි.මී. 27500 kmph ක් පමන වන නිසාය. රාත්‍රී අහසේ එය පියාසර කරන විට, ගුවන්යානයකට වඩා වේගයෙන් ගමන් කරන ඉතා දීප්තිමත් තාරකාවක් ලෙස පියවි ඇසින් දැකබලා ගත හැකිය.
එය ඉදිකරන ලද්දේ රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) සාමාජික රටවල් ඇතුළු රටවල් 15 ක ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් මගිනි. මෙම සහයෝගීතා ව්‍යාපෘතිය වසර ගණනාවක් පුරා කොටස් වශයෙන් අභ්‍යාවකාශයේදී කක්ෂයේ එකලස් කළ අතර, එක් එක් හවුල්කරු විවිධ මොඩියුල, දෘඩාංග සහ විශේෂඥතාව සඳහා දායක විය.
1998 නොවැම්බර් මාසයේදී රොකට් යානාවක් මගින් ප්‍රධාන පාලන මොඩියුලය වන සර්යා මෝඩුලය (Zarya Control Module), ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි පළමු කොටස රුසියාව විසින් තනා කක්ෂගත කරන ලදි. එය ඊළඟට පැමිණෙන අභ්‍යවකාශ යානා සඳහා නවාතැන්පොල වන අතර, ඉන්ධන ගබඩා කිරීම, බැටරි බලය සහ පෘතුවියේ සිට පැමිණි අභ්‍යාවකාශ යානා සම්බන්ධ කර නවත්වාගෙන, පවත්වාගෙන යාම හෙවත් ඩොකින් කිරීමේ හැකියාවන් වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සපයන ලදී.
1998 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපදය විසින් සාදන ලද යුනිටි මොඩියුලය (Unity Module) රොකට් යානාවක් මගින් කක්ෂගත කරන ලද අතර එය සර්යා මෝඩුලයට සම්භන්ද කරන ලදි. එය අනෙකුත් මොඩියුල සම්භන්ද කිරීම සඳහා සම්බන්ධකයක් ලෙස පවතින අතර ගගනගාමීන් සහ අභ්‍යවකාශගාමීන් සඳහා කොරිඩෝවක් වනු ඇත.
ස්වෙස්දා සේවා මොඩියුලය (Zvezda Service Module) වසර 2000 දී දියත් කරන ලදි. මෙම රුසියානු මොඩියුලය ප්‍රථම වාසස්ථානය සහ ක්‍රියාකාරී මධ්‍යස්ථානය බවට පත්විය. ඉන් පසුව කාලයත් සමඟ එකතු කරන ලද තවත් මොඩුයල වන ඩෙස්ටනි (Destiny), හාර්මොනි (Harmony) වැනි මොඩුයල එක් වීමෙන් පසු, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොටස් වශයෙන් තැනීම 2011 වසරේදී නිමා වන්නට විය.
ගගනගාමීන්/අභ්‍යවකාශගාමීන් ස්ථිර ලෙස මාස ගනනක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වීම ආරම්භ වූයේ (Expedition 1) වසර 2000 නොවැම්බර් මාසයේදීය. නාසා ආයතනයේ ගගනගාමී විලියම් ෂෙපර්ඩ් (Astro. William Shepherd), රුසියානු රොස්කොස්මස් ආයතනයේ ගගනගාමී යූරී ගිද්සෙන්කෝ (Astro. Yuri Gidzenko) සහ ගගනගාමී සෙර්ගෙයි ක්‍රීකල්යොව් (Astro. Sergei Krikalev) මාස ගනනාවක් සඳහා එහි ප්‍රථම පදිංචි කරුවන් විය.
