ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තම ශරීරයට පහර දීම (Autoimmune disease) නැවැත්වීමට ක්‍රමයක් විද්‍යාඥයින් සොයා ගනී.
අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින්, ආසාදන රෝගවලින් සහ නොයෙකුත් අපවිත්‍ර ද්‍රව්‍ය (මියගිය සෛල) වලින් අපව ආරක්ෂා කරයි. නමුත්, සමහර පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තම ශරීරයට පහර දෙයි. එය ස්වයං ප්‍රතිශක්තීකරන රෝග (Autoimmune disease) ලෙස හැදින්වේ. මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තම ශරීරයට පහර දීම නැවැත්වීමට ක්‍රමයක් විද්‍යාඥයින් සොයා ගනී.
එයින් අදහස් වන්නේ, ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග ගනනාවකට නිට්ටාවටම සුව කිරීමට ප්‍රතිකාර ක්‍රම නුදුරු අනාගතයේ දී නිශ්පාදනයකල හැකි බවයි. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරයි. ප්‍රධාන වශයෙන් ආසාදන රෝග වලින් මෙන්ම, ශරීරය තුල මිය ගිය සෛල වල කොටස් පිරිසිදු කිරීමේ කාර්ය ඉටුකරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගිනි. නමුත් සමහර සෛල තුල ජාන වල, වරදක් හේතුවෙන් අසාමාන්‍යය ප්‍රෝටීන නිශ්පාදනය කලහොත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම සෛල වලට පහර දෙයි. එනම්, අපගේ ශරීරයේ ආරක්ෂාවට සිටින සෛල අපට පහර දෙයි. එසේ ඇතිවන ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග (Autoimmune disease) ගනනාවක් ඇත.
ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග (Autoimmune disease)
- දියවැඩියාව වර්ගය 1 (Type 1 Diabetes/ DM-I): බොහෝ අවස්ථාවල වයස 40න් පහල අයට රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය පාලනය කරන හෝමෝනයක් වන ඉන්සියුලින්, අග්න්‍යයාශයේ බීටා සෛල මගින් නිපදවීම අඩාල වීම නිසා, රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහල යාම හේතුවෙන් ඇතිවන රෝගී තත්වයකි. එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ, ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් බීටා සෛල වලට පහරදී විනාශ කිරීමයි.
- සමේ රෝගයක් වන ප්සොරියාසිස් (Psoriasis) හෙවත් පොතුකබර: ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සමේ සෛල වලට පහරදීම නිසා සෛල විනාශ වන (ප්‍රදාහය හේතුවෙන් / Inflammation) අතර ඉතා ඉක්මනින් නව අපිච්ඡද සෛල ගොඩ නැගීමට හේතු වන අතර එමඟින් ඝන, කොරපොතු පැල්ලම් ඇති වේ.
- Inflammatory Bowel Disease (IBD): ආහාර ජීර්ණ පද්ධතියේ නිදන්ගත ප්‍රදාහ (Inflammation) රෝගයක් වන ක්‍රෝන්ගේ රෝගය, එනම් ආහාර මාර්ගයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය, රෝගලක්ෂන අතර උදරයේ වේදනාව, පාචනය, උණ, උදරය පිපීම සහ බර අඩු වීමයි. එමෙන්ම මහාන්ත්‍රයේ නිදන්ගත වණ ඇතිවීමේ රෝග, දැක්විය හැකිය.
- රූමැටොයිඩ් ආතරයිටිස් (RA/Rheumatoid Arthritis): ප්‍රධාන වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සන්ධිවලට පහර දෙන අතර වේදනාව, ඉදිමීම සහ සන්ධිවල තද ගතිය ඇති කරයි.
- පද්ධතිමය ලුපුස් එරිතිමාටෝසස් (Systemic Lupus Erythematosus): ආරම්භක අවදියේ සමේ රතු ප්‍රදාහ (Inflammation) පැල්ලම් (Lupus) ඇති කරන අතර පසුව වණ ඇතිකරයි. ආරම්භක අවදියේ මුහුනේ සමනලයෙක් ආකාරයට රතු පැල්ලමක් ඇතිවන අතර පසුව සිරුර පුරා පැතිරිය හැක.
- ස්ජෝග්‍රන් සින්ඩ්‍රෝමය (Sjögren syndrome) - මුඛය සහ ඇස් වල තෙතමනය අඩු වී වියළි තත්වයක් ඇතිවේ. ඛේට ග්‍රන්ථි වලට සහ කඳුළු ග්‍රන්ථි වලට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බලපෑම හේතුවෙන් එම ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන ද්‍රාවණ අඩු වීම නිසා එම තත්වය ඇති වේ.
