මයික්‍රෝවේව් උඳුන් බොහෝ කලක සිට එනම්, වසර 80ක් තුල ලොව ඕනෑම මුළුතැන්ගෙයක හුරුපුරුදු අත්‍යාවශය උපාංගයක් වී ඇත. හදිසි අවස්ථාවක ආහාර උණුසුම් කිරීමට ඉතා පහසු කරන නැතිවම බැරි මුළුතැන්ගෙයි උපකරණයකි. නමුත් එහි හානිකර බලපෑම් පිළිබඳ විවාද දශක ගණනාවක් තිස්සේ ආන්දෝලනාත්මක මත ඇති අතර, තවමත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මයික්‍රෝවේව් තරංග විකිරණ වලට සමාන බවත්, මයික්‍රෝ තරංග වලට භාජනය කිරීමෙන් පසු ආහාර වල ජීවී පෝෂ්‍යපදාර්ථ විනාශ වී යන බවත්ය. සමහර විද්වතුන් පවසන්නේ, මයික්‍රෝවේව් උඳුන් වල ආහාර පිසීම හෝ උණුසුම් කිරීම තුලින් පෝෂ්‍යපදාර්ථ විනාශ නොවන අතර, එහිදී සිදුවන ක්‍රියාවලිය වෙනත් සාමාන්‍ය උඳුන් වල මෙන් අහිතකර නොවන ක්‍රියාවලියක් බවයි.
සත්‍ය කුමක්ද?, මිථ්‍යාව කුමක්ද? සහ ප්‍රවේශම් විය යුත්තේ කොතැනද? යන්න අපි ගවේෂණය කරමු.
අපි වඩාත් බියජනක වචනයෙන් පටන් ගනිමු - "විකිරණ", මයික්‍රෝවේව් උඳුන් ආහාර උනුසුම් කරනු ලබන්නේ මයික්‍රො තරංග (ක්ෂුද්‍ර තරංග / Microwave) ආධාරයෙනි. මයික්‍රො තරංග යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ විකිරණ තරංග විශේශයකි. නමුත්, එය අයනීකරණය නොවන විකිරණ කාණ්ඩයට අයත් වේ. එහි අරුතය වන්නේ, මයික්‍රො තරංග පරමාණුවකට එල්ල වූ විට, පරමාණුවේ න්‍යෂ්ටියට හානි නොකරයි. එනම් පරමාණුවේ ස්ථායී භාවයට බලපෑම් ඇති නොවන බවයි. එමෙන්ම, පරමාණුව අයනීකරණය නොවේ, විකිරණශීලී තත්වයක් ද ඇති නොකරයි.
එසේනම්, මයික්‍රො තරංග මගින් සිදු වන්නේ කුමක්ද? එයට පිලිතුරු සෙවීමට ප්‍රථම, මයික්‍රොවේව් උදුන ප්‍රථමයෙන් සොයාගත් අවදිය සලකා බලමු.
මයික්‍රෝවේව් උදුන සොයාගැනීම අහඹු ලෙස සිදු වූවකි. 1945 ඇමෙරිකානු ජාතික, භෞතික විද්‍යාඥයෙක් හා ඉලෙක්ට්‍රික් ඉන්ජිනේරුවෙක් වන පර්සි ස්පෙන්සර් (Percy LaBaron Spencer), රේඩාර් පද්ධතියක් සකස් කර සිටි අවස්ථාවක, රේඩාර් පද්ධතිවල අංගයක් වන රේඩාර් තරංග උත්පාදකය (Magnetron tube) හෙවත් මයික්‍රෝ තරංග උත්පාදකය (මැග්නෙට්‍රෝන් නළය) අසල සිටි විට ඔහුගේ සාක්කුව තුල තිබූ චොක්ලට් බාර් එක දියාරු තත්වයට පත්විය. එයින් කුතුහලයට පත් පර්සි ස්පෙන්සර් එයට හේතුව සොයාබැලූ ඔහු ඉක්මනින් හේතුව අවබෝද කරගත් අතර පොප්කෝන් සහ බිත්තර වැනි අනෙකුත් ආහාර සමඟ තවදුරටත් අත්හදා බැලීම් කළ ඔහු, මයික්‍රෝවේව් ශක්තිය භාවිතයෙන් ආහාර උණුසුම් කිරීමේ ක්‍රමයක් ලෙස පළමු මයික්‍රෝවේව් උදුන සංවර්ධනය කිරීමට හේතු විය. මෙය, යුද තාක්ෂණය නැවතත් සාමාන්‍ය ජීවිතයට පැමිනි තවත් අවස්ථාවකි.