එම නිසා ගගනගාමීන් සහ අභ්‍යවකාශගාමීන් හට, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල මාස ගනනාවක් ජීවත් වෙමින් පෘතුවියේ ජීවය පවත්වා ගැනීම හා සම්භන්දව පරීක්ෂණ සිදුකරයි. මේ දකවා කරන ලද එම පරීක්ෂණ අතර ජීවයට අභ්යවකාශ ක්ශුද්‍ර ගුරුත්වයේ බලපෑම, කායික හා මානසික බලපෑම, ආහාර සඳහා අභ්‍යවකාශයේ කුඩා ශාක වගා කිරීම සහ ක්ශුද්‍ර ගුරුත්ව තත්වය යටතේ වෙනස් පරිසරයක ශාක වල පැවැත්ම අවබෝධ කර ගැනීම, කුඩා ජීවින්ගේ වර්ධනය, නව බෙහෙත්වර්ග සොයාගැනීම, අදි-සංවේදී උපකරණ අදාරයෙන් පෘතුවිය නිරීක්ෂණය කිරීම සහ පෘථිවියේ දත්ත රැස් කිරීම, කාබනික ද්‍රව්‍ය කෙරෙහි සූර්යයාගේ විකිරණවල බලපෑම අධ්‍යයනය කිරීම, වැදගත් ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් විමර්ශනය කිරීම, අනාගත අභ්‍යවකාශ ගවේෂණ යන් වන සඳ සහ අඟහරු වෙත යාමේ මෙහෙයුම් සඳහා නව තාක්ෂණයන් සංවර්ධනය කිරීම මෙන්ම, වෙනත් භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක පරීක්ෂණ බොහොමයක් දැක්විය හැකිය.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station / ISS) ඇති සීත පරමාණු රසායනාගාරය (Cold Atom Laboratory / CAL) නිරපේක්ෂ ශුන්‍යයට ( 0 K කෙල්වින් /-273.15 C සෙල්සියස්) ආසන්න උෂ්ණත්වයකට පරමාණු සිසිල් කිරීමෙන් තවත් ඉතා වැදගත් පරීක්ෂණ සිදුකරයි.
සියලු පදාර්ථ තත්වයන්: බෙක් (BEC) තත්ත්වය (අබෝඝනී), ප්ලාස්මා තත්ත්වය, වායු තත්ත්වය, ද්‍රව තත්ත්වය, ඝන තත්ත්වය.
එය බෝස්-අයින්ස්ටයින් ඝනීභවනය (Bose-Einstein condensates / BECs) නිර්මාණය කිරීමට ඉඩ සලසයි. මෙම අද්විතීය පස්වන පදාර්ථ තත්වයන් (බෙක් /BEC) පෘථිවියේ නිර්මානය කළ නොහැකි අතර ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරය (ගුරුත්වාකර්ෂණය නොමැති තරම්) නිසා දිගු කාලයක් එය නිරීක්ෂණය කිරීම සඳහා ඉඩ සලසනවා මෙන්ම, අධ්‍යයනය කිරීමට හැකි වන බැවින් මෙම අත්හදා බැලීම් ඉතා වැදගත් වේ. එම අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය විද්‍යාවේ රූපකරණ පරීක්ෂණ (medical imaging) තව තවත් දියුණු කිරීමට හේතුවන අතර, නව "මාර්ගය අනුගමනය (Navigation)" කිරීමේ පද්ධති සකස් කිරීම, එනම් "බෙක්" මත ගුරුත්වාකර්ෂණ බලපෑම් අධ්‍යයනය කිරීමෙන් "මාර්ගය අනුගමනය" කිරීමේ පද්ධති සඳහා වඩාත් නිවැරදි, චුම්භක ක්ශේෂ්ත්‍ර සහ ගුරුත්වාකර්ෂණ මිනුම් ලබා ගත හැකිය. එවැනි ක්ෂේත්‍රවල දියුණුවට මඟ පෑදීමේ හැකියාව මෙම පර්යේෂණයට ඇත.
