- ස්ටාර්ලින්ක් (Starlink) ජාලය (අන්තර්ජාලය) ක්‍රියා කරන ආකාරය.
- ස්ටාර්ලින්ක් අන්තර්ජාල සම්භන්ධතාවයක් සකස්කරගන්නා අයුරු (Starlink Internet Setup).
- ස්ටාර්ලින්ක් අන්තර්ජාලය සක්‍රීය කිරීම සඳහා, ඔබ
- ස්ටාර්ලින්ක් (StarLink) ජාලයේ මේ වන විට කක්ශ ගත්කර ඇති චන්ද්රිකා
- ස්ටාර්ලින්ක් (StarLink) ක්‍රියාත්මක කිරීමට SpaceX භාවිතා කර ඇති තාක්ෂණය.
- ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා-චන්ද්‍රිකා අතර පියවි ඇසට නොපෙනෙන ලේසර් ජාලයක් අවශ්‍යය වන්නේ ඇයි.
- ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන දොරටු මධ්‍යස්ථාන (StarLink Ground Stations / StarLink Gateways)
- ස්ටාර්ලින්ක් චන්ද්රිකා (StarLink satellites)
- චන්ද්රිකාවක් අභ්‍යාවකාශයේ ගමන් කරන අයුරු
ස්ටාර්ලින්ක් (StarLink) යනු ස්පේස් එක්ස් (SpaceX) සමාගම විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා (Satellites) උපයොගී කරගනිමින් පරිශීලකයන් හට ලබා දෙන අධිවේගී (බ්‍රෝඩ්බෑන්ඩ් - Broadband) අන්තර්ජාල සේවාවක් වන අතර එය ඉතා දුරස්ථ ප්‍රදේශවල වල වෙනත් අන්තර්ජාල සේවාවන් කිසිසේත්ම නොමැති ස්ථාන වල, ගුවන් යානා වල, සාගරයේ නැව් තුල, කාන්තාරය තුල සහ ඇමසන් වනයේ පවා එනම් ලොව පුරා ඕනෑම තැනක උත්තරධ්‍රැවයේ හා දක්ෂිණධ්‍රැවයේ ද, ශ්‍රීලංකාවේ ඕනෑම තැනක අධිවේගී අන්තර්ජාලයට සම්භන්ද විය හැකිය. කිසිම ආකාරයක සිග්නල් ප්‍රශ්න නැත, ඉතාමත් පහසු සැකසීම් තුලින් පහසුවෙන් අන්තර්ජාලයට සම්භන්දවිය හැක. නවෝත්පාදන තාක්ෂණ ගණනාවකින් සමන්වීත වන මම ව්‍යාපෘතිය ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ නිර්මාතෲ ඉලොන් මස්ක් (Mr. Ilon Musk) මහතාගේ තවත් අභිලාෂකාමී සැලැස්මක ප්‍රතිඵලයකි.
SpaceX හට ඔවුන්ගේ චන්ද්‍රිකා පරීක්ෂා කිරීමට සහ තවතවත් වැඩිදියුණු කිරීමට ඉඩ සලසන ටින්ටින්-ඒ (TinTin-A) සහ ටින්ටින්-බී (TinTin-B) යන මූලාකෘති දෙක සාර්ථකව දියත් කිරීමෙන් පසුව, SpaceX සමාගමේ ස්ටාර්ලින්ක් (StarLink) ව්‍යාපෘතිය සඳහා එෆ්සිසි (FCC - Federal Communications Commission) සන්නිවේදන කොමිසම වෙතින් චන්ද්‍රිකා 7,500 කක්ෂගත කිරීමට අනුමැතිය ලැබුණි.
2021 මැයි 24 වන දින, SpaceX විසින් චන්ද්‍රිකා 60 කින් පිරුණු Falcon 9 රොකට්ටුවක් අභ්‍යවකාශයට යවන ලද අතර මෙය ඔවුන්ගේ අභිලාෂකාමී නව ව්‍යාපෘතියේ, එනම්, “Starlink” හි ආරම්භය සනිටුහන් කළහ. එය ලොව වඩාත්ම හුදකලා ප්‍රදේශවලට උසස් තත්ත්වයේ බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාලය සැපයීම අරමුණු කර ගෙන ඇති අතර දැනටමත් හොඳින් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නගරවලට පවා අඩු ප්‍රමාද කාලයක් ඇති සම්බන්ධතාවයක් ද සපයයි.
ස්ටාර්ලින්ක් (StarLink) හි පළමු අදියරේ චන්ද්‍රිකා 1584 ක් කක්ෂීය තල 24 ක පිහිටා ඇති අතර, සෑම තලයකම චන්ද්‍රිකා 66 කින් සමන්විත වේ. සෑම තලයක්ම අංශක 53o ක ආනතියකින් පිහිටා ඇත. මේ වනවිට පෘථිවිය වටා කක්ශ ගනනාවක, පහළ පෘථිවි කක්ෂීයව ගමන්කරමින් තිබෙන (LEO - Low Earth Orbit) චන්ද්‍රිකා විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. 2025 ජූලි 2 වන දින, SpaceX Falcon-9 500 වන අභ්‍යාවකාශ ගමන, ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් සිට තවත් Starlink චන්ද්‍රිකා 27 ක් දියත් කළේය. එහි ස්ටාර්ලින්ක් (StarLink) ජාලය පුළුල් කිරීම දිගටම කරගෙන යන අතර, දැන් චන්ද්‍රිකා 7,900 කට වඩා අන්තර්ගත කර ඇත. මීලඟ වසර කීපය තුල, එය චන්ද්‍රිකා 12,000 කින් සමන්විත කිරීමට සමාගම අපේක්‍ෂා කරන අතර ඊලග වසර දශක කිහිපය තුල චන්ද්‍රිකා 30,000 - 42,000 කින් සමන්විත කිරීමට ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෲ ඉලොන් මස්ක් මහතා අරමුණු කරයි. එවිට ලොව පුරා ඕනෑම තැනක අධිවේගී අන්තර්ජාලයට සම්භන්ද විය හැකිය.