භෞතික විද්‍යාඥ පර්සි ස්පෙන්සර් මහතා රේතෙයොන් (Raytheon) ආයතනයේ සේවය කල අතර එම ආයතනය විසින් යුද ආරක්‍ෂක රේඩාර් පද්ධති නිශ්පාදනය කරන ආයතනයකි. උදාහරනයක් ලෙස ඊශ්‍රායලයේ අයන් ඩෝම් (Iron Dome) ගුවන් කලාපය ආරක්‍ෂක රේඩාර්-මිසයිල පද්ධතිය සකස් කරන ලද්දේ මෙම ආයතනය විසිනි.
මයික්‍රෝවේව් උඳුන තුල ආහාර උනුසුම් වීම හෝ පිසීම සිදුවන්නේ, මයික්‍රෝ තරංග මගින් බව අපි දනිමු. එම තරංග උත්පාදනය වන්නේ උඳුන තුල ඇති මූලික අංගය වන මැග්නෙට්‍රෝන් නළයට, ට්‍රාන්ස්ෆෝමරයක් ආධාරයෙන් වෝල්ට් 230v, වෝල්ට් 3000vක පමන අධිවෝල්ටීයතාවයකට (විභව අන්තරයකට) පරිවර්ථනය කර විදුලිය ලබාදීම මගිනි. උත්පාදනය වූ එම මයික්‍රෝ තරංග ඇන්ටනාවෙන් නිකුත්වී විශේෂ මාර්ගයක් හරහා ආහාර පිසීමේ කුටියට ගමන් කරන අතර එහිදී ඒවා කෙලින්ම ආහාර ද්‍රව්‍ය වෙත එල්ල වන අතර, මග හැරී ගිය මයික්‍රෝ තරංග ලෝහ බිත්ති මගින් පරාවර්තනය වී ආහාර ද්‍රව්‍ය වෙත එල්ල වේ. මෙහිදී, මයික්‍රෝ තරංග එල්ල වන්නේ ආහාරයේ එක් ප්‍රදේශයක් පමනි. එම නිසා එම ආහාර තබා ඇති වේදිකාව කරකැවීමට ලක් කරනු ලැබේ.
මෙම මයික්‍රෝ තරංග ආහාර තුළට අඟලක් පමන විනිවිද යන අතර,ජලය වැනි ධ්‍රැවීය ආරෝපණයක් ඇති අනු අධික වේගයෙන් චලනය වීමට පටන් ගනී. මයික්‍රෝ තරංග වලට අදාළ 2.4 GHz(2.4 ගිගාහර්ට්ස් ) සංඛ්‍යාතයකින් යුත් වෙනස් වන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට අනුකූලව තත්පරයට මිලියන වාරයක් ඉදිරියට සහ පසුපසට භ්‍රමණය වී ඇති වන කම්පන චලන හේතුවෙන් ජලය අනු-අනු අතර ඝර්ෂණය (ඇතිල්ලීම / friction) ඇති කරයි. එම හේතුව නිසා මයික්‍රෝ තරංග වල ඇති ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වේ.