- හෂිමොටෝගේ තයිරොයිඩ් ප්‍රදාහය (Hashimoto's thyroiditis / තයිරොයිඩයිටිස්) - ප්‍රතිශක්තිකරණ පද්ධතිය තයිරොයිඩ් ග්‍රන්ථියට පහර දෙන අතර එමඟින් එහි හෝමෝන නිෂ්පාදනය අඩු වේ.
- ග්‍රේව්ස් රෝගය (Graves' disease): ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බලපෑම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන අධික ලෙස නිපදවීමට හේතු වේ.
- ඩර්මැටෝමියෝසයිටිස් (Dermatomyositis): මාංශ පේශි දුර්වලතාවය සහ සමේ කුෂ්ඨ ඇති කරයි.
- සෙලියාක් රෝගය (Celiac disease):පාන්, බනිස් වැනි ආහාරයක් ගත් විට සමහර පුද්ගලයින් හට ග්ලූටන් ප්‍රෝටීනයට ප්‍රතිචාර වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය කුඩා අන්ත්‍රයට හානි කරයි. ග්ලූටන් ප්‍රෝටීනය තිරිඟු, බාර්ලි සහ රයි වල ස්වභාවිකව දක්නට ලැබෙන ප්‍රෝටීනයක් වන අතර බේක් කිරීම සඳහා වූ පිටි ගුලියට ප්‍රත්‍යාස්ථ ගුණාංගයක් ලබා දෙන අතර බේක් කළ පාන්, බනිස් වල හැඩය සහ ඇදෙන සුලු බව බව පවත්වා ගැනීමට උපකාරී වන ප්‍රෝටීනයකි.
- ඇඩිසන් රෝගය (Addison's disease): ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධිවෘක්ක ග්‍රන්ථි වලට බලපායි.
- බහු-ස්ක්ලේරෝසිස් (Multiple Sclerosis / MS): ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මොළයේ සහ සුෂුම්නාවෙහි ස්නායු තන්තුවල (සෛලවල) ආරක්ෂිත ආවරණයට (මයිලින් කොපුව) හානි කරයි, එම නිසා ස්නායු සංඥා සම්ප්‍රේෂණය මන්දගාමී කරයි. එම හේතුව නිසා, මොළය සහ ශරීරයේ අවයව අතර සන්නිවේදන සංඥා වලට බාධා හෝ අවහිර කිරීමක් සිදු කරන අතර එමඟින් පෙනීමේ ගැටළු, මාංශ පේශි දුර්වලතාවය, හිරිවැටීම සහ සමබරතාවයේ ගැටළු, මුත්‍රාකිරීම සහ මලපහ කිරීම පාලනය කිරීමේ අපහසුතාවය වැනි වැනි රෝග ලක්ෂණ ඇති වේ.
- මයිස්ටීනියා ග්‍රැවිස් (Myasthenia gravis): ස්නායු-මාංශ පේශි සන්නිවේදනය දුර්වල වීම නිසා, මාංශ පේශි දුර්වලතාවයට හේතු වේ.
- හානිකර රක්තහීනතාවය (Pernicious anemia): ආමාශයේ ශ්ලේෂ්මල පටලයට සහ විටමින් B12 අවශෝෂණය කිරීමේ හැකියාවට බලපා, හිමොග්ලොබින් නිශ්පාදනය අඩාලකිරීම මගින් රතු රුධිරාණු වල අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය අඩු කරයි. හිමොග්ලොබින් අඩුවීම නිසා රතු රුධිරාණු මගින් ශරීරයේ පටක වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. ඔක්සිජන් අඩුවීම නිසා පටක වල සෛල තුල අවශ්‍යය තරමට ශක්තිය නිශ්පාදනය කල නොහැක. එම නිසා, ශරීරය දුර්වල වන අතර තෙහෙට්ටුව, සුදුමැලි සම, හතිය, හිසරදය සහ සීතල අත් සහ පාද වැනි රෝගලක්ෂණ ඇති වේ. එය යකඩ ඌණතාවය නිසා හෝ විටමින් B12 ඌණතාවය නිසා ඇතිවන රක්තහීනතාවය මෙන් ඉක්මනින් සුවකල නොහැක, තාවකාලිකව නිරොගී සුවය ලැබුනද නැවත ඉස්මතු වේ.