වසර ගණනාවක සේවා කාලයෙන් පසු, 2030 දී එය කක්ෂයෙන් ඉවත් කිරීමට නියමිත අතර, එහි කක්ෂයේ මෙහෙයුම් ජීවිතය අවසන් වේ. පාලනය කරන ලද ක්‍රමවේදයක් මගින් කක්ෂයෙන් ඉවත් කර පැසිෆික් සාගරයට කඩා වැටීමට සලස්වනු ඇත. එනම්, රුසියානු මීර් (Mir) අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කක්ෂයෙන් ඉවත් කලා මෙන් උල්කාපාතයක් ලෙස සාගරයට කඩා වැටෙනු ඇත.
මෙසේ, වසර 30ක කාලයක් තුල තම සේවාවන් ඉටුකිරීමට, සූර්යයාගේ සිට එල්ලවන විකිරණ වලින් ආරක්‍ෂාව සැපයූවේ පෘතුවියේ වූ චුම්භක ක්ෂේත්‍රයයි. නමුත් දුරස්ථ අභ්‍යවකාශ ගවේශණ සඳහා යාමේදී, සූර්යාගේ විකිරණ වලට මුහුණ පෑමට සිදුවේ. උදාහරණයක් ලෙස, අඟහරු ග්‍රහයා වෙත යාමේදී මුහුණදීමට සිදුවන ප්‍රධාන අභියෝග වලින් එකක් ලෙස දක්විය හැකිය. එම නිසා නාසා ආයතනය විශේෂ මෙහෙයුමක් මගින් පරීක්ෂණ ආරම්භ කල අතර, 2022 වසරේ නොවැම්බර් මස ආරම්භ වූ එම පරීක්ෂණ වසර 3ක් තිස්සේ කල මෙම මෙහෙයුමට, මේ මස එනම් 22-11-2025 වසර 3ක් සම්පූර්න වේ.
අභ්‍යාවකාශයේදී සූර්යයාගේ විකිරණවලින් මිනිසාගේ සෛලවල DNA වලට හානි කළ හැකි මෙන්ම බරපතල සෞඛ්‍ය ගැටළු වලට තුඩු දිය හැකි මෙම අයනීකාරක විකිරණ හේතුවෙන් ගගනගාමීන් දුරස්ථ අභ්‍යවකාශයට දිගු ගමනක් යන විට, ඔවුන් වඩාත් භයානක විකිරණ පරිසරයන් වෙත යොමු වන අතර සැලකිය යුතු ආරක්ෂාවක් අවශ්‍ය වනු ඇත.
සූර්යයාගේ විකිරණශීලී අංශු හේතුවෙන් අභ්‍යවකාශයේදී ජීවයට (ගගනගාමීන්) සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳ මූලික කරුණු අධ්‍යයනය කිරීමට, පර්යේෂකයන් විසින් හොඳින් වටහාගත් "ආදර්ශ ජීවී සෛල" භාවිතා කරයි. මෙය අභ්‍යවකාශයේ සහ පෘථිවියේ සිදුවන දේ අතර වෙනස්කම් වඩාත් පැහැදිලිව පෙන්වීමට උපකාරී වේ. බයෝසෙන්ටිනෙල් සඳහා නාසා ආයතනය විසින් යීස්ට් (ආදර්ශ ජීවී සෛල) භාවිතා කිරීමට තීරණය කලහ. එම යීස්ට් අප පාන් පිපීමට බියර් පැසවීමට (එන්සයිම ප්‍රතික්‍රියාවකි) හේතු වන යීස්ට් (ඒක සෛලික දිලීරයකි) වර්ගයයි.
ඔවුන් විසින් යීස්ට් තෝරාගැනීමට හේතුව වූයේ, අපගේ සෛල වල මෙන් යීස්ට් සෛල වල ද ජානමය තොරතුරු රැගෙන යන DNA අඩංගු නිසාත්, අධි ශක්ති විකිරණ වලට නිරාවරනය වූ විට DNA දාමයට සිදුවන හානිය මිනිසාගේ සෛල වලටත්, යීස්ට් දිලීර සෛල වලත් සමානතාවයක් පෙන්නුම් කරන නිසාත්, හානි වූ DNA සමාන ක්‍රියාවලියක් මගින් අලුත්වැඩියා වීමේ සමානතාවයක් පෙන්නුම් කරන නිසාත් ය.