ජලයේ රසායනික සූත්‍රයෙන් නිරූපණය වන ජල අණුව H2O අප සියලු දෙනා දනිමු, එහි මධ්‍යයේ ඔක්සිජන් පරමාණුව O ඇති අතර දෙපසින් හයිඩ්‍රජන් H පරමාණු දෙකක් "V" හැඩැති නැමුණු ව්‍යුහයක් ඇතිව සම්භන්ද වේ. එබැවින් සමස්ත ජල අණුවේ ආරෝපණ ව්‍යාප්තිය සුළු වශයෙන් ධන සහ ඍණ ලෙස විද්‍යුත් ද්වි ධ්‍රැව අණුවකි . මෙම ජල අණු වලට අධි-සංඛ්‍යාත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් යොදන විට, කලින් සදහන් කල පරිදි, ඒවා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රතිවර්තනයට ප්‍රතිචාර වශයෙන් භ්‍රමණය වී කම්පනය වන අතර එකිනෙකා සමඟ ඝර්ෂණයෙන් සහ ගැටීමෙන් තාපය ජනනය කරයි. සරලව කිවහොත්, එම හේතුව නිසා ජල අණු මයික්‍රෝවේව් ශක්තිය අවශෝෂණය කරයි. සමහර අවස්ථා වල වැස්ස වසින විට වැටෙන ජල බිංදු චන්ද්‍රිකා මගින් විකාශනය කරන රූපවාහිනී නාලිකා හොඳින් දර්ශනය නොවන්නේ මේ නිසයි.
ජල අණු එකිනෙකා සමඟ ඝර්ෂණයෙන් සහ ගැටීමෙන් උත්පාදනය වූ තාප ශක්තිය හේතුවෙන්, ආහාර ද්‍රව්‍ය අඟලක පමන ඇතුළත සිට පිටතට ඉක්මනින් උනුසුම් වේ. එමෙන්ම, තවතවත් තාපය ලැබෙන විට තාපය ආහාර ද්‍රව්‍ය අභ්‍යයන්තරය තුලට සන්නයනය වේ.
මයික්‍රෝවේව් මිනිසා හෝ ආහාර විකිරණය නොකරයි - ඒවා අයනීකරණ නොවන විකිරණ වන මයික්‍රෝ තරංග (ක්ෂුද්‍ර තරංග) භාවිතා කරයි. නමුත්, එමඟින් ආහාරවල සමහර පෝෂ්‍ය පදාර්ථ වල රසායනික බන්ධන බිඳ දැමීමට හැකියාවක් ඇත. මයික්‍රෝවේව් ආධාරයෙන් පිසින ලද හෝ උනුසුම් කරන ලද ආහාර සෞඛ්‍යයට අහිතකර ලෙස ක්‍රියා නොකරයි. එමෙන්ම, ඇත්ත වශයෙන්ම, ඒවා ආහාරයේ අභයන්තරයේ වූ විටමින් හොඳින් ආරක්ෂා කරයි. එයට හේතුව, මයික්‍රෝවේව් ආහාරය තුලට විනිවිද යන්නේ අඟලක් පමන වන නිසයි. පසුව තාපය මතුපිට සිට ඇතුලට සන්නයනය වේ.
මයික්‍රෝවේව් විකිරණ මිනිසාට ආරක්ෂිත යැයි පැවසිය නොහැක. ප්‍රමාණවත් ශක්තියකින් යුත් මයික්‍රෝ තරංග වලට සෘජුවම නිරාවරණය වීමෙන් තාප පිළිස්සුම් ඇති විය හැක. නමුත් සාමාන්‍ය කේතලයක උතුරන වතුරට ද එසේම කළ හැකි අතර කිසිවෙකු තම කේතල අත් නොහරියි.