2025 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය, මෙම නව සොයාගැනීම සඳහා පිරිනමන ලදි.
මෙම රෝග වලට ප්‍රතිකාර කිරීමට හෝ වළක්වාලීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් පහර දීම වැළැක්විය යුතුය. එම පහරදීම වළක්වාලීමට විද්‍යාඥයින් විසින් නව ක්‍රමයක් සොයා ගත් අතර 2025 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය, ඔවුන්ට හිමිකරගැනීමට හැකි විය. එය වසර දශක ගණනාවක් තිස්සේ පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන කරමින් පැවති ජීවිතාරක්ෂක කාර්ය සඳහා නව සොයා ගැනීමකි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයට පහර දීමෙන් වළක්වන ආකාරය (Peripheral immune tolerance) අවබෝධ කර ගැනීමේ පුරෝගාමී කාර්යය සඳහා 2025 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය මහාචාර්ය මේරි ඊ. බ්‍රන්කොව් (prof. Mary E. Brunkow) මෙනෙවිය, මහාචාර්ය ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් (prof. Fred Ramsdell) මහතා සහ මහාචාර්ය ෂිමොන් සකගුචි (prof. Shimon Sakaguchi) මහතා යන විද්‍යාඥයින් හට පිරිනමා ඇත.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයට අහිතකර ප්‍රතික්‍රියාවකින් තොරව පවත්වා ගැනීම, එනම්, ඔවුන්ගේ සොයාගැනීම් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගී පටක වලට එරෙහිව ක්‍රියා කිරීම වළක්වන ජීව විද්‍යාත්මක ආරක්ෂාව හෙළිදරව් කරන ලදී. මෙම ආරක්ෂාවට කේන්ද්‍රීය වන්නේ විශේෂිත වූ තවත් නියාමන උපකාරක ටී ලිම්ෆොසයිට ( Lymphocyte) සෛල ( CD25 T-Helper cell) විශේෂයක් බව විද්‍යාඥ ෂිමොන් සකගුචි මහතා විසින් පෙන්වා දෙන ලදි.
මහාචාර්ය සකගුචි මහතා මෙම සෛල මුලින්ම හඳුනා ගත්තේ 1995 දී, එම සෛල වල ස්වයං ප්‍රතිශක්තිකරණය වැළැක්වීමේ ක්‍රියාව නිරීක්ෂණය කළ පසුවය. විද්‍යාඥ බෲන්කොව් මෙනෙවිය සහ විද්‍යාඥ රැම්ස්ඩෙල් මහතා පසුව ඔවුන්, ළමයින් හට සෑදෙන දුර්ලභ හා මාරාන්තික ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් පිළිබඳව විමර්ශනය කරන අතරතුර ඒවා පිටුපස ඇති ජානය, FOXP3 ජානය බව සොයා ගන්න ලදි.
මහාචාර්ය සකාගුචි මහතා විසින් කලින් සොයා ගත් ටී - නියාමන සෛල( CD25 T-Helper cell) සමඟ FOXP3 ජානය සම්බන්ධතාවයක් ඇති බව අවබෝධ කර ගත් ඔහු විසින් මෙම ජානය ප්‍රතිශක්තිකරණ සංයමය එනම් සීමාව සඳහා ප්‍රධාන ස්විචයක් ලෙස ක්‍රියා කරන බව පැහැදිලි කළා පමණක් නොව, ඕප්පු කිරීමට හැකි විය. මෙම සොයාගැනීම නූතන ප්‍රතිශක්ති විද්‍යාවේ වඩාත්ම වැදගත් සොයාගැනීමක් වන අතර වෛද්‍ය විද්‍යාව සඳහා නව මංපෙත් ද විවෘත කළේය.
මේ වන විට, නියාමන ටී - සෛල ( CD25 T-Helper cell) ඉලක්ක කරගත් ප්‍රතිකාර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගවලට ප්‍රතිකාර කිරීමටත්, අවයව බද්ධ කිරීමේදී, බද්ධ කළ අවයව ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ප්‍රතික්ෂේප කිරීම නවත්වා ලීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට සහ පිළිකා සඳහා ප්‍රතිශක්තිකරණ මර්දනය තුලින් නිරෝගී පටක ආරක්ෂා කරමින් පිළිකා සෛල වලට පමණක් පහරදෙන ප්‍රතිකාර ක්‍රම සකස් කිරීමෙන් පිළිකා ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර වැඩි කිරීමටත් ගවේෂණය කරයි.