පෘථිවිය අසල කක්ෂගත වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඔබ්බට සිදු වූ පළමු දිගුකාලීන ජීව විද්‍යා අත්හදා බැලීම ලෙස බයෝසෙන්ටිනෙල් (BioSentinel) ආරම්භ විය. බයෝසෙන්ටිනෙල් චන්ද්‍රිකාව, නාසා ආයතනය විසින් යවන ලද අර්ටේමිස් ( Artemis ) වැඩසටහනේ පළමු පියාසැරිය වන අර්ටේමිස් 1 ( Artemis I) තුල දියත් කරන ලද කියුබ්සැට්ස් (CubeSats) මාදිලියට අයත් චන්ද්‍රිකා 10 න් එකකි.
මෙම චන්ද්‍රිකාව නැනෝ චන්ද්‍රිකා ගණයට අයත්වන අතර එය හතරැස් පෙට්ටි ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන එය ප්‍රමානයෙන් අඩියක් උස අඟල් අටක් පමන පළල, අඟල් 3ක් පමන ඝනකමකින් යුත් කුඩා පෙට්ටියක හැඩය ඇති උපකරණයකි. චන්ද්‍රිකාව සඳ පසුකර ගැඹුරු අභ්‍යවකාශයට ගමන් කර, පසුව සූර්යයා වටා කක්ෂගත වීමට ගමන් කරන ලදි. චන්ද්‍රිකාව අපගේ ග්‍රහලෝකයේ ආරක්ෂිත චුම්භක ක්ෂේත්‍රයෙන් ඔබ්බට ස්ථානගත වූ පසු, බයෝසෙන්ටිනල් කණ්ඩායම දුරස්ථව අත්හදා බැලීම් මාලාවක් දියත් කළ අතර, අභ්‍යවකාශ විකිරණ ඇතිවිට "ආදර්ශ ජීවී සෛල" ලෙස වර්ධනය වීමට සැකරොමයිසෙස් සෙර්විසියා (Saccharomyces cerevisiae / වයින් සෑදීමට, පිටි පිපීමට භාවිතා කරන යීස්ට්) යීස්ට් වර්ග දෙකක් සක්‍රීය කරන ලද අතර මාස හයේ සිට දොළහ දක්වා මෙහෙයුම පුරාවට විවිධ කාල සීමාවල යීස්ට් සාම්පල සක්‍රීය කරන ලදී.
ඉන් එක් යීස්ට් වර්ගයක් (උප විශේෂයක්) ස්වභාවධර්මයේ බහුලව දක්නට ලැබෙන යීස්ට් වර්ගයක් වන අතර අනෙක තෝරාගෙන ඇත්තේ එහි DNA අලුත්වැඩියා කිරීමේ හැකියාවේ ගැටළු ඇති බැවිනි. එම උප විශේෂ දෙක දුරස්ථ අභ්‍යවකාශයේ විකිරණ පරිසරයට ප්‍රතිචාර දක්වන ආකාරය සංසන්දනය කිරීමෙන්, පර්යේෂකයන් හට දිගුකාලීන අභ්‍යාවකාශ ගවේෂණ වලදී මිනිසාට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කල හැකි අතර හානිය අවම කිරීම සඳහා දැනුවත් උපාය මාර්ග අනුගමනය කිරීමට හැකි වනු ඇත.