අභ්‍යාවකාශ ගතකර ඇති ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ගනණ 12,000 ඉක්මවූ විට ලෝකයේ ඕනෑම තැනක සිට, ස්ටාර්ලින්ක් ජාලය හරහා අන්තර්ජාලයට සම්භන්ද විය හැකිය. 2026 පෙබරවාරි මස වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 11,000 ක් කක්ශගතකර ඇති අතර ඉන් 9300-9600 ක් පමන ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සක්‍රීයව ක්‍රියා කරන අතර එයින් චන්ද්‍රිකා 500ක් පමන දැවී ගොස් ඇත. එයට හේතුව වූයේ, සූර්යයා ගේ අධි ක්‍රියාකාරීත්වය නිසා සූර්ය සුලඟ ලෙස නිකුත්වූ ප්ලාස්මා විකිරණ ශීලී අංශු නිසා, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික උපකරණ වල ක්‍රියාකාරීත්වය අඩාල වීම නිසා, පෘතුවිය දෙසට ඇදෙන්නට (ගුරුත්වාකර්ෂණය) පටන් ගෙන වායුගෝලයේ ගැටීම නිසා පිලිස්සී යාමයි. එමෙන්ම, ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 900 ක් පමන ක්‍රියා විරහිත තත්වයේ පවතින අතර කාලය ඉකුත් වූ පසු පෘතුවිය දෙසට ඇදී (ගුරුත්වය නිසා), වායුගෝලයේ ගැටී, පිලිස්සී යයි. ස්පේස් එක්ස් (Space X) ආයතනය දිනකට, නව පරපුරේ (GEN-3/v3) ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 6ක් පමන ගොඩනගන අතරම, ෆැල්කන් 9 (SpaceX Falcon 9) රොකට් යානය මගින්, නියමිත කාලසටහනකට අනුව නොකඩවා, කක්ෂගත කිරීම් සිදු කරයි. ස්පේස් එක්ස් සමාගම විසින් කරනුලබන මෙම ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියේ අරමුන වන්නේ, අඟහරු ග්‍රහයා මත මිනිසා ජීවත්වීමට (ආරක්‍ෂිත කුටීර තුල) ආරම්භ කිරීමේ ඉතා දෙවැන්ත ව්‍යාපෘතියට මුදල් සොයාගැනීමයි.
නවෝත්පාදන සහ අභ්‍යාවකාශ තාක්ෂණයේ දැවැන්තයෙක් වන Space X සමාගම, ඒ සඳහා වූ ස්ටාර් ශිප් යානය සහ මුදල් සෙවීමට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය, සැලසුම් කළ අවදියේදීම, තොරතුරු තාක්ෂණයේ දැවැන්තයෙක් වන ගූග්ල් (Google) සමාගම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයක් (Starlink) ලෙස ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කරන ලදි. එමෙන්ම, දත්ත ගමනා ගමන පද්ධතිය වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා , ස්ටාර්ලින්ක් දත්ත මධ්‍යස්ථාන (Data Centers), ගූගල් යටිතල පහසුකම් අසල තනා ඇත. මේ වන විට රටවල් 100ක මිලියන තුනකටත් වඩා ස්ටාර්ලින්ක් අන්තර්ජාලයට සම්භන්ද වී ඇත. ස්ටාර්ලින්ක් එක් චන්ද්‍රිකාවක් මගින් පොලොව මත වූ කි.මී. 1500 - 1900 ක් තම් වූ කලාපයක් ආවරණය කල හැකි අතර, එය මත වූ, ඇන්ටනා තුනක් උපයොගී කරගනිමින් එය කාර්යක්‍ෂමව සිදුකරයි. එක් ඇන්ටනාවක කුඩා ඇන්ටනා සියගනනක සංයුක්තයක් (Phased array antenna) වන අතර තරංගයේ අදියර වෙනස් කිරීම මගින් තරංග කදම්භය හැරවීමේ තාක්ෂණය භාවිතා කරයි.
නමුත්, එම එක් අන්ටනාවක් මගින් පොළොවට එල්ල කිරීමට හැකි වන්නෙ කි.මී 24km - 70km ක පමන විෂ්කම්භයකින් යුත් ස්ථානගත (spotted beams) ක්ෂුද්‍ර තරංග කදම්භයක් වන අතර අන්ටනා 3 මගින් කදම්භ 3 ක් සාදයි.. එසේනම් විශාල ප්‍රදේශයක් ආවරණය කරන්නේ කෙසේද? පොළොවේ ඇති අන්තර්ජාලය ලබාගන්නා පරිශීලක ඇන්ටනාවේ ඇති GPS චිපය (chip) මගින් පරිශීලකයා සිටින ස්ථානය සහ, පරිශීලක ඇන්ටනාවට සාපේක්ෂව ඊලගට පැමිණෙන ආසන්නම චන්ද්‍රිකාව සමග සම්භන්දවීමට දිශාව සහ කෝණය ගනණය කිරීමටද උපකාරී වේ. එපමනක් නොව GPS චිපය (chip) මගින්, ස්ටාර්ලින්ක් ජාලය විසින් පරිශීලකයින්ගේ පැතිරීම හදුනා ගනී. පසුව, වඩාත් කාර්යක්‍ෂමව සම්භන්දතාවය ලබාදීම සඳහා, ක්ෂුද්‍ර තරංග කදම්භ 3 එහා මෙහා යොමු කිරීම සිදු කරයි. එමනිසා එක් චන්ද්‍රිකාවක් මගින් පොලොව මත වූ කි.මී. 1500km - 1900km ක් තරම් වූ කලාපයක් ආවරණය කල හැක. එය මයික්‍රෝ තත්පර කිහිපයකදී සිදුවන නිසා ජාලයේ දත්ත ගමනාගමන වේගයට බාදා ඇති නොකරයි.
උදාහරණයක් ලෙස: පියාසර කරන ගුවන් යානයක පොළොවට ආලෝකය එල්ලකිරීම සඳහා විදුලිපන්දම් හෙවත් ටෝච් 3ක් සවිකර ඇතැයි සිතන්න. එක් ටෝචයකින් ආලෝකමත් කල හැකි වන්නේ සීමා සහිත ප්‍රදේශයකි. එනම්, එම ටෝච් තුන කාර්යක්ෂමව භාවිතා කර වැඩි ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමට නම් එහා මෙහා චලනය කල යුතුය. එය විදුලි වේගයෙන් සිදුවේනම් විශාල ප්‍රදේශයකට ආලෝකය පතිත වේ.
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවේ එක් ඇන්ටනාවක් මගින් කි.මී 24km - 70km ක පමන විෂ්කම්භයකින් යුත් ස්ථානගත (spotted beam) ක්ෂුද්‍ර තරංග කදම්භයක් විසින් පරිශීලකයින් 8000 කට පමන ස්ටාර්ලින්ක් ජාලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ විය හැකිය. එම ක්ෂුද්‍ර තරංග කදම්භය හරහා, එම ප්‍රදේශයේ සියළුම පරිශීලකයින් සඳහා එකවර දත්ත ගලායාම සිදුවන අතර, දත්ත SSL/TLS සංකේතනයට අමතරව විශෙශ වූ පූර්ව සංකේතනයකට ලක්කර ඇත. පරිශීලකයාගේ දත්ත ප්‍රවාහය වෙන්කරනු ලබන්නේ අන්තරගත රෞටරය මගිනි.
