සංකීර්ණ කරුණු සරල බසින්

X-59 නවීන සුපර්සොනික් ජෙට් යානය ප්‍රථම ගුවන්ගත වීම.
ගුවන් යානා හා ගුවන් සේවා

X-59 නවීන සුපර්සොනික් ජෙට් යානය ප්‍රථම ගුවන්ගත වීම.

සුපර්සොනික් කොන්කෝඩ් (Concorde) ගුවන් යානා 1976 දී බ්‍රිතාන්‍ය ගුවන් සේවා සමාගමක් වන බ්‍රිටිෂ් එයාර්වේස් සහ එයාර් ෆ්‍රාන්ස් සමඟ අත්ලාන්තික් සාගරය හරහා ගුවන් ගමන් ආරම්භ කළහ. නමුත් වසර 2000 ජූලි මාසයේදී සිදු වූ මාරක අනතුරකින් පසු, ඉහළ මෙහෙයුම් පිරිවැය, සීමිත ආසන සංඛ්‍යාව සහ මගී සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් යානය 2003 වසරේ නොවැම්බර් 26 දින අවසාන ගුවන් ගමනත් සමග විශ්‍රාම ගන්නා ලදී.

විශ්‍රාමලත් සුපර්සොනික් ගුවන් යානා

ඒ සමගම, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව තනන ලද කොන්කෝඩ් සුපර්සොනික් (Mach 2.04 / 1350 mph), යානා සහ සෝවියට් රුසියාව විසින් තනන ලද TU-144 යානය මගින් වාණිජමය ලෙස මගීන් ප්‍රවාහනය නිමා විය. එසේ සිදු වූයේ ප්‍රධාන වශයෙන් එම යානා වල, අධික ශබ්දය සහ ආරක්‍ෂාව පිලිබද ගැටලු ඉස්මතුවීම හේතුවෙනි.

විශ්‍රාමලත් සුපර්සොනික් කොන්කෝඩ් (Concorde) ගුවන් යානය

විශ්‍රාමලත් TU-144 සුපර්සොනික් ගුවන් යානය

සොනික් බූම් නොමැති නවීන X-59 සුපර්සොනික් ජෙට් ගුවන් යානය

නමුත් වසර ගණනාවක් තුල විවිධ රටවල් වල සමාගම් නව සුපර්සොනික් යානා හදුන්වා දීමට කටයුතු කරමින් සිටී. ඒ අතර X-59 සුපර්සොනික් ගුවන් යානයේ පළමු පරීක්ෂණ පියාසැරිය ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු විය. අති නවීන යුධ ගුවන් යානා නිශ්පාදන සමාගමක් වන ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin) ආයතනය සහ නාසා (NASA) ආයතනය එක්ව තනා ඇති මෙම යානය කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පළමු පරීක්ෂණ පියාසැරිය 28-10-2025 සිදුකර ඇත.

මෙම පළමු පරීක්ෂණ පියාසැරිය මගින් පද්ධති වල ඒකාබද්ධතාවය හා ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා පැයට සැතපුම් 240 (පැයට කිලෝමීටර 386) ක පමණ වේගයෙන්, අඩු උසකින් යුත් (පහළ උන්නතාංශ) ලූපයක් භාවිතා කළ අතර, ගුවන් යානයේ යෝග්‍යතාවය සහ ආරක්ෂාව සත්‍යාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ පියාසැරි පරීක්ෂණ අදියරක් ලෙසය.

මෙම X-59 පර්යේෂණාත්මක ගුවන් යානය ඉතාම අඩු ශබ්දයක් ඇතිව ශබ්ද බාධකය (sound barrier) බිඳ දමා පියාසර කල හැකි අතර, වේගවත්, නව වාණිජ ගුවන් ගමන් සඳහා මග පාදයි. සාමාන්‍ය ප්‍රාහාරක ගුවන් යානයක් ශබ්ද බාධකය බිඳ දැමීමේදී සාමාන්‍යයෙන් පුපුරන ශබ්දයක් (සොනික් බූම්/ sonic boom) උත්පාදනය වන අතර මෙම යානයේ එම උත්පාදනය වන ශබ්දය බෙහෙවින් අඩු කිරීම සඳහා යානයේ අද්විතීය හැඩය නිර්මාණය කර ඇති අතර, එමඟින් ඇතිවන ශබ්දය, මෝටර් රථයක දොරක් වසන විට ඇතිවන ශබ්දය මෙන් අඩු ශබ්දයකි.

ශබ්දයේ වේගය ඉක්මවා යාම (Mach)

සුපර්සොනික් (supersonic) යන වචනයෙහි අර්ථය වන්නේ, යම් පියාසර කරන වස්තුවක් මගින් ශබ්දයේ වේගය ඉක්මවා යාමයි. ශබ්දයේ වේගය සාමාන්‍යයෙන් තත්පරයට මීටර් 340.5 m/s - 343 m/s ක්, එනම් පැයට කි.මී. 1225 km/h ක් පමන වන අතර පරිසර උෂ්ණත්වය, වාතයේ ඝනත්වය සහ පොලොවේ සිට ඇති උස වැනි සාදක බලපායි. ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරන යානයක වේගය මැක් (Mach) වලින් මනිනු ලැබේ. මැක්-1 (Mach-1) යනු ශබ්දයේ වේගය මෙන් එක් ගුණයකි. මැක්-2 යනු ශබ්දයේ වේගය මෙන් දෙගුනයකි. ඒ ආදී වශයෙන් මැක්-10 - මැක්-12 දක්වා වූ මිසයිල සහ ගුවන් යානා නිශ්පාදනය කර ඇත.