අභ්‍යවකාශයේ ජීව විද්‍යා අධ්‍යයනයන් සිදු කිරීමේ බයෝසෙන්ටිනෙල් ව්‍යාපෘතිය ගොඩනගා ඇත්තේ අමෙස් හි කලින් භාවිතාකරන ලද කියුබ්සැට්ස් (CubeSats) ක්‍රමය භාවිතයෙන් චන්ද්‍රිකා ගොඩනැගීම මගිනි. එය සූර්ය පැනල සහිතව බරින් කි.ග්‍රෑම් 14ක් පමන වේ. පරීක්ෂණය සඳහා වූ කුටීරය තුල, ප්ලාස්ටික් තහඩුවක් වැනි තුනී තලයක වූ ඉතා කුඩා මැදිරි තුළ යීස්ට් සෛල අඩංගුකර ඇත. එමෙන්ම, යීස්ට් සක්‍රිය කර පවත්වා ගෙන යාම සඳහා සැකරයිඩයක් හෙවත් සීනි සමඟ ඉතා කුඩා පරිමාණයේ ද්‍රව ප්‍රවාහ පද්ධතියක් (ක්ෂුද්‍ර නල) අඩංගු කර ඇති අතර, දුරස්ථ පාලන පද්දතියක් මගින් පාලනය කිරීමට ඉඩ සලසයි.
විකිරණ මට්ටම, යීස්ට් වල වර්ධනය සහ යීස්ට් වල පරිවෘත්තීය පිළිබඳ දත්ත එකතු කර අභ්‍යවකාශ යානය තුළ එම දත්ත ගබඩා කර පසුව පෘථිවියේ බයෝසෙන්ටිනෙල් කරගෙන යන විද්‍යා කණ්ඩායමට සම්ප්‍රේෂණය කරනු ලැබේ. සූර්යයාගෙන් එන සූර්ය අංශු විකිරණ කුණාටුවක් (සූර්ය සුළඟ) චන්ද්‍රිකාවට හමු වුවහොත් යීස්ට් සාම්පල සමග ක්ෂුද්‍ර තරලය අඩංගු කාඩ්පත් සංචිත වලින් කට්ටලයක් සක්‍රිය කෙරේ.
යීස්ට් වල වර්ධනය සහ පරිවෘත්තීය ක්‍රියාකාරකම් මනිනු ලබන්නේ වර්ණ තුනකින් යුත් LED (RGB / රතු, කොළ, නිල්) හඳුනාගැනීමේ පද්ධතියක් සහ යීස්ට් සෛල ක්‍රියාකාරිත්වය මැනීමේ හැකියාවක් සපයන ඩයි වර්ගයක් භාවිතා කරමිනි. මෙහිදී, රෝස පැහැති ඉතා කුඩා මැදිරි තුළ නිල් පැහැයේ සිට රෝස පැහැයට පාට වෙනස් කර ඇත්තේ සක්‍රීයව වර්ධනය වන යීස්ට් සෛල අඩංගු කුඩා මැදිරි වේ. වර්ණ හඳුනාගැනීමේ පද්ධතිය මගින් යීස්ට් සෛල අඩංගු ඉතා කුඩා මැදිරි පාට තුනකින් වෙන වෙනම ආලෝකමත් කිරීමෙන් සහ පරාවර්තනය වූ ආලෝකය මැනීමෙන් එහි වර්ණය හඳුනා ගනු ලැබේ. එහි මූලික වර්ණය වන නිල් පැහැය රෝස පැහැයට වෙනස් වී ඇත්දැයි පරීක්ෂා කිරීම මගින් යීස්ට් හොදින් වර්ධනය වේ දැයි දැනගත හැකිය.
බයෝසෙන්ටිනල් කණ්ඩායම සති දෙකක කාලයක් පුරා පැවති අත්හදා බැලීම් හතරක් සම්පූර්ණ කළ නමුත් යීස්ට් සෛල වර්ධනයක් නිරීක්ෂණය කළ නොහැකිවිය. යීස්ට් සෛල වර්ධනය නොවී අක්‍රිය තත්වයේ පැවතීමට හේතුව දුරස්ථ අභ්‍යවකාශ විකිරණ නොවන බවත්, මෙහෙයුම දියත් කිරීමට පෙර අභ්‍යවකාශ යානයේ දීර්ඝ කාලීන ගබඩා කිරීමක් හෙතුවෙන් යීස්ට් කල් ඉකුත් වීම නිසා ඒවායේ වර්ධනය නොමැති බවත් ඔවුන් තීරණය කළහ.