ස්ටාර්ලින්ක් ජාලයේ සහ පරිශීලකයින්ගේ ආරක්‍ෂාව සඳහා නවීන සයිබර් ආරක්ෂණ (zero-trust model) උපාය මාර්ග යොදාගෙන ඇති අතර "කිසි විටෙක විශ්වාස නොකරන්න (never trust), සැමවිටම සත්‍යාපනය කරන්න (always verify)" යන මූලධර්මය මත පදනම් වූ, ස්ටාර්ලින්ක් ජාලය වෙත ප්‍රවේශ වීමට උත්සාහ කරන සෑම පරිශීලකයෙකුටම සහ උපාංගයකටම, ඔවුන් සිටින ස්ථානය නොසලකා දැඩි අනන්‍යතා සත්‍යාපන ක්‍රම භවිතා කරයි. ස්ටාර්ලින්ක් ඩේටාසෙන්ටර්ස් (දත්ත මධ්‍යාස්ථාන) මගින් පරිශීලකයින් කළමනාකරණය කරන අතර පරිශීලකයා වෙත යැවීමට දත්ත ප්‍රවාහ සකස් කිරීම සිදු කරයි.
එක් පරිශීලකයෙක්, එක් චන්ද්‍රිකාවක් මගින් ස්ටාර්ලින්ක් ජාලය හා සම්භන්ද විය හැකි කාලය විනාඩි 4ක් පමන වන අතර එම ප්‍රදේශයේ තිබූ චන්ද්‍රිකාව නොපෙනී යනවාත් සමගම ඊලඟ සේවා චන්ද්‍රිකාව එම ප්‍රදේශයට පැමිණෙයි. ඒ ආකාරයෙන් සෑම් මිනිත්තු 3-4කට සැරයක් ක්ෂුද්‍ර තරංග ලබාගන්නා චන්ද්‍රිකාව වෙනස් වේ. එම මාරු වීම, පරිශීලක ඇන්ටනාව මගින් ස්වයංක්‍රීයව වේගයෙන් සිදු කරන අතර ජාලයේ වේගයට බාදා ඇති නොකරයි.
ස්ටාර්ලින්ක් ජාලයේ දෙවන (V2) සහ තුන්වන (V3) මාදිලියේ චන්ද්‍රිකා වල ඇති ඇන්ටනා මගින් තරංග කදම්භ වැඩි ප්‍රමාණයක් එල්ලකිරීම නිසා විශාල පරිශීලකයින් ප්‍රමාණයකට අන්තර්ජාලයට සම්භන්දවිය හැකි වන අතර ආවරණය කරන පරාසය වැඩි වනවා පමනක් නොව, ධාවනය වන පරිශීලකයෙකුගේ (රථ වාහන, ගුවන්යානා ආදිය ..) පවා, අන්තර්ජාලය 100% ස්ථාවර සම්භන්දතාවයක් තහවුරු කරයි.
ඉතාමත් සැලකිය යුතු කරුන වන්නේ ඇන්ටනාව සවිකිරීමට බලාපොරොත්තුවන ස්ථානයේ අංශක 110oක පරාසය අහසට විවෘතව තිබියයුතු අතර, කඳු, ගස්, උස ගොඩනැගිලි වැනි බාධාක වලින් තොරව තිබිය යුතුය. එම භාදක ඇත්නම් උසම ස්ථානය තෝරා ගන්න. ප්‍රධාන කොන්දේසිය වන්නේ හොඳින් අහසට විවෘත වීමයි.
ප්‍රථමයෙන් ස්ටාර්ලින්ක් නිල වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචි වී, උපකරන ඇනයුම් කරන්න. උපකරණ වෙනත් ස්ථානයකින් ඇනයුම් කලද, ස්ටාර්ලින්ක් පද්ධතිය තුල ලියාපදිංචි වීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය. ඇනයුම් කල ස්ටාර්ලින්ක් උපකරණ කට්ටලය ලැබුන පසු, ප්‍රථමයෙන් ස්ටාර්ලින්ක් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න.
ස්ටාර්ලින්ක් උපකරණ කට්ටලය ලෙස:
උපකරන ස්ථිරව සවිකිරීමට ප්‍රථම, පරීක්ෂා කිරීම සහ පලුමු අත් දැකීම සඳහා හොඳින් අවකාශය ඇති (ගස්, කඳු ගැටිති, ගොඩනැගිලි නොමැති), අහස හොඳින් පෙනෙන ස්ථානයක් තෝරාගන්න. ඇන්ටනාවේ සක්‍රීය මුහුනත අහසට යොමුවන සේ තබන්න.
උපකරණ එකිනෙකට සම්භන්ද කිරීම ඉතාම පහසුය.
අන්තර්ජාලය සක්‍රීය කිරීම සඳහා, ඔබ නියමිත "ගාස්තු සැලැස්ම" (පැකේජය - package) තෝරාගෙන මුදල් ගෙවා එය සක්‍රීය කල යුතුය. පලමු මාසය සඳහා මුදල් ගෙවූ පසු අත්හදා බැලීමේ කාලය ලෙස මාසයක් නොමිලේ (a month Free internet) අන්තර්ජාලය වෙන් කරගත් "ගාස්තු සැලැස්මට" අනුව ලබා දේ. ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවෙන් ඔබ තෘප්තිමත් නැත්නම්, ගාස්තු සැලැස්ම සඳහා ගෙවන ලද මුදල් ආපසු (Refund) ලබාගත හැක. උපකරණ කට්ටලය සඳහා ගවන ලද මුදල ආපසු ලැබෙන්නේ නැත (devices - non refundable).
ඩවුන්ලෝඩ් කල ස්ටාර්ලින්ක් ඇප් එක වෙත යොමු වීමට පෙර, එම ඇප් එක ඩවුන්ලෝඩ් කල උපාංගයේ එනම් ඇන්ඩ්රොයිඩ් හෝ අයිෆෝනයේ, Wi-Fi සක්‍රීය (Wi-Fi ON) කරන්න, එවිට එහි ස්ටාර්ලින්ක් Wi-Fi රෞටරයේ ජාලය දිස්වේ. එයට ක්ලික් කර සම්භන්ද (Connect) වන්න. එහි Wi-Fi සැකසුම් (settings) වෙත ගොස් Wi-Fi සම්භන්ද (Connection) වීම සඳහා මුරපදයක් (password) යොදන්න. එය අනිවාර්ය නොවේ නමුත්, නිර්දේශිතයි.
එවිට ඇප් එක Wi-Fi ඔස්සේ ස්වයංක්‍රීයව අන්ටනාවත් සම්ග සම්භන්ද වී, එම ප්‍රදේශයේ චන්ද්‍රිකා පත අනුව ඇන්ටනාව පිහිටිය යුතු හොඳම දිශාව ගනණය කර, ඇප් එකේ කොටුවක් මගින් හෝ ඊතලයක් මගින් එම දිශාව පෙන්වයි. එමෙන්ම ඇන්ටනාවේ වත්මන් පිහිටීමද පෙන්වයි. එම කොටුවට ඇන්ටනාව ෆිට් වන සේ ඇන්ටනාව කරකා සීරුමාරු කරන්න. එම ස්ථානයේ සිග්නල් වලට බාධකයක් ඇත්නම් එය රතුපාටින් පෙන්වයි.