සොනික් බූම් (sonic boom)

සොනික් බූම් (sonic boom) - වස්තුවක් ශබ්දයේ වේගයට වඩා වේගයෙන් වාතය හරහා ගමන් කරන විට ඇතිවන කම්පන තරංග සමඟ සම්බන්ධ ශබ්දය.

උදාහරනයක් ලෙස ප්‍රාහාරක ජෙට් යානයක් ශබ්දයේ වේගයට වඩා වේගයෙන් වාතය හරහා ගමන් කරන විට, වාතයේ තෙතමනය 90% පමන වන විට මෙම සොනික් බූම් (පිපිරීම) අවස්ථාව සියැසින් දැකබලා ගත හැක.

නමුත් මෙම X-59 යානයේ එවැනි පිපිරීම් හඬක් ඇති නොවේ, එයට හේතුව යානයේ විශේෂිත වූ හැඩයයි.

ලොක්හීඩ් සමාගම පවසන අන්දමට එවැනි අඩු ශබ්දයකින්, එනම් අඩු ඩෙසිබල් ප්‍රමානයක් සහිත පියාසැරි තාක්ෂණයේ (QueSST) පරිපූර්ණත්වය මගින්, ශබ්ද ගැටළු හේතුවෙන් ගොඩබිම ජනාකීර්ණ ප්‍රදේශවලට දිගු කලක් සීමා වී තිබූ සුපර්සොනික් වාණිජ ගුවන් ගමන් වලට ඇති ප්‍රධාන බාධකයක් ජය ගැනීම මෙහි අරමුණයි. ගුවන් යානය නිර්මාණය කර ගුවන්ගතකිරීම ලාභදායී නොවීය. නියෝජිතායතන කොන්ත්‍රාත් දත්ත වලට අනුව, X-59 තැනීම සඳහා 2018 සිට නාසා ආයතනයට ඩොලර් මිලියන 518 කට වඩා නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදු විය.

එක් ජෙට් ඇන්ජිමකින් සමන්විත මෙම යානය, දිගින් අඩි 100ක් (nose to tail) වන අතර, වම්පස කෙලවරේ සිට දකුණු පස කෙළවර දක්වා පියාපත් විහිදුම (wingspan) අඩි 30කි. ප්‍රථමයෙන් යානය පැයට කි.මී. 370ක පමන වේගයෙන් ගමන් කල අතර යානය ඉහලගිය උපරිම උස අඩි 12000කි (මීටර 3660). ගුවන් යානා තාක්ෂණයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මෙම අවස්ථාව නැරඹීමට යානය තැනීමට දායක වූ සියලු දෙනා තම පවුලේ ඥාතීන් ද සමග රැස් වූහ. නාසා ආයතනයේ ප්‍රධාන පෙලේ ගුවන් යානා පරීක්ෂණ නියමුවෙක් වන නීල්ස් ලාර්සන් (test pilot Nils Larson) විසින් මෙම X-59 යානය පැදවූ අතර X-59 යානය දැනට තනා ඇත්තේ, නියමු කුටිය තුල එක් නියමුවෙක් සඳහා පමණි.

මෙම X-59 අත්හදා බැලීමේ ගුවන් යානය අඩි 55,000 (මීටර් 16,764) ක උසකින් (උන්නතාංශයක) පියාසර කල හැකි අතර පැයට සැතපුම් 925 ක් (පැයට කිලෝමීටර 1,490) හෙවත් මැක් 1.4ක (ශබ්දයේ වේගය මෙන් 1.4 ගුනයක) කෲස් වේගයකට එනම් පොලොවට සමාන්තරව තම ගමනේ පියාසර වේගයකට ළඟා වීමට නිර්මාණය කර ඇත. එය සාම්ප්‍රදායික ගුවන් යානා පියාසර කරන ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා උසකින් සහ දෙගුණයකට ආසන්න වේගයකින් ගමන් කල හැක.

පසුකාලීන නියමිත පරීක්ෂණ පියාසැරි අතරතුර, X-59 ක්‍රමක්ක්‍රමයෙන් ඉහළට සහ වේගයෙන් ගමන් කරනු ඇති අතර අවසානයේ ශබ්දයේ වේගය ඉක්මවා යාමට නියමිතව ඇත. යානය මුහුදු මට්ටමේ දී ආසන්න වශයෙන් පැයට සැතපුම් 761 (පැයට කිලෝමීටර 1,225) ක වේගයක් පවත්වා ගැනීමට හැකියාව ඇත.

X-59 යානය පරීක්ෂණ පියාසැරි අවසන් කල පසු, මගීන් ප්‍රවාහනය සඳහා සුපර්සොනික් යානා නිර්මාණය කරනු ලැබේ. එය මගීන් පියාසර කරන ආකාරය වෙනස් කිරීමේ හැකියාව ඇති අතර ගුවන් ගමන් කාලය 50% කින් අඩු වනවා පමනක් නොව ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානය හිමිවිය හැක. බොහෝ විට, මෙම යානය නොදුරු අතීතයේ භාවිතා කල කොන්කෝඩ් සුපර්සොනික් යානයට, මීලඟ වසර දශකය තුල නව ආදේශකයක් වනු ඇත.

තවකෙනෙකුට Share කරන්න:
ගුවන් යානා හා ගුවන් සේවා : ඛාණ්ඩයේ පළ කිරීම්
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්