ජීවමාන යීස්ට් සෛල වලට විකිරණවල බලපෑම පිළිබඳ නිරීක්ෂණ දත්ත රැස් කිරීමට අදහස් කල පරිදි යීස්ට් සක්‍රිය නොවූවත්, බයෝසෙන්ටිනල් කුඩා අභ්‍යවකාශ යානයට බලපාන විකිරණ වර්ගය සහ මාත්‍රාව මනින උපකරණ වන, එය තුල වූ අභ්‍යන්තර විකිරණ අනාවරකය ( radiation detector), දුරස්ථ අභ්‍යවකාශයේ දත්ත රැස් කිරීම දිගටම කරගෙන යයි. නාසා ආයතනය විසින් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ඇති දුරස්ථ අභ්‍යවකාශයේ අධි-විකිරණ පරිසරයක, වටිනා විකිරණ දත්ත රැස් කිරීම දිගටම කරගෙන යාම සඳහා බයෝසෙන්ටිනෙල් මෙහෙයුම දිගටම කරගෙන යනවා පමනක් නොව එය පුළුල් කර ඇත.
සූර්යයා කාලයත් සමග වඩාත් සක්‍රීය සහ අක්‍රීය අවස්ථා සහිත චක්‍රීය (solar cycle) කාලපරිච්ඡේදයක් ඇත. සූර්යයාට වසර 11 ක චක්‍රයක් ඇති අතර, එහි දී සූර්යාගේ ක්‍රියාකාරීත්වය බලවත් සූර්ය ගිනිදැල් (ප්ලාස්මා), සූර්යා වටා ඇති කොරෝනාවෙන් ඔබ්බට ( coronal mass ejections) සිදුවන පිටකිරීම් (යෝධ පිපිරීම්) ඉහළ යනවා මෙන්ම කාලයත් සමග සූර්යා නැවත සන්සුන් වී පිපිරීම් ගනණ පහත වැටේ. එම සූර්ය චක්‍රය උපරිමයේ සිට පහත අගයක් (declining phase) දක්වා සලකා බැලූ විට, විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ 2026 දක්වා සූර්යාගේ ක්‍රියාකාරීත්වය දිගටම ශක්තිමත්ව පවතිනු ඇති බවත්, මෙම සන්සුන් වීමට ප්‍රථම අවධියේදී දක්නට ලැබෙන ප්‍රබලම කුණාටු කිහිපයක් ඇති බවත්ය.
මෙම පිපිරීම් හේතුවෙන් අභ්‍යවකාශයට අධි ශක්තියක් ඇති බලවත් ප්ලාස්මා කදම්භ මුදාහරින අතර එමඟින් පෘතුවියේ උතුරු සහ දකුණු ධ්‍රැව වල අවුරෝරා "> අවුරෝරා ඇති වන අතර එමගින් චන්ද්‍රිකා සංඥා වලට බාධා ඇතිවනවා පමනක් නොව චන්ද්‍රිකා අක්‍රීය වීම පවා සිදුකළ හැකිය. මෙසේ අධික වේගයන් ගමන්කරන සූර්ය විකිරණ අංශු වලින් අභ්‍යවකාශයේ ගමන් කරමින් සිටින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට ද තර්ජනයක් විය හැකිය.
අභ්‍යවකාශ විකිරණ වලට නිරාවරණය වූ විට ඇතිවන බලපෑම අර්ථ නිරූපණය කිරීම, දිගුකාලීන දුර අභ්‍යවකාශයේ මානව අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ අවදානම් අඩු කිරීම සහ ජීවීන් කෙරෙහි අභ්‍යවකාශ විකිරණවල බලපෑම් පිළිබඳ පවතින මත තහවුරු කිරීම සඳහා බයෝසෙන්ටිනෙල් මෙහෙයුමේ දත්ත ඉතා වැදගත් වනු ඇත.