අන්තර්ජාලය සක්‍රීය කිරීම සඳහා,https://www.starlink.com/activate වෙත ගොස් හෝ "ස්ටාර්ලින්ක් ඇප් (Starlink)" එක ආධාරයෙන් "Activate Starlink" පිටුව වෙත ගොස්, උපකරන කට්ටලයේ හැසුරුමේ දක්වා ඇති සක්‍රීය අංකය (Kit Serial Number) ඇතුලත් කර සක්‍රීය (activate) කරන්න. ඉන්පසුව තෝරා ගත් අන්තර්ජාල සේවා "ගාස්තු සැලැස්ම" (පැකේජය - package) සක්‍රීය කරන්න.
එවිට ස්ටාර්ලින්ක් Wi-Fi රෞටරය හරහා ඔබට අන්තර්ජාල්යට පිවිසිය හැක. එමෙන්ම, ස්ටාර්ලින්ක් Wi-Fi රෞටරයේ අමතර ජාල සම්භන්දතා 2ක් (RJ45 - network connection) ඇති අතර පරිඝණක ජාල කේබලයක් (network cable UTP cat 5, cat 6) භාවිතා කරමින් එයට සම්භන්ද කර අන්තර්ජාලය කෙලින්ම ලබාගත හැක.
පහත සිතියමේ එක් “තිතක්“ එක් චන්ද්‍රිකාවකි
ශ්‍රීලංකාව උඩින් හැම විටම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 1-3ක් ගමන් කරයි. එමනිසා ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වා ගත හැක.
මූලික සැලැස්ම වූයේ 2016 වන විට මූලාකෘති චන්ද්‍රිකා දෙකක් කක්ෂයට දියත් කර, 2020 වන විට ආරම්භක චන්ද්‍රිකා කිහිපයක් ඒකාබද්ධකොට ජාලය තනා පරීක්ෂණ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමයි. නමුත් සමාගමට අඩු වියදමකින් පරිශීලකයාට පහසුවෙන් ස්ථාපනය කළ හැකි, චන්ද්‍රිකාවේ තරංග ලබාගත හැකි කුඩා ග්‍රාහකයක් (ඇන්ටනාවක්) නිශ්පාදනය කිරීමට අපහසු වූ අතර, මෙය වැඩසටහන ප්‍රමාද කළහ. මුල් මූලාකෘති චන්ද්‍රිකා 2018 වන තෙක් දියත් කිරීමට නොහැකි විය.
එයට හේතුව, චන්ද්‍රිකාවේ තරංග ලබාගත හැකි කුඩා ග්‍රාහකයක් නිශ්පාදනය කිරීමට අපහසු වූයේ, මේදක්වා පවතින සාම්ප්‍රදායික ග්‍රාහක තැනීමේ තාක්ෂණය මේ සඳහා නොසුදුසු වීමයි. ස්ටාර්ලින්ක් (StarLink) ජාලයේ චන්ද්‍රිකා පෘථිවිය වටා ගමන් කරන කක්ශය (පතය) පිහිටා ඇත්තේ පොලොවේ සිට කි. මී. 450 km - 600km ක දුරකින් වන නිසා, එම චන්ද්‍රිකා වලට තම කක්ශයේ ගමන් කිරීමට නම් ඉතා වේගයෙන් ගමන් කලයුතුව ඇත. එහි එක් චන්ද්‍රිකාවක් පෘථිවිය වටා ගමන් කරන වේගය පැයට කි. මී. 27,000 km/h ක් පමණ වේ. එම නිසා එක් ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාවකින් තරංග ලබාගත හැකි හෝ චන්ද්‍රිකාව වෙත තරංග යැවිය හැකි කාලය විනාඩි 4ක් පමණයි, එමෙන්ම පරිශීලකයගේ ඇන්ටනවේ සිට චන්ද්‍රිකාව වෙත තරංග යැවීම ඉතාමත් අපහසු කාර්යයකි.
එම විනාඩි 4ක කාලයකින් පසුව, තරංග ලබාගැනීමට හා තරංග යැවීමට ක්‍ෂණිකව වෙනත් ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාවක් හා සම්භන්ද විය යුතුය. එම කාර්ය ස්වයංක්‍රීයව පරිශීලකයින්ගේ ඇන්ටනාව මගින් සිදු වේ.
එම නිසා චන්ද්‍රිකා නියමිත පරතරයක් ඇතිව එක පෙලට ගමන් කරයි. සාම්ප්‍රදායික ග්‍රාහක (ඇන්ටනා) තැනීමේ තාක්ෂණය මේ සඳහා භාවිතා කලහොත් ග්‍රාහක ඇන්ටනාවට මෝටර යොදා ස්වයංක්‍රීයව එහා මෙහා හැරවිය යුතු වේ. එය පරිශීලකයන් සඳහා සුදුසු නොවන අතර විවිධ කාලගුණ තත්ව යටතේ ගැටලු ඉස්මතු වේ. එම නිසා මේ සඳහා යොදාගෙන ඇත්තේ ප්‍රාහාරක යානා වල භාවිතා කරන රේඩාර් (e.g. Rafale යානා වල radar යන්ත්‍රය වන RBE2 AESA - Active Electronically Scanned Array) වල මෙන් මයික්රෝ තරංග හැරවීමේ තාක්ෂණයයි.
එය Phased Array Antenna ලෙස හැඳින්වෙන අතර විද්‍යුත් චුම්භක තරංග ( අධි-සංඛ්‍යාත රේඩියෝ තරංග) සම්ප්‍රේෂණය කිරීමට හෝ ලබා ගැනීමට තනි ඒකකයක් ලෙස එකට ක්‍රියා කරන කුඩා ඇන්ටනා සමූහයකි. එක් එක් කුඩා ඇන්ටනා යවන ලද සංඥා තරංග වල "අදියර (Phase)" සකස් කිරීමෙන්, ඇන්ටෙනා සමූහය එකතු වී ඇන්ටනාව භෞතිකව චලනය නොකර කදම්භය සාදා කදම්භයේ දිශාව මෙහෙයවිය හැකි අතර එය තරංග කදම්භය සැකසීම (Beamforming) ලෙස හැඳින්වේ.
ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාවේ ස්ථාපනය කර ඇති පරිශීලකයන් හා සම්භන්ද වන ඇන්ටනා 3ත්, පොලොවේ සන්නිවේදන මධ්‍යාස්ථාන සමග සම්භන්ද වීමට ඇති ඇන්ටනාවත් මේ වර්ගයට අයත් වේ. වෙනස වන්නේ ඒවා බහු කදම්බ සකසන්නන් (Multiple Beams-forming) ලෙස දැක්විය හැකිය.
ඊලඟ අභියෝගය වූයේ, චන්ද්‍රිකා පහල කක්ශයක එනම් පොලොවේ සිට උස කි.මී. 450km - 600km ( 1050 km දක්වා අවසර ලබාගෙන ඇත) දක්වා වූ පරාසය තුල වූ කක්ශවල (LEO - Low Earth Orbit) චන්ද්‍රිකා පෘථිවිය වටා ගමන් කිරීමට සැලැස්වීමයි. පහල කක්ශයක් තෝරා ගැනීමට හේතුව, විද්‍යුත් චුම්භක තරංගය චන්ද්‍රිකාව වෙත ගොස් පිලිතුරු තරංගය පැමිණීමට ගතවන කාලය (Low Latency) මිලි තත්පර 3.6 ms - 30 ms තරම් අඩු නිසාය. එය සෘජුවම අන්තර්ජාලයේ දත්ත වල වේගයට බලපාන අතර "පින්ග් ප්‍රමාදය" (Ping delay) අවම අගයක් (Low Latency) ගනී. එවිට ඉතා හොඳ දත්ත වල වේගයක් අන්තර්ජාලයේ පවත්වා ගත හැක. එවිට ඔන්-ලයින් ඇප් සහ වෙනත් මෘදුකාංග කිසිදු ප්‍රමාදයකින් තොරව ක්‍රියා කරයි. එමෙන්ම, පහත් කක්ෂයක ගමන් කිරීමේ තවත් වාසියක් වන්නේ, සූර්යයා ගේ විකිරණශීලී අංශු වලින් ආරක්ෂා විය හැක. පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා සූර්යයා ගේ විකිරණශීලී අංශු පෘතුවියෙන් ඉවතට තල්ලුවීම නිසා, පහත් කක්ශවල විකිරණශීලී ත්වය අඩුය. එමනිසා, චන්ද්‍රිකාවේ සියුම් ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝනික උපකරණ ආරක්ෂා වේ. නැතහොත් මිලෙන් අදික ආරක්‍ෂක ක්‍රම භාවිතා කල යුතු වේ . උදාහරණයක් ලෙස වෙනත් චන්ද්‍රිකා මෙන් සියුම් රත්තරන් පටලයකින් (Gold foil පත්‍ර) සියුම් ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝනික උපකරණ ආවරණය කලයුතු වේ.
චන්ද්‍රිකා වල කක්ශය තවත් අඩු කල හැකි වුවද එසේ නොකරන්නේ පොලොවේ සිට කි.මී. 408km උසින් වූ කක්ශ්යේ ජාත්‍යාන්තර අභ්‍යාවකාශ මධ්‍යාස්ථානය (ISS - International Space Station) ගමන් කරමින් සිටින අතර එහි කක්ෂය සහ ගමන් පතය තීරණය කර පාලනය කරනු ලබන්නේ මොස්කව් අගනුවර පිහිටි රුසියානු අභ්‍යාවකාශ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය මගිනි., එය නිරන්තරයෙන්ම කක්ශ්ය වෙනස් කරන නිසා එහි ආරක්ශාව තර කිරීමට ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා පද්ධතිය ඊට ඉහලින් පවත්වාගෙනයාමට තීර්නය කර ඇත. එමෙන්ම ජාත්‍යාන්තර අභ්‍යාවකාශ මධ්‍යාස්ථානයට (ISS) ද අදිවේගී අන්තර්ජාලය ලබාගත හැක.
ඊට අමතරව, ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා පහල කක්ශයක ගමන් කරන නිසා තවත් ප්‍රශ්නයකට මුහුන දීමට සිදු විය. එනම් කලින් සදහන් කල සේ වේගය පැ. කි.මී. 27,000 km/h ක වේගයක් පවත්වා ගත යුතු අතර ඉතා දිගු කලක් කක්ශයේ රැදී සිටිය නොහැක. වේගය අඩු වන විට ගුරුත්වාකර්ශ්නය මගින් එය පෘතුවිය දෙසට ඇදෙන්නට පටන් ගනී. වේගය අඩු වීමට හේතුව ගුරුත්වාකර්ශන බලය සහ චන්ද්‍රිකාවේ ස්කන්ධයයි. කේන්ද්‍ර වස්තුවේ (පෘථිවිය) ස්කන්ධය ඉතා අදික නිසා චන්ද්‍රිකාවේ ස්කන්ධය නොසලකා හැරිය හැක. නමුත්, දිගු කාලීනව එහි බලපෑම නිරීක්ශනය කල හැක. කෙසේ වෙතත් ක්‍රමක්ක්‍රමයෙන් වේගය අඩු වේ. එවිට, ගුරුත්වයේ බලපෑම නිසා නැතිවන බලය යම් කාල සීමාවකදී නැවත ලබා දිය යුතුය, ඒ සඳහා චන්ද්‍රිකාවේ අයන එන්ජින් (Ion thrusters) ස්ථාපිත කර ඇත. එම අයන එන්ජින් "ක්‍රිප්ටෝන්" අයනීකරණය (Krypton Ion thrusters) කොට අධිවේගයෙන් නිකුත්කිරීම සිදුකරයි. එවිට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් උත්පාදනය වේ.
ඒ සඳහා විදුලි බලය අවශ්‍යය වන අතර, සූර්ය කෝෂ හෙවත් සූර්ය පැනල මගින් හිරු එලිය ඇතිවිට විදුලිය ලබාගන්නා අතර, අනෙක් අවස්ථා වලදී චන්ද්‍රිකාව තුල වූ බැටරියෙන් විදුලි බලය ලබා ගනී. ෆැල්කන් 9 රොකට් යානයෙන් චන්ද්‍රිකා අභ්‍යාවකාශයට නිදහස්කල පසු, චන්ද්‍රිකාවේ ඇති අයන එන්ජිමෙන් ලැබෙන බලය මගින්, චන්ද්‍රිකා නියමිත කක්ශයට යොමුකිරීමටත්, අවශ්‍ය වූ විට කක්ශය වෙනස් කිරීමටත්, අභ්‍යවකාශ සුන්බුන් (විනාශ වූ යුධ චන්ද්‍රිකා වල කොටස්, අක්‍රීය වූ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ඉතා කුඩා ග්‍රහක වස්තු ආදිය.) වලින් බේරීමට අවශ්‍යය චලන සහ වෙනත් චලන (උදා: ට්රාන්ස්-රිසීවර්ස් ඇන්ටනා පොලොව දෙසට යොමු කිරීමට) සිදු කිරීමටත් ඉතා වැදගත් වේ.