ව්යි-ෆයි (Wi-Fi 2.4Ghz) සහ බ්ලූටූත් (Bluetooth) සන්නිවේදනය සඳහාද භාවිතා කරන්නෙ මෙම තරංග සංඛ්‍යාතයයි. නමුත් එම තරංග ශක්තියෙන් අඩු ඉතාම දුර්වල මයික්‍රෝ තරංග වේ. මයික්‍රෝවේව් උඳුන් ක්‍රියාත්මක වන විට එය හොඳින් පරිපූර්ණව වසා තිබිය යුතුය. මයික්‍රෝ තරංග වෙනත් රේඩියෝ තරංග සමග අන්තර්ක්‍රියා කල හැක එනම් Wi-Fi රේඩියෝ තරංග වලට බාදා කල හැක. එපමණක් නොව, වෙනත් බොහෝ විකිරණ සංවේදී විදුලි උපකරණ වලට බදා ඇතිකල හැකිය. වාණිජ මගී ගුවන් යානා වල සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) මයික්‍රෝවේව් උඳුන් භාවිතා නොකරයි.
මා කලින් සදහන් කල පරිදි, මයික්‍රෝවේව් උඳුනේ ප්‍රධාන අංගය වන මැග්නිට්‍රෝනය රේඩාර් තාක්ෂණයේ අංගයකි. ඇත්ත වශයෙන්ම එය මදක් වෙනස්කරන ලද රේඩාරයේ ඇති මැග්නිට්‍රෝනයයි (මයික්‍රෝ තරංග උත්පාදකය). මයික්‍රෝවේව් උඳුන වෙනස් අකාරයකට භාවිතා කිරීමක්, සදහන් කිරීමට බලාපොරොත්තු වෙමි.
1999 දි මාර්තු මස යුගෝස්ලෝවියාවට ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය යුද ප්‍රහාර එල්ල කරන ලදි. එහිදී, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රේඩාර් වලට හසු නොවන F-117 නයිට් හෝක් (Nighthawk) යානා යොදවා තිබුනි. එම යානය රේඩාර් වලට හසු වුවද පරාවර්තනය වන තරංග (Radar Cross-Section / RCS) ඉතාමත් දුර්වල නිසා, පහරදීමට නොහැකි විය.
පහර දීමට රෙඩාර් ලොක් කල යුතුය. දුර්වල තරංග මගින් මිසයිලයට තම ඉලක්කය සොයා යාමට නොහැකිවිය. එයට පිලියමක් ලෙස, සර්බියාවේ සිටි විද්වතුන් හට අමුතු අදහසක් පහල විය. එනම්, මයික්‍රෝවේව් උඳුන් කිහිපයක් ගලවා, සක්‍රීය කර කිහිපතැනක සිට එහි තුල වූ මැග්නිට්‍රෝන අහසට යොමු කිරීමයි (ත්‍රිකෝණකරණ ක්‍රමය / triangulation method). එමගින් යානය පියසර කරන ස්ථානය සොයාගැනීමට හැකි වූව මෙන්ම, පරාවර්තනය වන මයික්‍රෝ තරංග ප්‍රමාණය (RCS) වැඩි කරගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ හෝ ප්‍රධාන රේඩාරයේ (Radar track) සංඛ්‍යාතය ඒ හා සමානව වෙනස් කොට, රේඩාර් ලොක්-ඔන් (Radar lock-on /Radar track) කිරීම මගින් පහර දී යානා දෙකක් බිදහෙලූ අතර අනෙක් F-117 යානා සියල්ල කලින්ම විශ්‍රාම යැවීමට එය හේතු විය. නමුත් 2025 වසරේදී එම යානා නැවත සේවයට යොදවන ලදි. එයට හේතුව වන්නේ ලොක්හීඩ් සමගම විසින් නිපදවූ මෙම F-117 යානයේ රේඩාර් පරාවර්ථනය වන අගය (Cross-Section / ක්‍රොස් සෙක්ශන්) අගය B-2 යානයටත් වඩා අඩු වීමයි.
නමුත් නිල වශයෙන් සදහන් වන්නේ, ඒවා සැබවින්ම බිම හෙළනු ලැබුවේ දක්ෂ උපක්‍රම හා රේඩාර් කිහිපයක් භාවිතා කරමින් සර්බියානු ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් මගින් බවයි.