එපමනක් නොව, මෙම අයන තෙරපුම මුලින් භාවිතා කරනු ලබන්නේ ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා ඒවායේ මුදා හැරීමේ කක්ෂ වන කිලෝමීටර 440km ක සිට අවසාන කක්ෂීය උස වන කිලෝමීටර 550km-600km දක්වා උස කක්ෂීය පතයකට (Plane) එලැඹීමට ද භාවිතා කරයි. එමෙන්ම, චන්ද්‍රිකාවක ජීවන කාලය අවසාන වූ පසු එය කක්ෂයෙන් ඉවත් කිරීමටත් මෙම බලය යොදාගනී, එනම්, චන්ද්‍රිකාව අධික වේගයෙන් ගමන් කරන නිසා එය පෘතුවිය දෙසට යොමුකිරීම මගින් වායුගෝලයේ ගැටීම නිසා 99% ක්ම පිලිස්සී යන අතර "අයන එන්ජිම" සහ "ලේසර් ජනන යන්ත්‍රය" (Silicon Carbide) පමණක් පොලොව දක්වා කඩාවැටේ. එය අනතුරු දායක නැත එහි බර කි.ග්රෑ. 1 පමන වුවද එය කඩාවැටෙන්නේ හුදෙකලා ප්‍රදේශ (පාලනය කරන ලද හෝ ස්වයංක්‍රීයව සිදුවන දෙයකි) තුලටයි.
ස්ටාර්ලින්ක් (StarLink) මූලික අවදියේ චන්ද්‍රිකා අතර අන්තර් සම්බන්ධතාවය (චන්ද්‍රිකා - චන්ද්‍රිකා) පවත්වා ගත්තේ අධි-සංඛ්‍යාත රේඩියෝ තරංග (විද්යුත් චුම්භක තරංග) මගිනි. අභ්‍යාවකාශයේ අන්තර් සම්බන්ධ චන්ද්‍රිකා ජාලයක් මේ මගින් ගොඩනගා ඇති අතර වේගවත් දත්ත ගමනාගමනයක් සහතික කරයි.. නමුත් පසුව තව තවත් දත්ත ගමනාගමන වේගය වැඩි කිරීම සඳහා, නව තුන්වන පරපුරේ චන්ද්‍රිකා (Gen 3) අධි-සංඛ්‍යාත රේඩියෝ තරංග වෙනුවට ලේසර් තාක්ෂණය යොදාගනීමට තීරණය කර ඇත. නවීන ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා-චන්ද්‍රිකා අතර සම්භන්ද තාවය පවත්වා ගනු ලබන්නේ පියවි ඇසට නොපෙනෙන ලේසර් අලෝක කදම්භ (විද්යුත් චුම්භක තරංග වුවද තරංගයක් ලෙස භාවිතා නොකරයි.) ආධාරයෙනි. එනම්, අප පොලොවේ භවිතා කරන අලෝක-තන්තු (Optical Fiber) මෙන් අදික වේගයක් සහතික කරයි. එපමනක් නොව, අභ්‍යාවකාශයේ රික්තක පරිසරයක් නිසා එම තාක්ෂණය කිසිම ප්‍රතිරෝධයකින් තොරව එක් චන්ද්‍රිකාවක සිට තවත් චන්ද්‍රිකාවකට පහසුවෙන් එල්ල කර පවත්වාගෙන යාම තුලින් අදික වේගයකින් දත්ත හුවමාරු කර ගනී. නමුත් එය වෙනස් කක්ශ වල, වෙනස් තල වල වේගයෙන් ගමන් කරන ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා සමග ප්‍රායෝගිකව ලේසර් ජාලය පවත්වාගෙන යාම අසීරු කාර්යක් වන අතර විශේශ වූ තාක්ෂණික උපක්‍රම භාවිතා කර ඇත.
දත්ත යවනු ලබන්නේ ලේසර් (Laser) ආලෝක ස්පන්දන (light pulses), එනම්, එක් ස්පන්දනයක් (1 Pulse) එක බිට් ( 1 Bit) එකක් ලෙසයි. එක් කදම්භයක් භාවිත්යෙන් දත්ත හුවමාරු වේගය තත්පරයට ගිගා බිට් (Gbps එනම් තත්පරයට මෙගා බයිට් 125කි ) එකක් වන අතර, කදම්භ කිහිපයක් සමාන්තරව (parallel) භාවිතා කිරීම තුලින් වේගය වැඩිකල හැක. චීනයේ විද්‍යාඥයන් විසින් වසර 2025 ජූනි මසවන විට, ක්වන්ටම් තාක්ෂණය ආධාරයෙන් අලෝක-තන්තු (Optical Fiber) වේගය තත්පරයට පෙටා බිට් (Pbps) එකක් දක්වා වේගවත් ජාල තැනීමට පරීක්ශන සාර්ථකව නිම කර ඇත.
ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාවකින් පොලොවේ සිටින පරිශීලකයෙකු හට දත්ත ලබාදීමට නම්, එම චන්ද්‍රිකාවට එම දත්ත ලැබිය යුතුය. එයට එම දත්ත ලබා දෙන්නේ පොලොවේ විශේෂිතවූ සන්නිවේදන මධ්‍යස්ථාන (StarLink Ground Stations / Gateways) මගිනි. නමුත්, ලොවපුරා ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථාන ඇත්තේ 150ක් පමන වන අතර ඒවායින් බොහොමයක් පිහිටා ඇත්තේ ගූගල් දත්ත සැකසුම් මධ්‍යස්ථාන ආශ්‍රිතවය. කලින් සඳහන් කල පරිදි, ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා ජාලයේ, චන්ද්‍රිකා දහස් ගනනක් ඇති නිසා සෑම චන්ද්‍රිකාවකටම කෙලින්ම ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථානයක් සමග සම්භන්ද විය නොහැක. එමනිසා ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථානයක් සමග සම්භන්ද වීමට එක් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවකට, තවත් ස්ටාර්ලින්ක් චන්ද්රිකා එකක් හෝ කිහිපයක් හරහා සම්බන්ධ විය යුතු වේ. උදාහරණයක් ලෙස, ශ්‍රීලංකාවේ සිටින පරිශීලකයෙකු හට දත්ත ලබා දීමට, ලංකාවට උඩින් ඇති ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවකට වෙනත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා කිහිපයක් හරහා ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථානයක් සමග සම්භන්ද විය යුතු වේ. එයට හේතුව, ශ්‍රීලංකාවේ ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර නොමැති නිසාය. අභ්‍යාවකාශයේ චන්ද්‍රිකා අතර මෙම ලේසර් ජාලය අවශ්ය වන්නෙ ඒ නිසයි. කලින් සඳහන් කල පරිදි මෙම ලේසර් ජාලය, මුහුදු පතුලේ දමා ඇති ඔප්ටිකල් ෆයිබර් ජාලය මෙන් වේගවත්ය.
පොලොව මත පිහිටා ඇති මෙම සන්නිවේදන දොරටු මධ්‍යස්ථාන (Gateway) මගින් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා වෙත අන්තර්ජාලය ලබාදේ. සන්නිවේදන දොරටු මධ්‍යස්ථාන අන්තර්ජාලයට සම්භන්ද වන්නේ එම ප්‍රදේශයේ පිහිටි අන්තර්ජාල යටිතල පහසුකම් සමග වන අතර, පොලොව මත හා මුහුදු පතුල මත මත දමා ඇති රටවල් සම්භන්ධ කරන ඔප්ටිකල් ෆයිබර් කේබල් ජාලය හා සම්භන්ද වේ. ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථානයේ 1.4m විෂ්කම්භයකින් යුත් (Ku-Band) සාම්ප්‍රදායික පැරබොලික් ඇන්ටනා 4-9 කින් සමන්විත අතර, එක් ඇන්ටනාවක් මගින් එක් චන්ද්‍රිකාවක් සමග සම්භන්ද වේ. එක අවස්ථාවක එම ප්‍රදේශය තුල, පෙනෙන පරාසයේ ඉහලින් ඇත්තේ චන්ද්‍රිකා 1-5ක් පමන වේ. අනාගතයේ මෙම සංඛයාව ඉහල යා හැකිය. මෙම ඇන්ටනාවක් මගින් ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාවක් සමග සම්භන්ද වීමට, ක්‍ෂිතිජයේ සිට අංශක 25o ට වඩා ඉහලින් ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාව ගමන් කල යුතු වේ. සාම්ප්‍රදායික පැරබොලික් ඇන්ටනා මගින් චන්ද්‍රිකාවක් ලුහුබැඳීම සිදු කරන්නේ මෝටර ආධාරයෙනි, එම නිසා නිරන්තරයෙන් ඇන්ටනාව චලනය වෙමින් පවතී. ඇන්ටනාවට සාපේක්ශව ක්ෂිතිජයට අංශක 90 ක් ඉහලින් චන්ද්‍රිකාව වල පතය (Plane) පිහිටා තිබිය හොත්, ඇන්ටනාව චලනය වන වේගය තත්පරයට අංශක 0.5/s පමන වේ. චන්ද්‍රිකා පෙනීසිටීම අනුව, ඇන්ටනා වල ප්‍රමුඛතාවය මාරුවීම තුලින් වැඩි කාරයක්‍ෂමතාවයක් ලබාගත හැකිය. මෙම ඇන්ටනා ක්‍රමයේ ප්‍රතිලාභය වන්නේ ඉතාමත් ඉහළ අධි-සංඛ්‍යාත රේඩියෝ තරංග සංඥා ප්‍රතිලාභයකි. එනම්, ඉහළ දත්ත හුවමාරු වේගයක් ලබාගත හැක. (> 8 Gbps).
මෙම සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ නාගරික ප්‍රදේශයෙන් පිටස්තර ප්‍රදේශ තුලය. වෙනත් රේඩියෝ තරංග මගින් ඇතිවන බාදාව (Radio frequency interference / RFI) මගහැරීමටත්, උස ගොඩනැගිලි සහ කඳු බාදක මගහැර ක්‍ෂිතිජයේ සිට අංශක 25o ක ඉහලට සහ අංශක 360o ක්, එනම් සෑම දිශාවකටම බාදාවකින් තොරව අහසට නිරාවරනය විය යුතු නිසාය.
ස්ටාර්ලින්ක් (StarLink) V1.5, V2, V3 චන්ද්‍රිකා යනු පහල පෘථිවි කක්ෂයේ ගමන් කරමින් ක්‍රියා කිරීම සඳහා නිර්මාණය කර ඇති, නවීන මාදිලියේ කුඩා, පැතලි පැනල් අභ්‍යවකාශ යානා විශේෂයකි. පැතලි ව්‍යුහයක් ගෙන ඇත්තේ, චන්ද්‍රිකා 20-60ක් එකවර ෆෝල්කන් 9 රොකට් (SpaceX Falcon 9) යානය තුල කක්ශගත කිරීමට පහසු වන පරිදි හසුරා තැබීමටයි. අභ්‍යාවකාශයට චන්ද්‍රිකාවේ බාහිර රූපාකාරය අදාල නොවේ, එය ගමන් කරන පරිසරය රික්තකයක් වන නිසා කුමන ස්වරූපයක් තිබුනද එමගින් කිසිම බලපෑමක් ඇති නොවේ. සෑම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවක්ම බරින් කි.ග්රෑ. 260 kg (Gen 1 - පලමු පරම්පරාව) - 790 kg (Gen 2) සිට කි.ග්රෑ. 1000kg (Gen 3) ක් පමන වන මෙම ස්වයංක්‍රීය යානා, සියලුම චන්ද්‍රිකා වලට පොදු වූ සූර්ය පැනල (Solar panel), බැටරි (Battery), තෙරපුම් උත්පාදක (Thrusters), චන්ද්‍රිකාව පරිපාලන පද්ධතිය, අවකාශයේ තම පිහිටීම දැන ගැනීමට ගයිරස්කෝපයක් (Gyroscope/Four Reaction Wheels), ස්වයංක්‍රීය චන්ද්‍රිකා ගැටීම් වැළැක්වීමේ පද්ධතිය, තාරකා වලට සාපේක්ෂව මාර්ගය අනුගමනය කිරීම සදහා වූ පද්ධතිය (Startracker Navigation System) වේ.
ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකා වලට විශේෂිත වූ පද්දති වන,
- "Ku" - බෑන්ඩ් කලාපය (පංතිය) යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ක්ෂුද්‍ර තරංග (microwave) පරාසයේ කොටසක් වන, විශේෂයෙන් ගිගාහර්ට්ස් 12 GHz ත් 18 GHz ත් අතර පරාසය වේ.
- "Ka" - බෑන්ඩ් යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ක්ෂුද්‍ර තරංග (microwave) පරාසයේ 26.5GHz ත් 40 GHz ත් අතර පරාසය වේ.
- "E" - බෑන්ඩ් යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ක්ෂුද්‍ර තරංග (microwave) පරාසයේ 60 GHz ත් 90 GHz ත් අතර පරාසය වේ.
"Ku" - බෑන්ඩ් මයික්රෝ තරංග චන්ද්‍රිකාව පරිශීලකයින් සමග සම්භන්ද වීමටත්, "Ka"-බෑන්ඩ් සහ "E"-බෑන්ඩ් මයික්රෝ තරංග චන්ද්‍රිකාව ස්ටාර්ලින්ක් (StarLink) සන්නිවේදන මධ්‍යස්ථානය සමග සම්භන්ද වීමටත් යොදාගනී.
රෝදය එක් දිශාවකට (A) කැරකෙන විට, එහි අක්ශය සවිකර ඇති ආවරනය ප්‍රතිවිරුද්ධ දිශාවට (B) කැරකේ. ආවරණය චන්ද්රිකාවට සවිකර ඇත. එමගින් එම බලය චන්ද්රිකාවට ලබා දී එහි ආනතිය වෙනස් කල හැක. එමෙන්ම තම අක්ශය (C) ස්ථාවරව තබා ගනීමට ද උපකාරී වේ.
"සාරාංශයක් වශයෙන් පරිකල්පනය සලකා බැලූ විට ස්ටාර්ලින්ක් (StarLink) චන්ද්‍රිකාවක ක්‍රියාකාරීත්වය - අභ්‍යාවකාශයේ ගමන්කරන රැහැන් රහිත ජාල ස්විචයකි (A wireless network switch)."
ලොව ප්‍රථම චන්ද්‍රිකාව 1957දී ඔක්තෝබර් 4 වන දින සෝවියට් සංගමය විසින් එනම් අද රුසියාව විසින් කක්ශ ගතකරන ලද අතර අභ්‍යවකාශ යුගයේ ආරම්භය මෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය (අද රුසියාව) අතර අභ්‍යවකාශ තරඟය ආරම්භ විය. ප්‍රථම චන්ද්‍රිකාව ස්පුට්නික්-1 (SPUTNIK-1) ලෙස නම් කල අතර එහි අර්ථය "පලමුවන චන්ද්‍රිකාව" වේ. එය අඟල් 22ක විශ්කම්භයකින් යුත් ගෝලාකාර වස්තුවක් වූ අතර පොලොවට "බීප් හඬ" රේඩියෝ සංඥා නිකුත් කලහ. එහි ඉලක්කය වූයේ, සන්නිවේදනය සඳහා චන්ද්‍රිකා භාවිතා කිරීම ප්‍රායෝගික ද යන්නයි. චන්ද්‍රිකාව සෑම මිනිත්තු 96 කට වරක් කක්ෂය තුල පෘතුවිය වටා එක් පරිභ්‍රමණයක් සම්පූර්ණ කල අතර 1958 ජනවාරි මාසයේදී නැවත වායුගෝලයට ඇතුළු වී පිලිස්සී ගියහ. ඉන්පසු අභ්‍යවකාශ යුගය ආරම්භ විය.
චන්ද්‍රිකා ගෙන කතා කරන සැමවිටම සිහිවන්නේ ආතර් සී. ක්ලාර්ක් මහතාය. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ අනාවැකිය වන්නේ 1945 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය සන්නිවේදනය සඳහා භූස්ථායී චන්ද්‍රිකා (Geostationary Satellite) භාවිතා කිරීමේ සංකල්පයයි. සමකයට කිලෝමීටර් 35,786km ක් ඉහළින් කක්ෂගත වන නිශ්චිත කක්ෂයක (පසුව ක්ලාක් කක්ෂය Clarke Orbit ලෙස නම් කරන ලදි) ගමන් කරන චන්ද්‍රිකා, පෘතුවිය භ්‍රමණය වන වේගයට සාපේක්ෂව නිශ්චලව පෙනෙනු ඇති බවත්, නිශ්චල ස්ථීර ඇන්ටනා උපයෝගී කරගනිමින් කාර්යක්ෂම ගෝලීය සන්නිවේදනයට ඉඩ සලසන බවත් ඔහු යෝජනා කළහ. මුලින් සැකයට භාජනය වූ මෙම සංකල්පය 1965 දී පළමු වාණිජ භූස්ථායී චන්ද්‍රිකාව වන ඉන්ටෙල්සැට් - 1 (Intelsat - 1) දියත් කිරීමත් සමඟ වසර 20 කට පසු එය සත්‍යය කරුනක් බවට පත්විය. එය හියුස් අභ්‍යවකාශ හා සන්නිවේදන සමාගම ( Hughes Aircraft Company) (අද බොයිං ගුවන්යානා සමාගම - Boeing) විසින් කොම්සැට් (COMSAT) චන්ද්‍රිකා සන්නිවේදන සමාගම සඳහා නිශ්පාදනය කරන ලදි.
චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයේ කක්ශයේ රැඳී සිටින්නේ, පෘථිවියේ ගුරුත්වාකර්ෂණය සහ චන්ද්‍රිකාවේ ප්‍රවේගය (අවස්ථිති බලය) අතර සමතුලිතතාවයක් පවත්වාගෙන යාමෙනි. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මගින් චන්ද්‍රිකාව පෘථිවිය දෙසට ඇද ගන්නා අතර, චන්ද්‍රිකාවේ ප්‍රවේගය මගින් ලැබෙන කේන්ද්‍රාපසාරී බලය පෘතුවියෙන් ඉවතට ක්‍රියා කරයි. එමනිසා, පෘථිවිය වටා චන්ද්‍රිකාව ගමන් කරන වේගය තීරනය වන්නේ පොලොවේ සිට කක්ශයට ඇති දුර මතය. චන්ද්‍රිකාවේ කක්ශය පොලොවට ආසන්න විට චන්ද්‍රිකාවට අදික වේගයකුත්, පොලොවට ඉතා ඈතින් කක්ශය පිහිටා ඇතිවිට චන්ද්‍රිකාවට අඩු වේගයකුත්, අවශ්‍යය වේ. උදාහරණයක් ලෙස, සමක තලයේ (plane) පෘතුවියේ සමකයේ මතුපිට ස්ථාවර ලක්ෂ්‍යයකට සාපේක්ෂව ස්ථාවරව ගමන් කරන චන්ද්‍රිකාවක (Geostationary satellite) කක්ශය පොලොව මතුපිට සිට කි.මී. 35,786 km දුරකින් පිහිටන අතර පෘතුවිය වටා පරිභ්‍රමණ වේගය තත්පරයට කි.මී. 3.07 km/s කි. එනම්, පැ.කි.මී. 11,052 kmph පමන වේ. කලින් සඳහන් කල පරිදි, ස්ටාර්ලින්ක් (StarLink) ජාලයේ චන්ද්‍රිකා පෘථිවිය වටා ගමන් කරන කක්ශය (පතය) පිහිටා ඇත්තේ පොලොවේ සිට කි. මී. 450 km - 600km ක දුරකින් වන නිසා, එම චන්ද්‍රිකා වලට තම කක්ෂය පවත්වා ගැනීමට පෘථිවිය වටා ගමන් කරන වේගය තත්පරයට කි.මී. 7.50 km/s, එනම්,පැයට කි. මී. 27,000 km/h ක් පමණ වේ.